මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගේ රිය අනතුර: ගල්කිස්සේ තීන්දුව අත්හිටවූ පෙත්සම ගැන නියෝගයක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරාක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙන නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කිරීම අද (නොවැ: 26) සිදුවිය.

ඒ අනුව, කොළඹ මහාධිකරණය අද නියම කළේ, පෙබරවාරි මස 19 වන දා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ය.

අදාළ පෙත්සම පිළිබඳව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ ඉදිරියේ සලකා බැලිණි.

ගල්කිස්සේ පැවති නඩුව අත්හිටුවීමට සිදුවූයේ ඇයි?

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රථවාහන නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය මේ වසරේ අගෝස්තු 07 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසිනි.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් විනිසුරුවරයා නියෝග කළේ ය.

රවී සෙනෙවිරත්න දැමූ පෙත්සම කුමක් ද?

2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රවී සෙනෙවිරත්නට එරෙහිව වැල්ලවත්ත පොලීසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි.

එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමෙන් අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාව පළ කළේ ය.

එසේ තිබියදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 2500ක දඩයක් නියම කරනු ලැබී ය.

එම දඩය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි මෙන් ම මහේස්ත්‍රාත්වරයා එම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බවත් රවී සෙනෙවිරත්න සිය පෙත්සම තුළින් සඳහන් කර තිබිණි.

ඒ අනුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ප්‍රතිශෝධනය කර ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් විසින් කරනු ලබන ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම් විභාගය අවසන් වන තෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවත් පසුගිය අගෝස්තු 07 වන දා නියෝග කළේ ය.

2025දීත් අතුරු තහනම් නියෝගයක්

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය 2025 වසරේ සැප්තැම්බර් 04 වන දා ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.