ගුවන් ගමනකින් පසු ගමන් මල්ල නැතිවී හෝ හානි වී ඇත්නම් ගත යුතු පියවර

Istanbul / Turkey - March 29, 2019: Turkish Airlines Airbus A330-200 TC-JIP passenger plane landing at Istanbul Ataturk Airport

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ හෙල්ල 5ක් ගුවන් ගමනක් අතරතුරදී හානියට පත් වීම සමාජ මාධ්‍යවල මේ වන විටත් දැඩි ලෙස සංවාදයට ලක් වෙමින් පවතී.

ඔහු තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් TK - 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඒත් සමග ෆේබුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු තුර්කි ගුවන් සේවය ෆේස්බුක්හි පළ කර තිබුණු පොස්ට්වල මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනාත්මක අදහස් පළ කරන අයුරු නිරීක්ෂණය විය.

හානියට පත්ව තිබූ සිය හෙල්ල 5 පිළිබඳව තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණු අතර අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට ද සිදුව ඇති හානිය පිළිබඳව නිසි අගැයීමක් සිදුකිරීමට ද, හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද තුර්කි ගුවන් සේවය එකඟතාවකට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට (ICAO) අනුව, ශ්‍රී ලංකාව 2018 නොවැම්බර් 19 වන දා මොන්ට්‍රියල් සම්මුතියට එක් වූ අතර, 2019 ජනවාරි 18 වන දා සිට බලාත්මක විය. එසේ ම, මෙම සම්මුතිය දේශීය නීතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත (Carriage by Air Act) සම්මත කළේ ය.

මේ, මගියෙකු ගුවන් ගමනකදී තම ගමන් මලුවලට හානි වූ විට හෝ ඒවා අහිමි වූ විට ගත යුතු පියවර පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ගමන් මලු සම්බන්ධයෙන් මගීන්ට ඇති නීතිමය අයිතිවාසිකම් මොනවා ද?

ගුවන් සමාගමට භාර දුන් ගමන් මල්ලක් විනාශ වීම, නැති වීම හෝ හානි වීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා සිටීමට මගියෙකුට අයිතියක් ඇති බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත මේ පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

ඔහු සඳහන් කළේ, 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනතේ 17(2) වගන්තිය අනුව, පරීක්ෂා කර භාර දුන් ගමන් මලු ගුවන් ප්‍රවාහකයාගේ භාරයේ තිබූ කාලය තුළ විනාශ වීම, නැති වීම හෝ හානි වීම සිදුවූයේ නම්, ඒ සම්බන්ධයෙන් ගුවන් ප්‍රවාහකයා සාමාන්‍යයෙන් වගකිව යුතු බව ය.

කෙසේ වෙතත්, ගමන් මල්ලේ ම පැවති ස්වභාවික දෝෂයක් හෝ අඩුපාඩුවක් නිසා හානිය සිදුවී ඇත්නම් ඒ ප්‍රමාණයට ගුවන් ප්‍රවාහකයා වගකීමෙන් නිදහස් විය හැකි බව ඔහු පැවසීය.

ගුවන් සමාගමට භාර නොදුන් ගමන් මලු සහ මගියා සතුව තබාගත් පෞද්ගලික භාණ්ඩ සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් වන අතර එවැනි හානියක් සම්බන්ධයෙන් ගුවන් ප්‍රවාහකයාගේ, එහි සේවකයෙකුගේ හෝ නියෝජිතයෙකුගේ වරදක් නිසා හානිය සිදුවූ බව පෙන්වීම අවශ්‍ය බව නීතිඥවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත මගින් ශ්‍රී ලංකාව 1999 මොන්ට්‍රියල් සම්මුතියට නීතිමය බලපෑම ලබා දී ඇති අතර එහි විධිවිධාන පනතේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන නමුත් එම සම්මුතිය සෑම ගුවන් ගමනකට ම ස්වයංක්‍රීයව අදාළ වන බව අදහස් නොවන බව ය.

"සම්මුතිය ප්‍රධාන වශයෙන් එහි අර්ථය අනුව "ජාත්‍යන්තර ප්‍රවාහනය" වන ගුවන් ප්‍රවාහනයට අදාළ වේ. ඒ නිසා මගියා ශ්‍රී ලාංකිකයෙකු ද නැද්ද යන්න පමණක් තීරණාත්මක කරුණ නොවේ. අදාළ ගුවන් ගමන සම්මුතියේ විෂය පථයට ඇතුළත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනයක් ද යන්න පරීක්ෂා කළ යුතු ය," ඔහු පැවසීය.

ජාත්‍යන්තර ගුවන් සේවා නීතිය යටතේ පවතින වන්දි සීමා මොනවා ද?

නීතිඥ ඉසුරු මහේෂ් පෙන්වා දුන්නේ, මොන්ට්‍රියල් සම්මුතියේ 22(2) වගන්තිය අනුව, ගමන් මලු විනාශ වීම, නැති වීම, හානි වීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් ගුවන් ප්‍රවාහකයාගේ වගකීම එක් මගියෙකුට අදාළ වන උපරිම සීමාවක් යටතේ පවතින බව ය.

මෙම සීමාව මුලින් විශේෂ ගැනුම් හිමිකම් (SDR) 1,000ක් ලෙස නියම කර තිබූ නමුත්, ICAO විසින් සිදු කරන ලද සංශෝධන අනුව 2024 දෙසැම්බර් 28 සිට එය SDR 1,519ක් දක්වා ඉහළ නංවා ඇත.

මෙය සෑම අවස්ථාවකදීම මගියාට අනිවාර්යයෙන් ලැබෙන ස්ථාවර වන්දි මුදලක් නොව, ගුවන් ප්‍රවාහකයාගේ වගකීමේ උපරිම සීමාවයි.

කෙසේ වෙතත්, ගමන් මල්ල භාරදෙන අවස්ථාවේදී එහි වටිනාකම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කර, අවශ්‍ය නම් අමතර ගාස්තුවක් ගෙවා තිබේ නම්, එම ප්‍රකාශිත වටිනාකම දක්වා වන්දි ඉල්ලා සිටීමේ හැකියාව තිබිය හැකි බව ඔහු පැවසීය.

හානියට පත් වෘත්තීයමය උපකරණ වෙනුවෙන් මගියෙකුට වන්දි ඉල්ලා සිටිය හැකි ද?

නීතිඥ ඉසුරු මහේෂ් සඳහන් කරන පරිදි හානියට පත් වෘත්තීයමය උපකරණ වෙනුවෙන් මගියෙකුට වන්දි ඉල්ලීමක් සිදු කළ හැකි ය.

උදාහරණයක් ලෙස වෘත්තීය කටයුතු සඳහා රැගෙන යන උපකරණයක් ගමන් මල්ලක තිබී හානි වූ පමණින් එය වන්දි ඉල්ලීමෙන් බැහැර කරන බව මෙම පනතේ සඳහන් නොවේ.

එහෙත් එම උපකරණය "වෘත්තීය උපකරණයක්" වීම පමණින් එහි සම්පූර්ණ වෙළෙඳපොළ වටිනාකම ගුවන් සමාගම විසින් අනිවාර්යයෙන් ගෙවිය යුතු බව ද පනත නොකියන බව ගුවන් ප්‍රවාහන පනත උපුටා දක්වමින් ඔහු පැවසීය.

"සාමාන්‍යයෙන් ගමන් මලු සඳහා අදාළ වගකීමේ සීමාවට හිමිකම යටත් වේ. වටිනා වෘත්තීය උපකරණයක් නම්, ගමන් මල්ල භාර දෙන අවස්ථාවේ එහි වටිනාකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර අවශ්‍ය අමතර මුදල ගෙවා තිබීම විශේෂ වැදගත්කමක් ගත හැකි ය," ඔහු සඳහන් කළේ ය.

ගමන් මල්ලක් හෝ එහි ඇති භාණ්ඩයකට හානි වී ඇති බව නිරීක්ෂණය වුවහොත් කළ යුත්තේ කුමක් ද?

තම ගමන් මල්ලක් සම්බන්ධ සිදුවීමකදී වන්දි ඉල්ලීමක් ඔප්පු කිරීමට පනතේ 31 වන වගන්තියේ ලිඛිත පැමිණිලි අවශ්‍යතාව සපුරාලීමට අදාළ ලේඛන ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් නව නීතිඥ ඉසුරු මහේෂ් පැවසීය.

ඒ අනුව, ගුවන් ටිකට්පත හෝ වෙන්කිරීමේ තොරතුරු, බෝඩින් පාස් (boarding pass), බැගේජ් ටැග් (baggage tag) සහ බැගේජ් රිසිට් (baggage receipt) ළග තබා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

එමෙන් ම "හානි වූ ගමන් මල්ලේ හා එහි තිබූ හානි වූ භාණ්ඩවල ඡායාරූප/වීඩියෝ, වටිනා භාණ්ඩවල මිල දී ගැනීමේ රිසිට්පත් හෝ වෙනත් වටිනාකම් සාක්ෂි, ගුවන් තොටුපළේදී ලබාදුන් "baggage damage report" එක සහ ගුවන් සමාගම සමග හුවමාරු කරගත් ලිපි හෝ විද්‍යුත් තැපැල් ආරක්ෂා කරගැනීම සුදුසු" බව ඔහු සඳහන් කළේ ය.

විශේෂයෙන් 31(2) සහ 31(3) වගන්ති අනුව, පරීක්ෂා කළ ගමන් මල්ලකට (checked baggage) හානියක් සිදුවී ඇත්නම් එය සොයාගත් වහා ම සහ උපරිම වශයෙන් ගමන් මල්ල ලැබුණු දින සිට දින 7ක් ඇතුළත ලිඛිතව ගුවන් ප්‍රවාහකයාට පැමිණිලි කළ යුතු බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ගුවන් සමාගමක් විසින් හිමිකම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත්?

ගුවන් සමාගම වන්දිය ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් මගියාගේ නීතිමය අයිතිවාසිකම් අවසන් නොවන බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ කොන්දේසි සපුරා ඇත්නම් මගියාට අධිකරණ ක්‍රියාමාර්ගයකට යා හැකි බව ය.

"නමුත් මුලින් ම 31 වන වගන්තිය යටතේ නියමිත කාලය තුළ ලිඛිත පැමිණිල්ල සිදුකර තිබීම ඉතා වැදගත්. නියමිත කාලය තුළ එවැනි පැමිණිල්ලක් නොකළහොත්, වංචාවක් සම්බන්ධ අවස්ථාවක් හැර, ගුවන් ප්‍රවාහකයාට එරෙහිව නඩු පැවරීමට බාධාවක් ඇති වේ. එසේ ම 35 වන වගන්තිය යටතේ අදාළ දිනයේ සිට වසර දෙකක් ඇතුළත නඩු ක්‍රියාමාර්ග ආරම්භ නොකළහොත් වන්දි ඉල්ලා සිටීමේ අයිතිය අවසන් වේ," ඔහු පැහැදිලි කළේ ය.

මගීන්ට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් ගුවන් මගීන්ට ගුවන් සමාගම් සහ ගුවන් ප්‍රවාහන සේවා සපයන්නන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට නිල ක්‍රමවේදයක් සලසා ඇති බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පැවසීය.

ඔවුන්ගේ නිල මාර්ගෝපදේශය අනුව, මුලින් ම අදාළ ගුවන් සමාගමේ පාරිභෝගික සේවා අංශයට පැමිණිල්ල ඉදිරිපත් කළ යුතු ය.

එම ගුවන් සමාගමෙන් ගැටලුවට සතුටුදායක විසඳුමක් නොලැබුණොත්, එම පැමිණිල්ල CAASL වෙත ඉදිරිපත් කළ හැකි ය.

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 94(1) වගන්තිය අනුව, මගීන් සහ අනෙකුත් ගුවන් සේවා භාවිත කරන්නන් ආරක්ෂා කිරීම සඳහා මගීන්, ගමන් මලු, භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහනයේ කොන්දේසි ඇතුළු කරුණු සම්බන්ධයෙන් බලපත්‍රලාභීන්ට නියෝග, උපදෙස් හෝ ක්‍රියාපටිපාටි නිකුත් කිරීමට අධිකාරියට බලය ඇති බව නීතිඥවරයා පැවසීය.

"එවැනි නියෝග හා ක්‍රියාපටිපාටි පිළිපැදීම අදාළ පාර්ශ්වයන්ගේ නීතිමය වගකීමක් ද වෙනවා. CAASL වෙත පැමිණිල්ල ඉදිරිපත් කරන විට ගුවන් ටිකට්පත හෝ වෙන්කිරීමේ යොමු අංකය (booking reference), ගුවන් ගමන් අංකය සහ දිනය, (ගමන් මලු ටැගය) baggage tag, ගුවන් සමාගම සමග සිදුකළ ලිපි හුවමාරු, හානි වූ ගමන් මල්ලේ හෝ භාණ්ඩවල ඡායාරූප/වීඩියෝ, අදාළ රිසිට්පත් සහ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් වැනි සාක්ෂි ඉදිරිපත් කිරීම වැදගත්.

"CAASL නිල මාර්ගෝපදේශයේ ද මේ ආකාරයේ ආධාරක ලේඛන (supporting documents) ඉදිරිපත් කරන ලෙස සඳහන් කරනවා. එහෙත් මෙහි වැදගත් වෙනසක් තිබෙනවා. CAASL වෙත පැමිණිල්ලක් කිරීම සහ ගුවන් ප්‍රවාහන පනත යටතේ වන්දි ඉල්ලා සිටීම එක ම දෙයක් නොවේ.

"CAASL පවා සඳහන් කරන්නේ මූල්‍යමය වන්දි හෝ ගිවිසුම් කඩකිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මගියාට හැකි බවයි. ඒ නිසා ගමන් මල්ලට හානි වූ විට මුලින් ම ගුවන් සමාගමට නියමිත කාලය තුළ ලිඛිත පැමිණිල්ල කිරීම අත්‍යවශ්‍යයි. 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනතට ඇතුළත් මොන්ට්‍රියල් සම්මුතියේ 31 වන වගන්තිය අනුව, පරීක්ෂා කළ ගමන් මල්ලකට (checked baggage) හානි වී ඇත්නම් හානිය සොයාගත් වහා ම සහ උපරිම වශයෙන් ගමන් මල්ල ලැබුණු දින සිට දින 7ක් ඇතුළත ගුවන් සමාගම වෙත ලිඛිතව පැමිණිලි කළ යුතුයි," නීතිඥවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.

මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය වෙබ් අඩවියේ ද දක්වා තිබේ.

වන්දි ලබා දීම ප්‍රතික්ෂේප වුවහොත්, පවතින නීතිමය විකල්ප මොනවා ද?

ගුවන් මගියාට සිදු වූ ආලාභය සඳහා වන්දි ඉල්ලීමක් කර එය ප්‍රතික්ෂේප වුවහොත් මොන්ට්‍රියල් සම්මුතිය යටතේ අදාළ අධිකරණය ඉදිරියේ වන්දි ඉල්ලා නඩු පැවරීමේ හැකියාව ඇතැයි නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පෙන්වා දුන්නේ ය.

"එහි 33 වන වගන්තිය අනුව, අවස්ථාවට අනුව ගුවන් ප්‍රවාහකයාගේ ස්ථිර පදිංචිය ඇති ස්ථානය, එහි ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය, ගුවන් ප්‍රවාහන ගිවිසුම ඇති කළ ව්‍යාපාරික ස්ථානය හෝ ගමනාන්තය පිහිටි ස්ථානයේ අදාළ අධිකරණය ඉදිරියේ නඩුවක් පැවරීමට හැකියාව තිබිය හැකි ය.

"එහෙත් කාලසීමාව අතිශයින් වැදගත් ය. 35 වන වගන්තිය අනුව, ගුවන් යානය ගමනාන්තයට පැමිණි දිනය, පැමිණිය යුතුව තිබූ දිනය හෝ ප්‍රවාහනය නතර කළ දිනය යන අදාළ දිනයේ සිට වසර දෙකක් ඇතුළත නඩු ක්‍රියාමාර්ග ආරම්භ නොකළහොත් වන්දි ඉල්ලා සිටීමේ අයිතිය අවසන් වේ.

"ඒ නිසා ගුවන් සමාගම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා කියලා එතැනින් කතාව ඉවර වෙන්නේ නැහැ. නමුත් දින 7ක ලිඛිත පැමිණිලි කාලසීමාව සහ වසර 2ක නඩු පැවරීමේ කාලසීමාව නොසලකා හැරීමෙන් පසුව නීතිමය අයිතියම අහිමි විය හැකි නිසා ඉක්මනින් ක්‍රියා කිරීම වැදගත්," යැයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔබ කළ යුත්තේ කුමක් ද?

කටාර්, එමිරේට්ස්, එටිහාඩ්, එයාර් ඉන්දියා, ටර්කිෂ් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇතුළු ශ්‍රී ලංකාවට සේවා සපයන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් සාමාන්‍යයෙන් මගීන්ට උපදෙස් දෙන්නේ ඉහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස ය.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වෙබ් අඩවියට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔබගේ යම් භාණ්ඩයක් අහිමි වුවහොත්, ඔබ ගමන් කළ හෝ ගමන් කරමින් සිටින අදාළ ගුවන් සේවය සමග පළමුව සම්බන්ධ විය යුතු ය.

ගමනේදී මෙවැනි අලාභ සිදුවිය හැකි බැවින්, සියලු ම මගීන් සුදුසු සංචාරක රක්ෂණයක් ලබා ගැනීම දැඩි ලෙස නිර්දේශ කරන බව එය පවසයි.

නැතිවූ හෝ සොයාගත් භාණ්ඩයක් සම්බන්ධයෙන් ඔබට විමසීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳව අහිමි වූ ගමන් මලු පිළිබඳ විමසීම් තොරතුරු කවුළුවට හෝ අදාළ ගුවන් සේවා කාර්යාලයට යොමු කළ යුතු ය.

ඒ සඳහා 011 225 2861 දුරකතන අංකය ද භාවිත කළ හැක.

එනොසේ නම්, ළඟ ම ඇති තොරතුරු කවුළුව වෙත ගොස් රාජකාරියේ නිරත නිලධාරීන්ගේ සහය ලබා ගත හැකි ය.

විකල්පයක් ලෙස, ඔබට මාර්ගගත පාරිභෝගික ප්‍රතිචාර පෝරමය භාවිත කළ හැකි අතර head.am@airport.lk විද්‍යුත් තැපැල් ලිපිනයට ද තම ගැටලුව යොමු කළ හැක.