දිට්වා ව්‍යසනයෙන් වසරකට පසුවත් ජීවිතය පරදුවට තබා ලී පාලමකින් පාසල් යන දරුවෝ

    • Author, සම්පත් දිසානායක සහ සිදේශ් අනුරංග
    • Role, බීබීසී සිංහල
    • වාර්තාකරණය, කොත්මලේ සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මීදුමෙන් වැසුණු කඳු පන්ති මැද සොබාදහමේ සුන්දරත්වයෙන් අනූනව පැවති කොත්මලේ පනංගම්මන ගම්මානය, අද හුදෙකලා වු ප්‍රදේශයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනි දා දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවත් සමඟ ඇදහැළුණු මහා වර්ෂාව, කොත්මලේ - මාවෙල ප්‍රධාන මාර්ගය පනංගම්මන ප්‍රදේශයෙන් දැඩි නායයෑමකට ලක්වී තිබේ. එදා සිට අද දක්වා ගෙවී ගිය වසරක කාලය පුරා, එම මාර්ගයේ රථවාහන ධාවනය ඇනහිටීම නිසා පනංගම්මන ඇතුළු අවට ගම්මාන රැසක මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පසුව ගම්පොළ, නාවලපිටිය සහ කොත්මලේ නගර යා කරන ප්‍රධානතම සහ ළඟ ම විකල්ප මාර්ගය වූයේ මෙයයි. රම්බොඩ දෙසින් පැමිණ ගම්පොළට හෝ ගිනිගත්හේන හරහා කොළඹට යන මගීන්ට මෙන් ම, ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද මෙම මාර්ගය මහත් අස්වැසිල්ලක් වී තිබේ. එමෙන් ම, ගමේ ආර්ථිකය ශක්තිමත් කළ තේ දළු, කෝපි, ගම්මිරිස් ඇතුළු කුළුබඩු අස්වැන්න නගරයට ගෙන ගොස් ඇත්තේ ද මේ මාවත ඔස්සේය. එහෙත් අද වන විට ඒ සියලු ගමන් බිමන් නතර වී, ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති ගම්මානයක් හුදකලා වූ කලාපයක් බවට පත්ව තිබේ.

"අපේ ගම දැන් දැනටම හුදකලා වෙලා වගේ තියෙන්නේ. මේක සෑහෙන දියුණු වෙමින් පැවතුණු ගමක්. මාර්ගය තමයි ඒකට ප්‍රධානම හේතුව. දැන් මාර්ගය නැති හින්දා නිකන් හුදකලා වෙලා වගේ තමයි තියෙන්නේ. දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ කට්ටිය හුඟක් ගමෙන් යැව්වා. ඊට පස්සේ අයින් නොකරපු කට්ටියත් සෑහෙන්න ගියා මේ දුෂ්කරතා දරාගන්න බැරුව," තම ගම්මානයට අත්ව ඇති ඉරණම පිළිබඳව පනංගම්මන ගම්වැසියෙකු අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම මාර්ග අවහිරතාවය නිසා වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පාසල් දූ දරුවන් සහ දෛනිකව රැකියා සඳහා පිටත්ව යන මව්පියන්ය. තම පවුල මුහුණ දෙන ඒ කටුක අත්දැකීම තවත් පියෙකු විස්තර කළේ මෙලෙසිනි:

"අපි ගොඩාක් දුෂ්කරතාවයක තමයි ඉන්නේ දැන්. මගේ වයිෆ් ගාමන්ට් යන්නේ. එයා ප්‍රෙග්නන්ට් හිටියා, ළඟදි තමයි ළමයා හම්බ වුණේ. ඒ කාලෙත් වැඩට යන්න උඩ අතුරු පාරවල් වලින් යන්න විදියක් තිබුණේ නෑ. ඒ නිසා උදේ වැස්සේ මෙතනට ඇවිල්ලා එයාව ගෙනත් දාලා, මම වැඩට යන්නත් ඕනේ, දරුවා ඉස්කෝලෙට දාන්නත් ඕනේ. මෙතනින් ත්‍රීවීල් එකක ඇවිල්ලා, ආපහු එහා පැත්තෙන් තව වීල් එකකට හයර් එක දීලා යන්න ගියාම මාසෙකට රුපියල් පන්දහසකට වඩා ත්‍රීවීල් වලටම යනවා. ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කොහොමද මෙච්චර වියදමක් දරන්නේ?"

මෙම තත්ත්වය නිසා ඇතැම් මව්පියන්ට තම රැකියාවන් පවා අහිමි වී තිබේ. දරුවන් දෙදෙනෙකු පාසල් දෙකකට ඇරලවීමට සහ නැවත කැඳවාගෙන ඒමට මුළු දවස ම වැය කිරීමට සිදුව ඇති නිසා, එදිනෙදා කුලී වැඩක් හෝ කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති බව ගමේ වැඩිහිටියෙකු අප සමඟ පැවසුවේය.

"මේ පේනවා නේද ඉතින් දැන් යන විදිය? ඉස්කෝලේ ළමයි එක්ක යන්න හරිම අමාරුයි. මගේ පුතාගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එයා උදේ පාන්දරින් එක ළමයෙක් ගිහිල්ලා දාලා ආයේ නැවත ඇවිල්ලා අනිත් ළමයා අනිත් ඉස්කෝලෙට එක්ක යන්න ඕනේ. ළමයි එක්ක යන්නම රස්සාවක්වත් කරගන්න විදියක් නෑ. ඊළඟට ආපහු නැවත ගේන්න යන්න ඕනේ."

රජයේ ආයතන විස්සකට ආසන්න සංඛ්‍යාවක් පිහිටි කොත්මලේ නව නගරයට, රජයේ රෝහලට, පොලීසියට, අධ්‍යාපන කාර්යාලයට සහ උසාවියට යාමට ඇති ළඟම සහ පහසුම මාර්ගය මෙය වී තිබේ.

"ඇත්තටම කියනවා නම් අපි ගොඩාක්ම අසරණ වෙලා ඉන්නේ. හදිසි අමාරුවකින් ලෙඩෙක් අරන් යන්න වුණොත් ත්‍රීවීල් එකකින් මෙතනට ඇවිත්, මෙතන ඉඳලා ලෙඩාව උස්සගෙන තමයි එහා පැත්තට යන්න වෙන්නේ. මමත් ඔපරේෂන් එකක් කරලා ඉන්නේ. මීට ඉස්සෙල්ලා මේ නාය ගිහිල්ලා තිබ්බා නම් මට මාර ගානක් වියදම් වෙනවා. අදටත් මම බෙහෙත් ගන්න නව නගරයට ගිහින් එන්නේ මේ දුෂ්කර ගමන ඇවිත්. බලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, අපිට මේ පාර හදලා දෙන්න. ඒක අපි කාටත් ලොකු පිනක්." ශල්‍යකර්මයකට භාජනය වී සිටින පනංගම්මන පදිංචි යූ. ජී. ගුණතිලක අප සමඟ කියා සිටියේය.

වසරක් පුරාවට බලධාරීන් වෙත ගොස් කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබිම නිසා ගමේ තරුණ පිරිස සහ වැඩිහිටියන් එක්ව, ශ්‍රමදායකත්වයෙන් නායගිය ස්ථානය හරහා තාවකාලික ලෑලි පාලමක් ඉදිකර තිබේ. එහෙත්, කඳු මුදුනින් ගලා එන සැඩ ජල පහරට එම ලෑලි පාලමේ කණු මේ වන විටත් සේදී ගොස් ඇත. අද වන විට එය රැඳී ඇත්තේ කේබල් කිහිපයක ආධාරයෙන් පමණි.

තමන් විසින් ම පාලම ඉදිකර ගැනීමට සිදුවූ පසුබිම ගම්වැසියෙකු විස්තර කළේ මෙලෙසිනි: "අපි ඉල්ලීම් කළා, නමුත් වැඩිය ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඊට පස්සේ දැන් අපිට අපේ ළමයි ටික හරි ඉස්කෝලෙකට යවන්න මොකක් හරි මාර්ගයක් විකල්පයක් තියෙන්න එපැයි. ඒ නිසා අපේ මහන්සියෙන් මේ ගම්වාසීන් එකතු වෙලා තරුණ කට්ටිය එකතු වෙලා මේ ලෑලි පාලම හැදුවා. දැනුත් මෙතනින් වතුර ගිහිල්ලා හේදිලා අර කණු එහෙම නිකන් තියෙන්නේ. අර කේබල් ටිකෙන් විතරයි මේ පාලම රැඳිලා තියෙන්නේ."

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ තාවකාලික යකඩ පාලමක් ඉදිකිරීම සඳහා මැනුම් කටයුතු සිදු කර තිබීම ගම්වාසීන්ගේ සිත් තුළ යම් බලාපොරොත්තුවක් දල්වා තිබේ. නමුත්, පොරොන්දු වූ දින වකවානු පසුවී තිබියදීත් ඉදිකිරීම් කටයුතු ආරම්භ නොවීම නිසා ඔවුන් පසුවන්නේ දැඩි අවිනිශ්චිතතාවයකිනි.

"මේ සඳහා වැඩපිළිවෙළක් කරන්න සැලසුම් කරලා තියෙනවා කියන එක ගැන සන්තෝසයි. මෙතන යකඩ පාලමක් ගහලා, ඊළඟට බැම්මක් ගහනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් සැලසුම් වල තාම පේන්න නම් දෙයක් නෑ. 18 වෙනි දා මේකට යකඩ පාලමක් ගහන්න බඩු සේරම ගේනවා කියලා අපිට කිව්වා. නමුත් ඒ දවස පහුවෙලත් තාම මොකුත් නෑ."

'කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබෙනවා'

දිනකට සිය දහස් ගණනක් භාවිත කරන කොත්මලේ - මාවෙල ප්‍රධාන මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට ඇති බාධාව කුමක්දැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය සඳහන් කළේ, ආපදා තත්ත්වයෙන් පසු තාවකාලික පාලමක් යොදා මාර්ගය සක්‍රීයව පවත්වාගෙන ගියද, මෑතකදී ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මාර්ගයේ අදාළ ස්ථානය සම්පූර්ණයෙන්ම නායයෑමට ලක්වූ බවයි.

එසේ වුවද, මාර්ගය යළි ගොඩනැගීම සඳහා මේ වන විටත් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් සැලසුම් සකස් කර, අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය. ඒ අනුව, ස්ථිර පාලම ඉදිකිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඇය වැඩිදුරටත් තහවුරු කළාය.

ප්‍රදේශවාසීන් විසින් ශ්‍රමදායකත්වයෙන් ඉදිකර ඇති තාවකාලික ලී පාලම අනාරක්ෂිත බව දිස්ත්‍රික් ලේකම්වරිය ද පිළිගත්තාය. "ඔතන ගමේ පුද්ගලයෝ විසින් ලීවලින් හදාගත්ත තාවකාලික පාලමක් තියෙනවා. ඒකත් අනාරක්ෂිතයි කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා RDA එකට යකඩ පාලමක් තාවකාලිකව හදලා දෙන්න කියලා පාර හදනකන්," යැයි ඇය සඳහන් කළාය.

තාවකාලික යකඩ පාලම ඉදිවන තෙක් මගී ජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීමට පියවර ගෙන ඇති බව තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවාය. "අපි බස් දෙකක් දෙපැත්තට දුවනවා අර නාය ගාවින් පයින් යන්නයි අනිත් තැන්වලට ඒ දෙපැත්තට ගිහිල්ලා බස් එකකින් යන්න පුළුවන් විදිහට අවශ්‍ය පහසුකම් සලසලා තියෙන්නේ," යැයි ඇය කියා සිටියාය.

ස්ථිර පාලමේ ඉදිකිරීම් අවසන් කර ජනතාවට භාර දීමට නිශ්චිත කාලරාමුවක් තිබේදැයි අප කළ විමසීමේදී ඇය කියා සිටියේ, "ස්ථිර පාලම හදන්න නම් ඒක RDA එකේ කන්ට්‍රෑක්ට් අවෝර්ඩ් කරද්දි සාමාන්‍යයෙන් අවුරුද්දක්, මාස නමයක් ඒ වගේ කාලවල් දාලා තියෙනවා. විශාල කාල පරාසයක් නැහැ," යනුවෙනි.

ස්ථිරව මාර්ගය ඉදිකිරීමට කාලරාමුව කුමක් ද?

ස්ථිර පාලම ඉදිකිරීමට මාස නවයකට ආසන්න කාලයක් ගත වුව ද, තාවකාලික යකඩ පාලම ඉදිකිරීමට එතරම් දිගු කාලයක් ගත නොවන බව දිස්ත්‍රික් ලේකම්වරිය අවධාරණය කළාය. "තාවකාලික පාලම නම් එහෙම මේ ලොකු කාලයක් යන්නේ නැහැ. ඒක RDA එකෙන් ඉක්මනට ම ගෙනැල්ලා හදයි කියලා අපි විශ්වාස කරනවා," ඇය පැවසුවා ය.

මෙම මාර්ගය අවහිර වීම නිසා පනන්ගම්මන ඇතුළු අවට ගම්මාන රැසක ජනතාව දෛනිකව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය. ඒ අනුව, තාවකාලික යකඩ පාලම කඩිනමින් ඉදිකර දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට තමන් යළිත් වරක් සිහිපත් කරන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා ය.