ගෝඨාභය ජනපති සමයේදී ආන්දෝලනාත්මක 'කාබනික පොහොර' ආනයනය: අල්ලස් කොමිසමට නියෝගයක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් මෙරටට ආනයනය කළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම අද (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

අදාළ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සහිත නෞකාව මෙරටට පැමිණීම තුළින් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

සිර දඬුවම් ලබන මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණය හමුවට

මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී වෙනත් නඩුවක් සඳහා සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට රැගෙන විත් තිබිණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව ය.

එම විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වන දා කැඳවන ලෙස නියෝග කළ අතර, එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද අල්ලස් කොමිසමට නියම කළේ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම තුළින් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් සැකපිට හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුකරය ඉදිරිපත් කර තිබේ.