2026 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය: ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවන් කවුද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

6 වන ආසියානු කුසලාන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වන දා සිට සැප්තැම්බර් 26 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඇතුළත් වන අතර ඉන් කණ්ඩායම් 4ක් ඍජුව සුදුසුකම් ලැබී ය.

එලෙස ඍජුව තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්ථානය යි.

අනෙක් කණ්ඩායම් 4 තෝරා ගැනුණේ, 2026 ආසියානු ක්‍රිකට් කවුන්සිල කාන්තා ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරාගවලියේදී දැක්වූ දක්ෂතා අනුව ය.

හොංකොං, ඉන්දුනීසියාව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් එම ප්‍රිමියර් කුසලාන තරගාවලියෙන් සුදුසුකම් ලබා ගත්හ.

මෙවර තරගාවලිය තරග 15කින් සමන්විත වේ.

තරග කාලසටහන සහ ශ්‍රී ලංකාව සහභාගි වන තරග

මූලික වටයේදී කණ්ඩායම් 8, A සහ B කාණ්ඩ 2ක් යටතේ තරග කරන අතර හොංකොං, ඉන්දියාව, පකිස්ථානය සහ තායිලන්තය A කාණ්ඩයට ඇතුළත් වේ.

B කාණ්ඩයෙන් තරග කරන්නේ බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අගෝස්තු 29 වන දා එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය ඉන්දුනීසියාව සමග ලබන සැප්තැම්බර් 2 වන දා ඩුබායිහිදී පැවැත්වේ.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය පැවැත්වෙන්නේ, සැප්තැම්බර් 6 වන දා ය.

මූලික වටයේ එක් කාණ්ඩයක පළමු සහ දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී.

පළමු අවසන් පූර්ව තරගය ලබන සැප්තැම්බර් 10 වන දාත්, දෙවන අවසන් පූර්ව තරගය සැප්තැම්බර් 11 වන දාත් පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 13 වන දා පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ, දැනට කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල ම ක්‍රීඩිකාව වන චමරි අතපත්තුට ය.

2024 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ ද, චමරිගේ නායකත්වයෙනි.

හර්ෂිතා සමරවික්‍රම මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරයි.

ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞෂිනි නුත්‍යාංගනා, සුගන්ධිකා දසනායක, චමුදි ප්‍රබෝධා සහ කාව්‍යා කාවින්දි මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

ඔවුන් සියලු දෙනා ම පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියට ඇතුළත්ව සිටි ක්‍රීඩිකාවෝ වෙති.

එමෙන් ම පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියට ඇතුළත් නොවූ චේතනා විමුක්ති සහ මිතලි අයෝධ්‍යා මෙම සංචිතයට කැඳවා තිබේ.

පකිස්ථානයට එරෙහි පන්දුවාර 20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1ක් ලෙස ජය ගත්හ.

එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ, ශ්‍රී ලංකාවේ ඉමේෂා දුලානි ක්‍රීඩිකාව ය.

දකුණත් පිතිකාරියක වන ඇය මෙම තරගාවලියේ පළමු තරගයේදී නොදැවී ශතකයක් ලබා ගත්තා ය.

24 හැවිරිදි ඇය පන්දු වාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැස්කළ මංගල ශතකය ද එය යි. ඒ අනුව, පළමු තරගයේ වීරයා මෙන් ම තරගාවලියේ වීරයා සම්මානය ද ඉමේෂාට හිමි විය.

එම තරගාවලියේ වැඩි ම කඩුලුලාභී ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකාවේ කවීෂා දිල්හාරි ය. විසිපස් හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩිකාවක වන ඇය එම තරගාවලියේදී කඩුලු 5ක් දවා ගත්තා ය.

පසුගිය වසරක කාලය තුළ (2025 – 2026) කාන්තා පන්දු වාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි ම ලකුණුලාභිනියන් අතර ඉදිරියෙන් ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ, නායක චමරි අතපත්තු ය.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරගවලදී ශතකයක් ද ඇතුළුව

විශිෂ්ට ඉනිම කිහිපයක් ම ක්‍රීඩා කරමින් වැඩි ම ලකුණුලාභිනිය බවට ඇය පත්ව සිටී.

එමෙන් ම හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි යන ක්‍රීඩිකාවන් ද පන්දු වාර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත.

චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න ඉදිරි පෙළ ශක්තිමත් කරයි. කවීෂා දිල්හාරි පන්දු යවන්නියක මෙන් ම දක්ෂ මැද පෙළ පිතිකාරියකි.

ඉකුත් වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව හමුවේ ආසියානු කණ්ඩායම් කිහිපයක් ම පරාජයට පත් වී ඇත.

2026 අප්‍රේල් සහ මැයි මාසවල පැවති 20 තරගාවලියේ තරග 3කදී ම ශ්‍රී ලංකාව හමුවේ ප්‍රතිවාදී බංග්ලාදේශය පරාජයට පත් විය.

ඉන්දීය කණ්ඩායම

තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර කර තිබේ.

එහි නායකත්වය හිමිව තිබෙන්නේ, හර්මන්ප්‍රීට් කෝර්ටයි.

ස්ම්‍රිති මන්දනා උපනායිකාව ලෙස කටයුතු කරන අතර කඩුලු රකින ක්‍රීඩිකාව ලෙස රිචා ඝෝෂ් ක්‍රීඩා කරයි.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන ශෆාලි වර්මා, දීප්ති ශර්මා, අරුන්දතී රෙඩ්ඩි, රේණුකා සිං සහ ප්‍රතිකා රාවල් ද එම සංචිතයට ඇතුළත්ව සිටිති.

කෙසේ නමුත්, නිමාවූ "ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේදී" ආබාධයකට ලක්වූ ප්‍රවීණ ක්‍රීඩකා ජෙමීමා රොඩ්‍රිගස් ඉන්දීය සංචිතයෙන් ඉවත් කර තිබේ.

පකිස්ථාන කණ්ඩායම

2026 වසරේ ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන සංචිතය ද ප්‍රකාශයට පත් කර තිබේ.

ෆාතිමා සනා එම කණ්ඩායමට නායකත්වය ලබා දේ.

මුනීබා අලී, ගුල් ෆෙරෝසා සහ වහීබා අක්තර් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩිකාවන් මෙන් ම නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ද කණ්ඩායමට කැඳවා තිබේ.

ආලියා රියාස් සහ ඩියානා බෙග්ට මෙවර ආසියානු කුසලාන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉඩකඩ අහිමි වී තිබෙන්නේ, ශ්‍රී ලංකාව සමග පැවති තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩාශීලීත්වය හේතුවෙනි.

බංග්ලාදේශ කණ්ඩායම

2026 ආසියානු කුසලාන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතය ද නම් කර ඇති අතර, නායකත්වය හිමිව තිබෙන්නේ නිගාර් සුල්තානාට ය.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයට උපනායිකාව ලෙස නහිඩා අක්තර් කැඳවා තිබේ.

ශෝනා අක්තර්, රිටු මෝනි, මරුෆා අක්තර්, සෝබනා මොස්තරී වැනි ප්‍රවීණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම බංග්ලාදේශ සංචිතයට ඇතුළත්ව සිටිති.

සෙසු කණ්ඩායම්

තරගාවලියට එක් වන නවක කණ්ඩායම් එම අවස්ථාව හිමි කරගෙන තිබෙන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

2026 ආසියානු ක්‍රිකට් කවුන්සිල කාන්තා ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ තායිලන්ත කණ්ඩායම ය.

ඔවුන්, මෑත කාලයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වේගයෙන් ඉදිරියට ආ කණ්ඩායමකි.

තායිලන්ත කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නත්තකාන් චාන්තම් (Natthakan Chantham) එම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවකි.

ජාත්‍යන්තර පන්දු වාර 20 ලකුණු 1,500කට වඩා ලබා සිටින ඇය, තායිලන්තයේ සාර්ථක ම පිතිකාරිනි වේ.

එම කණ්ඩායමේ පන්දු යවන්නියන් අතර ඉදිරියෙන් ම සිටින්නේ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකාවක වන තිපට්චා පුත්තවොං (Thipatcha Putthawong) ය.

ඇය ප්‍රිමියර් කුසලාන තරගාවලියේ වැඩි ම කඩුලුලාභිනිය වෙමින් කණ්ඩායම ශූරතාව කරා ගෙන යාමට ලොකු දායකත්වයක් ලබා දුන්නා ය.

මෙම ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් බවට පත්වූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ද 2026 ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටී.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ද ඔවුන් ය.

කණ්ඩායමේ නායකත්වය දරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩිකා ඊෂා ඔජා (Esha Oza) එම කණ්ඩායමේ දක්ෂතා අතර ඉදිරියෙන් ම සිටින ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත මැද පෙළ පිතිකාරිනියක වන කවීෂා එගොඩගේ (Kaveesha Egodage) ක්‍රීඩිකාව ද එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවකි.

2003 අප්‍රේල් 23 වන දා ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ඇය, පසුව සිය පවුල සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචියට ගොස් තිබේ.

ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන් වන ස්ථානය හිමි කර ගත් ඉන්දුනීසියාව ද මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටී.

ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි හොං කොං කණ්ඩායම ද ආසියානු කුසලාන වරම් දිනා සිටී.

ජාත්‍යන්තර මට්ටමේ එතරම් ප්‍රචලිත නොවුණ ද මෙම කණ්ඩායම් දෙක ද දක්ෂ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වේ.

තරගාවලියේ ඉතිහාසය

2004 වසරේදී ආරම්භ කළ තරගාවලිය 2008 වසර දක්වා ක්‍රියාත්මක වූයේ, එක් දින තරග ආකෘතිය යටතේ ය.

අනතුරුව 2012 වසරේ සිට එම තරගාවලිය පන්දු වාර 20 ආකෘතියෙන් ක්‍රියාත්මක වේ.

මෙම තරගාවලිය ක්‍රියාත්මක වන්නේ, වසර 2කට වරක් පැවැත්වෙන තරගාවලියක් ලෙස ය.

2012, 2016, 2022 වසරවලදී තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායම ය. 2018 දි බංග්ලාදේශ කාන්තා කණ්ඩායම එම ශූරතාව දිනාගත්තේය. අවසන් වරට 2024 වසරේදී පැවති තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාව ය.

ශ්‍රී ලංකාවට 2022 වසරේදී අනු ශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය.