ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: පන්දු 128කදී ලකුණු 417ක් රැස් කළ විශ්මි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
2026 පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ තවත් ප්‍රමුඛ ක්‍රීඩිකාවක ලෙස විශ්මි ගුණරත්න හැඳින්විය හැකි ය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්වූ ඇය, ක්‍රිකට් ක්‍රීඩිකාවක පමණක් නොව මලල ක්‍රීඩිකාවක ලෙස ද ජාතික වර්ණ දිනා තිබේ.
3 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණු විශ්මි
සහෝදරයෙකුගෙන් සහ සහෝදරියන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා විශ්මි ය.
ඇගේ පියා ඉංජිනේරුවරයෙකු වන අතර මව ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනියකි. ඔවුන් දෙදෙනා ම මලල ක්‍රීඩාවේ ද නිරත වූවන් ය.
විශ්මි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ, ඉතා කුඩා වයසේදී ය. ඒ, ඇගේ සහෝදරයා ආදර්ශයට ගනිමිනි.
ඇය ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාවට ආරම්භ කර ඇත්තේ, 3 වසරේ අධ්‍යාපනය ලබන සමයේදී ය.
ඇගේ සහෝදරයා නිට්ටඹුව ක්‍රීඩා සමාජයට එක් වීමෙන් අනතුරුව විශ්මි සහ ඇගේ සහෝදරිය ද එම සමාජයට සම්බන්ධ වූහ.
ඒ වන විට විශ්මි අල්ගම කනිෂ්ට විද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියක් විය.
විශ්මිගේ වැඩිමහල් සහෝදරිය ගම්පහ රත්නාවලී බාලිකා විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.
සාමාන්‍ය පෙළට A සාමාර්ථ 9ක්: මලල ක්‍රීඩාවෙනුත් විශිෂ්ට දස්කම්
ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් අනතුරුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වූ විශ්මි, ක්‍රීඩාවට මෙන් ම අධ්‍යාපනයට ද දක්ෂයෙකු විය.
ක්‍රිකට් මෙන් ම මලල ක්‍රීඩා ද ඒ අතරට ඇතුළත් විය. මීටර 100 සහ 200 ධාවන ඉසව්වලින් ඇය ජාතික වර්ණ දිනා ඇත.
2019 ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ මීටර 100 සහය ධාවන ඉසව්වේ වසර 20ක් පැරණි වාර්තාව බිඳ දැමූ රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායමට ද ඇය ඇතුළත් වූවා ය.
විශ්මි සාමාන්‍ය පෙළ සමත් වූයේ විශිෂ්ට සාමාර්ථ 9ක් ද සමගිනි.
විශ්මි ගුණරත්න නමැති ක්‍රිකට් ක්‍රීඩිකාව පාසල් තරග බිමේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ දකුණත් පිතිකාරියක ලෙසය .
ගම්පහ රත්තාවලී බාලිකා විදුහල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල ලෙස විශ්මි සහ ඇගේ සහෝදරිය කටයුතු කර තිබේ.
ඇය ගම්පහ, රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායමේ නායකත්වයට පත් වන විට වයස අවුරුදු 16කි.
පාසල් ක්‍රිකට් තරග බිමේ කැපී පෙනෙන වාර්තාවක් පිහිටුවීමට ද ඇය සමත් වූවාය.
ඒ, 2022 වසරේදී ය.
වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ තරගයක ඉනිමකදී ක්‍රීඩිකාවක රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට විශ්මි එහිදී සමත් වූවා ය.
පොළොන්නරුව, ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය සමග පැවති සුපිරි කණ්ඩායම් 16 තරග වටයේදී ඇය පන්දු 128කදී ලකුණු 417ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවූවා ය.
එම වසරේදී ම අන්තර් සමාජ තරගාවලියේදී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී රැස් කළ ශතකය ඇයට ජාත්‍යන්තර වරම් විවර කිරීමට බලපෑ මූලික සාධකයක් විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ ළාබාලතම ක්‍රීඩිකාව
2022 වසරේදී ම මැලේසියාවේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේදී විශ්මි ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වූ ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ ඇයයි.
ඒ වන විට ඇගේ වයස අවුරුදු 16කි. එම වසරේදී ම විශ්මි එක් දින වරම් ද දිනා ගත්තා ය. ඒ, ඉන්දියාවට එරෙහිව ය.
එම තරගාවලියේදී ඇය අර්ධ ශතකයක් රැස් කළ අතර, ඒ අනුව ඇය වාර්තා අතරට එක් වූයේ, එක්දින තරගයකදී අර්ධ ශතකයක් රැස් කළ ශ්‍රී ලංකාවේ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසිනි.
2023 වසරේදී පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන බාලිකා ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග කළේ විශ්මිගේ නායකත්වයෙනි.
මේ දක්වා එක් දින ජාත්‍යන්තර තරග 34කට ක්‍රීඩා කර ඇති ඇය, ශතකයක් සහ අර්ධ ශතක 3ක් ද සමගින් ලකුණු 764ක් රැස් කර තිබේ.
පන්දුවාර 20 තරග 54කදී ඇය රැස් කළ ලකුණු 805ට අර්ධ ශතක 3ක් ඇතුළත් වේ.
විශ්මි, 2023 වසරේදී පළමු වරට T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකට සහභාගී වූවා ය.
ඒ වන විට ඇගේ වයස අවුරුදු 18කි.
තවමත් 20 වන වියේ පසු වන විශ්මි මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉහළින් ම බලාපරොත්තු තබා සිටින ක්‍රීඩිකාවකි.