රු. 20,000ක අල්ලසකට අධිකරණය දුන් 'බරපතළ' දඬුවම

court
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

නියමිත ප්‍රමාණයට වඩා මඟීන් පටවාගෙන ගිය අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා අදාළ බස් රථ හිමිකරුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවලට වරදකරු වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂකවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ විනිසුරුවරයා, ඔහුට එරෙහි චෝදනා හතරටම වරදකරු බව ප්‍රකාශ කරමින් එම දඬුවම නියම කළ අතර, රුපියල් 20,000ක දඩයක් ද නියම කළේය.

නියම කළ දඩ මුදල නොගෙවන්නේ නම් මාස අටක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවට ද විනිසුරුවරයා නියෝග කළේය. එසේම, විත්තිකරුට නියම කළ වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර හතරකින් එකවර ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට ද නියම විය.

මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂකවරයකු ලෙස සේවය කළ රංජිත් කොටුපිටිය නැමැත්තාටය.

මඟී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී, 2015 මාර්තු 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ සිට බිබිල දක්වා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක අනුමත ප්‍රමාණයට වඩා මඟීන් 13 දෙනකු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා බස් රථ හිමිකරුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩු විභාගයේදී අනාවරණය වූයේ, අදාළ දිනයේ කොළඹ සිට බිබිල දක්වා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක කණ්ඩායමක් විසින් අතරමඟදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

එහිදී මඟීන් කිහිපදෙනකු හිටගෙන ගමන් කරන බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බස් රථයට නිකුත් කර තිබූ මාර්ග ප්‍රවාහන බලපත්‍රය නිලධාරීන් භාරයට ගෙන තිබූ බව ද අනාවරණය විය.

එම අවස්ථාවේ නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි විත්තිකරු, අදාළ බස් රථ හිමිකරු දුරකතනයෙන් අමතා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ඇති බවත්, පසුව එම මුදල තමන් සමඟ සේවය කළ තවත් ජංගම පරීක්ෂකවරයකුගේ බැංකු ගිණුමකට බැර කරවාගෙන ඇති බවත් නඩු විභාගයේදී වැඩිදුරටත් අනාවරණය විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ විනිසුරුවරයා, ඔහුට අදාළ දඬුවම් නියම කළේය.