මිය ගොස් සිටියදී හමුවූ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සම්බන්ධ ආන්දෝලන සහ චෝදනා මොනවා ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී මියගොස් සිටියදී හමුවී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවේ, හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් සිදු කරන බව ය.

"බම්බලපිටිය පොලිස් බල ප්‍රදේශයේ තියෙන මහල් නිවාසයකදී ඔහු මිය ගිහින් ඉඳලා හම්බ වෙලා තියෙනවා. වයස අවුරුදු 60ක් වෙනවා. යම් රෝගී තත්ත්වයකින් පෙළුණු බවටත් තොරතුරු ලැබිලා තියෙනවා. කොහොම වුණත් මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ වැඩිදුර තොරතුරු ලබා දෙන්න පුළුවන්."

එරාජ් ප්‍රනාන්දු යනු කවුද?

1966 වසරේදී උපත ලබා ඇති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මිය යන විට ඔහු 60 වන වියේ පසුවිය.

එරාජ් ප්‍රනාන්දු, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2014 වසරේදී හම්බන්තොට නගරාධිපති ධූරයට පත්වූ අතර 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහය ඇතිව දෙවන වරට ද හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධූරයට පත්විය.

රාජපක්ෂ පවුල හා සම්බන්ධ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකෙරුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව සිදුවූ දේශපාලන ක්‍රියාකාරකම් තුළ ඔහු ප්‍රමුඛ පෙළේ සක්‍රීය චරිතයක් ලෙස කටයුතු කළේ ය.

එරාජ් ප්‍රනාන්දු සම්බන්ධ මතභේදාත්මක සිදුවීම් මොනවා ද?

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මෙරට දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයෙකු ලෙස ප්‍රකට විය.

සතොස සභාපති ලෙස එල්ල වූ චෝදනා :

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වීමට පෙර එරාජ් ප්‍රනාන්දු සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදී. 2010 සහ 2014 කාලසීමාව තුළ එම ධූරය දැරූ ඔහුට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

2010 සහ 2014 කාලසීමාව තුළ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මොහිදින් මොහොමඩ් ෂාකිර් සමග එරාජ් ප්‍රනාන්දු එක්ව සතොස සේවකයන් රාජකාරි නොවන දේශපාලන කටයුතු සඳහා යොදවා එම සංස්ථාවේ මුදලින් වැටුප් හා අතිකාල දීමනා ගෙවීමෙන් රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනා යටතේ අල්ලස් කොමිසම මගින් නඩු 5ක් පවරා තිබිණි.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති අතර, දෙවන විත්තිකරු ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු නම් කර ඇති අතර, තුන් වන විත්තිකරු ලෙස හිටපු අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ෂකීර් නම් කර ඇත.

මෙම නඩුවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගය බලරහිත කළ අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්, එම නඩු පහ ම නැවත විභාගයට ගන්නා ලෙස මහාධිකරණයට නියෝග කර තිබේ.

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පැහැර ගැනීමට තැත් කිරීම

2014 මාර්තු 27 වන දින අම්බලන්තොට පොලිස් ස්ථානයට කඩා පැන එහි සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමට තැත් කිරීම හා ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එවකට හම්බන්තොට නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ එරාජ් ප්‍රනාන්දුට චෝදනා එල්ල විය.

එම සිදුවීමෙන් මාසයක පමණ කාලයකට පසුව කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 2014 අප්‍රේල් මස 28 වන දා රාත්‍රීයේදී ඔහු අත්තඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අප්‍රේල් මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය.

'සෙල්ලම් පිස්තෝල' නඩුව

2014 අප්‍රේල් මස 17 වන දා මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට පැමිණි එවකට විපක්ෂය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට සහ මාධ්‍යවේදීන්ට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සහ ඔවුන් පසුපස ලුහුබැඳ යාම සම්බන්ධයෙන් එරාජ් ප්‍රනාන්දුට චෝදනා එල්ල විය.

කෙසේ වුව ද හිටපු නගරාධිපතිවරයා පසුව පැවසුවේ තමන් අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් බව ය. මෙම ප්‍රකාශයෙන් පසුව බොහෝ දෙනා අතර මෙම සිදුවීම 'සෙල්ලම් පිස්තෝල සිදුවීම' ලෙස ප්‍රසිද්ධියට පත්විය.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පැවරිණි.

එම නඩුවෙන් හම්බන්තොට මහ නගර සභාවේ එවකට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමානට චෝදනා 29ක් යටතේ අධිචෝදනා ගොනු කෙරුණු අතර, ඉන් චෝදනා 27කට ඔවුන් දෙදෙනා වරදකරුවන් බව ප්‍රකාශ කළ හම්බන්තොට මහාධිකරණය ඔවුන් දෙදෙනාට වසර 05 බැගින් වූ සිරදඬුවම් නියම කරන ලදී. සෙසු සැකකරුවන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

වරදකරුවන් බවට තීන්දු වූ එරාජ් ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන විත්තිකරුවන් දෙදෙනාට එක් එක් චෝදනාවක් සඳහා රුපියල් 5,000 බැගින් දඩ නියම කරනු ලැබූ අතර, ඒ අනුව ඔවුන් එක් අයෙකුට රුපියල් 135,000 බැගින් මුළු දඩ මුදලක් ගෙවීමට නියම විය.

එමෙන් ම, නඩුවේ අගතියට පත් පාර්ශ්වය ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනාට, මාධ්‍යවේදීන් හය දෙනාට සහ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙස ද අධිකරණය නියෝග කළේ ය.

කෙසේ වුව ද පසුව එරාජ් ප්‍රනාන්දු එම තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 ඔක්තෝබර් මස 19 වන දා ඇප මත මුදා හරින ලදී.

විපක්ෂයේ විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම

2014 දෙසැම්බර් මාසයේදී හම්බන්තොට බස් නැවතුම්පොළේදී එවකට පැවති රජයට එරෙහිව "වීදියේ විරෝධය" කණ්ඩායම සහ විපක්ෂ ක්‍රියාකාරීන් සංවිධානය කළ වීදි නාට්‍යයකට සහ සාමකාමී විරෝධතාවකට, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දුන් බවට දරුණු චෝදනා එල්ල විය.

විදී නාට්‍ය සංදර්ශන, අත් පත්‍රිකා බෙදා දීම් හා ගායන ප්‍රසංග ඇතුළත් සංස්කෘතික අංග සහිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට පැමිණි සිටි ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු නිරායුධ සිවිල් ක්‍රියාකාරින්, කලාකරුවන් සහ තවත් පිරිසකට "මේක අපේ රජතුමා හදා ගත්ත නගරය, මේකේ පිට එවුන්ට මොනවත් කරන්න දෙන්න බෑ, තොපි මරනවා" යනුවෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක් පිස්තෝල පෙන්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.

බම්බලපිටියේදී ආරක්ෂක නිලධාරීන්ට පහරදීම සහ ඉඩමකට අනවසරයෙන් ඇතුළුවීම

2021 සැප්තැම්බර් මාසයේදී කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස් කරන ලදී.

විදේශගතව සිටින ලාංකිකයින්ට අයත් කොළඹ ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත් බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර එම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙවැනි චෝදනා එල්ල වී තිබූ හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු 2022 පෙබරවාරි 10 වන දින පෞද්ගලික හේතු දක්වමින් නගරාධිපති ධූරයෙන් සහ නගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.