'වෙසක් සැමරුම්වලින් පැතිර යා හැකි' මෙනින්ජයිටිස් රෝගයෙන් පාසල් දරුවන් ඇතුළු සියලු දෙනා බේරා ගැනීමට උපදෙස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය ප්‍රදේශ කිහිපයක පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පත්වීමෙන් දෙනියාය ප්‍රදේශයේ පාසල් දින කිහිපයක් වසා තැබීමට ද සිදු විය.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ ය.
දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ ආදී ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මෙම රෝගය වැළඳුණු කිසි ම රෝගියෙකු බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බවත්, දින කිහිපයක් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසීය.
'වැස්ස සහ වෙසක් සැමරුම් නිසා මෙනින්ජයිටිස් පැතිරීමේ අවදානමක්'
වර්ෂාව සහ වෙසක් සමයේ පවතින ජනයා ගැවසෙන සැමරුම් උත්සව හරහා මෙම රෝගය පැතිරා යා හැකි බවට ද වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.
"පවතින වර්ෂා කාලයත්, වෙසක් උත්සවය ආශ්‍රිතව තියෙන දන්සල් ආදී කටයුතුත් එක්ක විශේෂයෙන් ම අපි සියලු ම දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා රෝගය පැතිරෙන්න පුළුවන්. මේක ආහාර මාර්ගයෙන් සහ ජලය මාර්ගයෙන් පැතිරෙන්න පුළුවන්. ඒ වගේ ම ස්පර්ශයෙන්, බිඳිති මාර්ගයෙන් යනවා. එබැවින් අපි ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව ම ඉදිරියේ මහජනතාව ගැවසෙන අවස්ථාවල කටයුතු කිරීම ඉතා ම වැදගත් වෙනවා රෝග පාලනය සඳහා. මේ ගැන විශේෂ කලබල වීමක් අවශ්‍ය නැහැ."
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ යනු කුමක් ද?
මෙනින්ජයිටිස් යනු දරුණු ආසාදනයක් වන අතර එය මොළය හා සුසුම්නාව වටා ඇති මෙනින්ජස් සහ ආරක්ෂිත පටලවල වේදනාවක් ඇති කරයි.
මෙම රෝගය බොහෝවිට බැක්ටීරියා, වෛරස් හෝ දිලීර ආසාදන හරහා ඕනෑ ම වයස් කාණ්ඩයක පුද්ගලයින්ට බලපෑ හැකි අතර ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි ය.
ඕනෑ ම පුද්ගලයෙකුට මෙනින්ජයිටිස් වැළඳිය හැකි වුව ද, අවුරුද්දකට අඩු ළදරුවන්, වයස අවුරුදු 16-23 අතර නව යොවුන් වියේ පසුවන්නන් සහ තරුණ වැඩිහිටියන් , වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් වැඩි අවදානම් කාණ්ඩ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මොනවා ද?
මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ වේගයෙන් වර්ධනය විය හැකි අතර බොහෝවිට මුලදී උණ රෝග ලක්ෂණවලට සමාන වේ.
හදිසියේ ඇති වන අධික උණ, දරුණු හිසරදය, බෙල්ලේ වේදනාව, ඔක්කාරය, වමනය, ආලෝක සංවේදීතාව (ආලෝක භීතිකාව) මෙනින්ජයිටිස් රෝගයේ මූලික ලක්ෂණ වේ.
ඇතැම් රෝගීන්ට වලිප්පුව ඇති විය හැකි ය. ඊට අමතරව, ඉතා අධික නිදිමතක් ඇති විය හැකි අතර අවදි වීමට අපහසු විය හැකි ය.
මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් සමග සමේ කැක්කුමක් ඇති විමේ අවදානමක් ද පවතී.
එමෙන් ම, අලුත උපන් බිළිඳුන්ගේ සහ ළදරුවන්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණවලට වඩා වෙනස් විය හැකි අතර, ළදරුවන් නිරන්තරයෙන් හැඬීම, කෝපය සහ දුර්වල ලෙස ආහාර ගැනීම පෙන්නුම් කළ හැකි ය.
රෝගය පැතිරෙන්නේ කෙසේ ද?
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග ඇති වීමට බැක්ටීරියා ආසාදන ප්‍රධාන හේතුවක් වන අතර මෙම බැක්ටීරියා ශ්වසන ස්‍රාවයන්, සමීප සම්බන්ධතා හෝ අපිරිසුදු ආහාර හරහා පැතිර යා හැක.
වඩාත් ප්‍රචලිත වෛරස් මෙනින්ජයිටිස් සතියක් ඇතුළත ප්‍රතිකාරයකින් තොරව සුව විය හැකි අතර, බැක්ටීරියා හෝ දිලීර මෙනින්ජයිටිස් සඳහා දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වේ.
මෙනින්ජයිටිස් වළක්වා ගන්නේ කොහොම ද?
මෙනින්ජයිටිස් රෝගයෙන් වැළකී සිටීම සඳහා යහපත් සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
යහපත් සනීපාරක්ෂක පුරුදු මගින් මෙනින්ජයිටිස් පැතිරීම නැවැත්විය හැකි අතර කෑමට පෙර සහ වැසිකිළිය භාවිත කිරීමෙන් පසු හොඳින් අත් සේදීම අත්‍යවශ්‍ය වේ.
බීම වීදුරු, කෑම කන උපකරණ හෝ දත් බුරුසු වැනි පෞද්ගලික භාණ්ඩ බෙදා ගැනීමෙන් වැළකීම මෙන් ම රෝගය සම්ප්‍රේෂණ අවදානම අවම කිරීම සඳහා කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවේදී ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීමට උපදෙස් දෙයි.
නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි සංකූලතා මොනවා ද?
මෙනින්ජයිටිස් රෝගයට දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර නොකළහොත් එය දරුණු විය හැකි ය.
තව ද, ප්‍රතිකාර කිරීමෙන් තොරව රෝගය දිගු වන තරමට, ස්ථිර ස්නායු හානි වීමේ අවදානම වැඩි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
අර්ධ හෝ සම්පූර්ණ ශ්‍රවණාබාධ, මතක ශක්තිය හීන වීම, ඉගෙනීමේ දුර්වලතා, මොළයේ හානි නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි සංකූලතා වේ.
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය දරුණු අවස්ථාවලදී වකුගඩු අකර්මණ්‍ය වීම, කම්පනය හෝ මරණයට පවා හේතු විය හැකි බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
රෝගය පැතිරීම පාලනයට සහ වැළැක්වීමට උපදෙස් මාලාවක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලු ම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.
එම විශේෂ මාර්ගෝපදේශ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව ද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
එම උපදෙස් මාලාව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සකස් කරනු ලැබ ඇත.

































