ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ රුමේෂ් තරංග: ඩයමන්ඩ් ලීග් අවසන් මහ තරගය ජයගනියි

ඡායාරූප මූලාශ්‍රය, Wanda Diamond League | Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව ජය ගනිමින් ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගත්තේ ය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැති තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 89යි දශම 0යි 4ක් දක්ෂතාවකි.
ඔහු වාර්තා අතරට එක් වන්නේ ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.
රුමේෂ් තරංග මේ වන විට හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම් හි පළමු ස්ථානයේ පසුවේ.
2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර බෙල්ජියමේ බ්‍රසල්හිදී පසුගිය 04 වනදා සහ 05 වනදා පැවැත්විණි.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය පැත්වෙන්නේ කෙසේ ද?
2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය අදියර පහළොවකින් සමන්විත විය.
එහි අවසන් අදියරේ විශේෂත්වය වන්නේ
තරග මාලාවේ කිරුළ හිමි කරගන්නා ශූරතා හිමිවන වසරේ වඩාත්ම තීරණාත්මක තරගාවලිය වීම හේතුවෙනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවසන් අදියරට තරග කිරීමට සුදුසුකම් ලබන්නේ ඊට පෙර පැවති තරග අදියරවල ඒ ඒ ඉසව්වලින් ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි.
වසර පුරා පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මූලික තරග වට 14 හිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගන්නා ස්ථාන අනුව ලකුණු හිමිවේ. එනම්, පළමු වන ස්ථානයට ලකුණු 8 සිට 8 වන ස්ථානයට ලකුණු 1 දක්වා වන පරිදිය.
සෑම ඉසව්වකින්ම වැඩිම ලකුණු ලබන නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී.
අනෙකුත් අදියර මෙන් නොව මෙම අවසන් මහා තරගය සාමාන්‍යයෙන් දින දෙකක් පුරා පැවැත්වෙයි.
පිරිමි සහ කාන්තා තරග ඉසව් 32 කින් ශූරයන් තේරීම සිදු කරනු ලබයි.
සූරෙක් (Zurich), බ්‍රසල්ස් (Brussels) හෝ යුජීන් (Eugene) වැනි ප්‍රධාන නගර අතර මාරුවෙන් මාරුවට සත්කාරකත්වය හිමිවේ.
මෙවර අවසන් මහා තරගයේ සත්කාරකත්වය හිමිව තිබුණේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරටය.
සෑම ඉසව්වකම ජයග්රාහකයාට හිමිවන නිල කුසලානය Diamond Trophy හෙවත් ඩයමන්ඩ් ශූරතාව ලෙස හඳුන්වයි.
අදියරක ජයග්‍රාහකයෙකුට ඇමෙරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර, දෙවන ස්ථානයේ සිට 8 වන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග පිරිනැමේ.
මීට අමතරව සෑම තරග අදියරකදීම තෝරාගත් ඉසව් කිහිපයක් සඳහා Diamond + Disciplines ලෙස විශේෂ මුදල් ත්‍යාග හිමිවේ.
තරගාවලියේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ සාමාන්‍ය අදියරකදී Diamond + Disciplines ඉසව් සඳහා ඇමෙරිකා ඩොලර් 30,000 - 40,000 අතර මුදල් ත්‍යාග
ප්රදානය කරන බවය.
අවසන් මහ තරගයේදී Diamond + Disciplines ඉසව්වලට ඇමෙරිකා ඩොලර් 60,000 - 100,000 දක්වා මුදල් ත්‍යාග ප්රදානය කරන බව අදාළ වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙවර බ්‍රසල්හිදී පැවති අවසන් අදියරට
Diamond + Disciplines ඉසව් 8ක් ඇතුළත් විය.
මීටර 100 පිරිමි, මීටර 800 පිරිමි, මීටර 1500 පිරිමි, හෙල්ල විසි කිරීම පිරිමි, මීටර 800 කාන්තා, මීටර 1500 කාන්තා, මීටර 100 කඩුලු මතින් දිවීම කාන්තා, දුර පැනීම කාන්තා යන ඉසව් ඊට අයත් වේ.
ඒ ඒ ඉසව්වල ජයග්‍රාහකයන්ට ඊළඟ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සඳහා සෘජු ලෙසම වරම් (Wild Card) හිමි වේ.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගය ජයගනිමින් ඩයමන්ඩ් ලීග් ශූරතා දිනා ගැනීමට සමත්ව ඇත්තේ සීමිත ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පමණි.
ඩයමන්ඩ් ලීග් ශූරතා දිනා ගැනීමට සමත්ව ඇති ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගය ජයගනිමින් ඩයමන්ඩ් ලීග් ශූරතා දිනා ගැනීමට සමත්ව ඇත්තේ සීමිත ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පමණි.
1. මුටාස් එසා බාර්ෂිම් - කටාර් (Mutaz Essa Barshim - Qatar)
• ඉසව්ව: පිරිමි උස පැනීම (Men's High Jump)
• දිනාගත් වසර: 2014, 2015, 2017
• ආසියානු මහාද්වීපයෙන් ඩයමන්ඩ් කුසලානය දිනාගත් පළමු ක්‍රීඩකයා වන මොහු, තෙවරක්ම මෙම ශූරතාව හිමිකර ගෙන තිබේ.
2. ගොං ලීජියාඕ - චීනය (Gong Lijiao - China)
• ඉසව්ව: කාන්තා යගුලිය විසි කිරීම (Women's Shot Put)
• දිනාගත් වසර: 2017, 2018, 2019
• ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගත් පළමු ආසියානු ක්‍රීඩිකාව වන අතර, අඛණ්ඩව තෙවරක්ම මෙම ශූරතාව හිමිකර ගැනීමට ඇය සමත් වූවාය.
3. නීරජ් චොප්රා - ඉන්දියාව (Neeraj Chopra - India)
• ඉසව්ව: හෙල්ල විසි කිරීම පිරිමි (Men's Javelin Throw)
• දිනාගත් වසර: 2022
• මීටර් 88.44 ක දක්ෂතාවයක් දක්වමින් ඩයමන්ඩ් ලීග් ශූරතාවක් දිනාගත් පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත්විය.
4. වූ සංග්-හ්යොක් - දකුණු කොරියාව (Woo Sang-hyeok - South Korea)
• ඉසව්ව: පිරිමි උස පැනීම (Men's High Jump)
• දිනාගත් වසර: 2023
• 2023 යුජීන් අවසන් මහා තරගයේදී මීටර් 2.35 ක දක්ෂතාවයක් දක්වමින් ඩයමන්ඩ් ලීග් ශූරතාවක් දිනාගත් පළමු දකුණු කොරියානු ක්‍රීඩකයා බවට පත්විය.
2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගගේ දක්ෂතා
2026 ඩයමන්ඩ් ලීග් තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දක්වමින් අදියර කිහිපයකදීම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
මෙම තරගාවලියේදී ඔහු සහභාගී වූ ප්‍රධාන අදියරයන් සහ ලබාගත් ප්‍රතිඵල මෙසේය.
1. රබාත් අදියර (මොරොක්කෝව - මැයි 31)
මීටර් 85.97 ක දක්ෂතාවයක් දක්වමින් 2 වන ස්ථානයට පත් විය.
2. රෝම අදියර ( ජූනි 04)
• පළමු ස්ථානය - දක්ෂතාව: මීටර 92.62
• විශේෂත්වය: මීටර් 92.62 ක දුරක් සටහන් කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාව මෙන්ම තරගාවලි වාර්තාවක්ද (Meeting Record) පිහිටවූ අතර, මීටර් 90 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. එමෙන්ම එය මෙම වසරේදී ක්‍රීඩකයකු හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වකදී ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව ද වේ.
3. දෝහා අදියර ( ජූනි 19)
• පළමු ස්ථානය - දක්ෂතාව: මීටර 88.68
4. ලොසෑන් අදියර ( අගෝස්තු 21)
• පළමු ස්ථානය - දක්ෂතාව: මීටර 88.14
• විශේෂත්වය: ඉන්දියාවේ නීරාජ් චොප්රා (Neeraj Chopra - 88.05m) ඉතා ආසන්නයෙන් පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.
5. සූරෙක් අදියර ( අගෝස්තු 27)
• පළමු ස්ථානය - දක්ෂතාව: මීටර් 92.07
• විශේෂත්වය: ඔහුගේ 6 වන (අවසාන) උත්සාහයේදී මෙම දැවැන්ත දුර සටහන් කරමින්, සිය ක්‍රීඩා ජීවිතයේ දෙවන වතාවටත් මීටර් 92 සීමාව පසු කළේය.
6. බ්‍රසල්ස් අදියර ( සැප්තැම්බර් 05)
පළමු ස්ථානය - දක්ෂතාව: මීටර 89.04
• විශේෂත්වය: ඔහුගේ 3වන උත්සාහයේදී මෙම දුර සටහන් කරමින් ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනා ගත්තේය.
පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර් මෙම තරගයේදී මීටර 87.47ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් දෙවැනි ස්ථානයට පත් විය.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා අවසන් මහා තරගයක ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක් විය.
එමෙන්ම මෙම තරගාවලි ඉතිහාසයේ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංග ය.
ඔහු මෙම වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තේය.
ඒ වසර 20කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කමක් හිමි කර දෙමිනි.
හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම ලෙසද එය වාර්තා අතරට එක් විය.
රුමේෂ් මීළඟට බලාපොරොත්තු තබා සිටින්නේ හංගේරියාවේ බූඩපේස්හිදී පැවැත්වෙන " World Athletics Ultimate " මලල ක්‍රීඩා ශූරතාවලියටයි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මෙහෙයවන මෙම තරගාවලිය සැප්තැම්බර් 11 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වේ.
රුමේෂ් සහභාගී වන හෙල්ල විසි කිරීම පිරිමි පිරිමි ඉසව්ව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 13 වැනි ඉරිදා දිනයේදීය.
ඉන් අනතුරුව ඔහු සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝම්බර් 4වනදා දක්වා ජපානයේදී පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලටද සහභාගි වීමට අපේක්ෂා කරයි.
































