තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපතිට ඇප

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2008 වසරේ කොළඹ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
එහිදී සැකකාර හිටපු නාවික හමුදාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරු මීට පෙර මෙම නඩු කරයේ සැකකරුවෙකු ලෙස නම්කර පසුව නීතිපති උපදෙස් මත නිදහස් කළ බව සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මීට පෙර අධිකරණය නියම කර තිබූ නොතීසියකට අනුව ඔහු අද දින [ජූලි 22] අධිකරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඉන් අනතුරුව සැකකරුට අදාළ චෝදනා පත්‍ර විවෘත අධිකරණය හමුවේ කියවනු ලැබී ය.
2008 සහ 2009 වසරවල කොළඹ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු වන චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එම චෝදනා පත්‍රය මගින් ඉදිරිපත් කර තිබිණි.
එම චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට මෙහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ ය.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙන බව ය.
කෙසේ වෙතත්, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඉන්පසුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයේ සිටින බවත් ඒ අනුව ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අදාළ සිතාසි ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව විභාගය දෙසැම්බර් මස 09 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.

































