කපිල චන්ද්‍රසේනගේ මරණය: තවත් දෙදෙනෙකු දුන් සාක්ෂිවලින් හෙළිවූ කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අබිරහස් ලෙස ගෙළ වැල ලාගෙන සියදිවි නසා ගත් බව කියන ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනයේ අගුළු විවෘත කර ගැනීම සඳහා FBI සහය ගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේනට දැනුම් දුන්නේ ය.

ඇපල් සමාගම දැනුම් දෙන රටකදී හෝ ස්ථානයකදී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකතනය විවෘත කර ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන් කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව ද දැනුම් දුන්නේ ය.

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය විවෘත කර ගැනීමට ඇපල් සමාගමෙන් සහය ඉල්ලා FBI ආයතනය හරහා විද්‍යුත් තැපැල් පණිවුඩ මේ වන විටත් යවා ඇති බව ද, ඔහුගේ මරණයට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.

මරණකරුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයේ අගුළු විවෘත කිරීමට මෙරට කිසිදු ආයතනයකට මෙතෙක් නොහැකි වී ඇති හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම බුද්ධි තොරතුරු සහ ආරක්ෂක ආයතනයක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ [FBI] සහය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන බව ද අධිකරණයට දැනුම් දී තිබේ.

කපිල චන්ද්‍රසේන ගෙල වැල ලා ගැනීමට පාවිච්චි කළ පටිය සහ අරවින්ද ද සිල්වාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවලට භාවිත කළ ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයාට ද, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරයෙන් ලබාගත් රුධිර සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද යොමු කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර දුන්නේ ය.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ කාමරයක ගෙළ වැල ලා ගෙන අබිරහස් ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේහට නොතීසි නිකුත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම සිද්ධියට අදාළව සාක්ෂි දෙනු ලැබූ අනෙකුත් සාක්කිකරුවන් 18 දෙනා උසාවියට කැඳවනු ලැබුවේ අධිකරණයෙන් නිකුත් කරන ලද නොතීසි මත දැයි පොලිසියෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, නීතිය ඉදිරියේ සියලු දෙනා එක සමාන බව පෙන්වා දෙමින් නීතිඥවරුන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

සාක්ෂිකරුවන් උසාවියට කැඳවීමට නොහැකි අවස්ථාවක, ඒ බව ලිඛිතව අධිකරණයට දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණයට හැකියාවක් ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් අතර, සාක්ෂිකරුවන් දෙදෙනෙකුට පමණක් විශේෂයක් කිරීමට අධිකරණයට නොහැකි බව ද අවධාරණය කළේ ය.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 29 වන දා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියම කළේ ය.

විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ආරම්භ කෙරිණි.

CCTV සවි කළ පුද්ගලයාගේ සාක්ෂිය

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක ජයන්ත ලාල්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්, අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සීසීටීවී කැමරා සවි කළ හේමන්ත සමන් කුමාර නැමැත්තා අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සීසීටීවී දර්ශන පටිගත වූ ඩීවීආර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති බවත්, වසර දෙකකට පෙර කැමරා පද්ධතිය අලුත් කිරීමේදී තමා එය පරීක්ෂා කළ බවත් පැවසීය.

අරවින්ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා හතරක් පැවති පද්ධතිය කැමරා පහක් වන සේ වැඩි කර 2021 වසරේදී තමා සේවය කළ ආයතනය මගින් තමා ලවා වැඩිදියුණු කළ බව ද අලුතින් මොනිටරයක් ද එක් කළ බවද පැවසූ සමන් කුමාර, කැමරා පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන බවත්, දර්ශන ඩීවීආර් යන්ත්‍රයේ හොඳින් පටිගත වන බවත් තමන් සැක හැර ගත් පසු ඒ බව නිවැසියන්ට ද දැනුම් දුන් බව වැඩිදුරටත් පැවසීය.

"ඩීවීආර් යන්ත්‍රයේ බීප් ශබ්දයක් එනවා කියලා අරවින්ද මහතා කම්ප්ලේන් කරලා තිබුණ නිසා ඒ ගැන පරීක්ෂා කරන්න මම 2024 වසරේදී අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට ගියා. ඩීවීආර් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී එහි දෝෂයක් ඇති බව මා හට තේරුම් ගිය හෙයින්, ඩීවීආර් යන්ත්‍රයට ගැරන්ටි තිබුණ නිසා එය මිල දී ගත් කොල්ලුපිටිය ආයතනයෙන් අලුත් ඩීවීආර් යන්ත්‍රයක් මාරු කර නැවත සවි කළා," යැයි පැවසූ සමන් කුමාර, කැමරා හොඳින් ක්‍රියාත්මක වන බවත්, එහි දර්ශන ඩීවීආර් යන්ත්‍රයේ පටිගත වන බව තමා නිවසේ සිටි ප්‍රසන්න නමැත්තෙකුට පෙන්වූ බවත් පැවසීය.

2024 වසරෙන් පසු අරවින්ද ද සිල්වාගේ නිවසට තමා නොගිය බවත් ඉන්පසු සීසීටීවී කැමරාවල අලුත්වැඩියාවක් සිදු නොකළ බවත්, සමන් කුමාර වැඩිදුරටත් පැවසීය.

ඇප තැබීමට හැකි දැයි කපිල චන්ද්‍රසේන තමාගෙන් ඇසූ බවට ඇපකරුවෙක් සාක්ෂි දෙයි

එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටි කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් නියම කළ රුපියල් ලක්ෂ 100 බැගින් වටිනා ශරීර ඇප දෙක සඳහා එක් ඇපකරුවෙකු වශයෙන් ඉදිරිපත් වූ මීගමුවේ පදිංචි ඉන්දික මනෝජ් රත්නායක සාක්ෂි දෙමින් සොෆ්ට්ලොජික් ආයතනයේ සේවකයෙකු වන තමා වසර නමයක පමණ කාලයක සිට කපිල චන්ද්‍රසේන හඳුනන බව පැවසීය,

එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන රිමාන්ඞ් භාරයට පත් වූ බව තමා දැන සිටි බවත්, දිනක් කපිල චන්ද්‍රසේන තමාට ඇමතුමක් දී "මට ඇප තියන්න පුළුවන් දැයි" ඇසූ විට තමා ඊට කැමැත්ත පළ කළ බවත්, ඒ සඳහා ග්‍රාමසේවක සහතිකය අවශ්‍ය බව දැනුම් දුන් නිසා තමා ග්‍රාම නිලධාරීවරයා හමුවී ග්‍රාම සේවා සහතිකය ලබා ගත් බවත් පැවසූ මනෝජ් රත්නායක, කපිල චන්ද්‍රසේනට උසාවියෙන් ඇප ලැබුණු පසු මැයි මස 05 වන දා අධිකරණයට පැමිණ තමා ඇපකරුවෙකු වශයෙන් ඉදිරිපත් වී ඇප අත්සන් කළ බව ද පැවසීය.

"දින දෙකකට පසුව, මැයි මස හත් වෙනිදා අරවින්ද ද සිල්වා මට කතා කර නීතිඥ මහතා හමුවීමට යාමට අවශ්‍ය බව පැවසූ නිසා එදින සවස හයයි තිහට පමණ මා අරවින්ද ද සිල්වාගේ නිවසට පැමිණි" බවත්, පසුව තමන් "අරවින්ද මහතා ඔහුගේ නෝනා, ෆර්ඩි, ශමිල් සහ ශාන්ත සමග නීතිඥ මහතාගේ නිවසේ තිබූ කාර්යාලයට ගොස් ඔහු හමුවූ," බවත් ඔහු සාක්ෂි දෙමින් පැවසුවේ ය.

"නඩුව ගැන කතා කර ආපහු අරවින්ද ද සිල්වාගේ නිවසට පැමිණි බවත්, ඒ අවස්ථාවේ කපිල චන්ද්‍රසේන අරවින්ද ද සිල්වාගේ නිවසේ සිටි බවත් පැවසූ සාක්ෂි කරු තමන් සියලු දෙනා සමග ම එක්ව රාත්‍රී කෑම කා රාත්‍රී දහයයි තිහට, එකොළහට පමණ එම නිවසෙන් පිටව තමාගේ නිවසට පැමිණි" බවත් පැවසුවේ ය.

කපිල චන්ද්‍රසේන මරණයට පත්වී ඇති බව පසුදින උදෑසන නිවුස් ඇලට් එකකින් දැනගත් බව ද ඔහු පැවසීය.

ඒ වෙලාවෙ ම තමා අරවින්ද ද සිල්වාට දුරකතනයෙන් කතා කළ බවත්, එම අවස්ථාවේදී අරවින්ද ද සිල්වා, "පොලිසියෙන් ඇවිත් ඉන්නවා දැන් කතා කරන්න බැහැ. පස්සේ කතා කරන්නම්," යනුවෙන් පැවසූ බවත් සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළේ ය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් මනෝජ් රත්නායක, පෙබරවාරි මාසයේ අග හෝ මාර්තු මාසයේ මුල චන්ද්‍රසේන තමාගෙන් උදව් ඉල්ලූ බවත්, තමාගේ මතකයට අනුව කපිල චන්ද්‍රසේන රිමාන්ඩ් වීමට පෙර තමාගෙන් උදව් ඉල්ලූ බවත් ඔහු පැවසීය.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 29 වන දා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේ ය.