ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතාගේ නඩුව: 'වන සතුන්ගේ මස්, ජීවී ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර ළඟ තබාගෙන සිටියේ ජූජාවකට'

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා සමග සොයා ගනු ලැබූ ගෝන මස්, කබල්ලෑ මස්, මී මින්නා මස්, ඉබි මස් සහ ඉබි බිත්තර 14ක්, ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාව සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයාට අද (මැයි 26) නියෝග කළාය.

මේ අතර අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා සහ වන සතුන්ගේ මස් වර්ග අත්අඩංගුවට ගැනීමේ වැටලීම වීඩියෝ කළ වනජීවි නිලධාරීන්ට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා රස පරික්ෂක වාර්තාවක් කැඳවන ලෙසටද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහට නියෝග කර තිබේ.

සැකකරුගේ ජංගම දුරකථනයට ලැබී ඇති සහ ඉන් ලබා ගෙන ඇති ඇමතුම් සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අදාළ දුරකථන සමාගම්වලට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහට නියෝග කරන ලද අතර මෙම නඩුකරය යළි කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අඩවි ආරක්ෂකවරයා පැවසුවේ මැරීමට තහනම් දුර්ලභ විවිධ වන සතුන්ගේ මස් වර්ග සහ ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබූ ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර තමන් සතුව තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බවයි.

'මස් සහ ඉබි බිත්තර ළඟ තියන් හිටියේ ජූජාවකට'

දැනුවත්වම තමන් සන්තකයේ තිබු මස් වෙනත් පාර්ශවයක් තමන්ට දුන් ඒවා බව හැඟවීමට සැකකරු උත්සහ දරන බවට අඩවි ආරක්ෂකවරයා චෝදනා කළේය.

සැකකාර කපු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවසුවේ වන සතුන්ගේ මස් වර්ග, ජීවී ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර සැකකරු තබා ගෙන සිටියේ ජූජාවකට ලබා ගැනීම සඳහා බවය. මස් වර්ග ඇතුළු දෑ සැකකරුට පිටස්තර පාර්ශවයක් විසින් ලබා දුන් ඒවා බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණයට පැවසීය.

මෙම නඩුව ලබන අගෝස්තු මස 07 වන දින යළි කැඳවීමට නියෝග කෙරුණ අතර මෙම නඩුකරය මීට පෙර කැඳවූ අවස්ථාවේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ පැවසුවේ 'මෙරට බෞද්ධ ජනතාව දහදිය මහන්සියෙන් උපයා ගෙන පූජා කළ මුදල් වලින් අනුරාධපුර ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සැකකරු බලවත් ධනවතෙකු බවට පත්ව මහ බලයක් ඇති අයෙකු' බවට පත්ව සිටින බවය.

එම ධන බලය සහ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමඟ ඇති සබඳතා මත සැකකරු විමර්ශනවලට බලපෑම් එල්ල කරමින් විමර්ශන විකෘති කිරීමට උත්සහ දරන බවද අඩවි ආරක්ෂකවරයා එහිදී චෝදනා කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සමඟ නීතිඥ මදාරා විජේසිංහ සහ නීතිඥ ජයලත් අබේසිංහ පෙනී සිටිති.

අනුරාධපුර විහාරපාලුගම, විහාර කල්ලංචිය, නිවාස පනහ යන ලිපිනයේ පදිංචි 50 හැවිරිදි මංජු නොහොත් බෝධියාගේ ජයවර්ධන නැමැත්තා අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ කපු මහතා ලෙස කටයුතු කරයි.