ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම 'මේ සතියේ සිට තදින්': ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන QR ක්‍රමවේදය දැඩි කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සඳුදා (ජූනි 1) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
QR ක්‍රමවේදය මගින් සැලකිය යුතු ලෙස ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට හැකියාව ලැබුණ ද, එය තවමත් "රටේ අවශ්‍යතාවයේ මට්ටමට" පැමිණ නොමැති බව ද ඔහු පැවසීය.
"මේ අර්බුදය දිගින් දිගට යාම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා," අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල "විශාල ලෙස ඉහළ යාමත්" සමග "විශාල විදේශ විනිමය ප්‍රමාණයක්" රටින් එළියට ගලා ගිය බව ය.
"දැන් මේක සංසන්දනාත්මකව බැලුවොත් ජනවාරි මාසයේ මිලියන 186යි, පෙබරවාරි මාසයේදී මිලියන 97යි, මැයි මාසය වෙනකොට ඩොලර් මිලියන 524ක්," ඉන්ධන සඳහා විදේශ විනිමය ලෙස වියදම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
"මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරු යි. ඒක නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕන අපේ ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහකට අඩු කරලා රටින් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා," ඔහු සඳහන් කළේ ය.
අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ, එසේ නොකරන්නේ නම් එය ඉන්ධන මිල ඉහළ යාම පමණක් නොව, සමස්ත ආර්ථිකයට බලපෑමක් එල්ල වනු ඇති බව ය.
"ඒ නිසා ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒ වගේ ම ඩිජිටල් අමාත්‍යංශය හැටියටත්, [QR ක්‍රමවේදය] මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
QR ක්‍රමවේදය 'තදින්' ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?
ඉන්ධන නිකුත් කිරීම සඳහා මේ වන විට යොදා ගන්නා QR ක්‍රමවේදය අනුව, ඉන්ධන පිරුවුම් හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය මෙන් ම, ඔවුන් ඉන් කොපමණ ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇතැයි ද යන්න නිරීක්ෂණය කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පැවසීය.
ඔහු අවධාරණය කළේ, "මෙම සතියේ සිට" එම ක්‍රියාවලිය "පූර්ණ වශයෙන්" නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව ය.
ඒ අනුව, ඉන්ධන පිරවුම්හල් QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කළ යුතු අතර ඊට අනුගත නොවන පිරවුම්හල්වලට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ඇත.
"ඒගොල්ලෝ QR කේතයට එකඟව ගහන්නේ නැත්නම්, ඒ අයට අපි දිරි දීමනාවක් දීලා තියෙනවා. ඒ දිරි දීමනාව අපි අනිවාර්යයෙන් ම කපනවා. ඒක මේ සතියේ ඉඳලා අපි ආරම්භ කරනවා. තෙල් සංස්ථාව යටතේ තියෙන ෂෙඩ්වල අපි ඒක සම්පූර්ණයෙන් ම මොනිටර් කරන්න දාලා තියෙන්නේ," ඔහු අවවාදාත්මක ස්වරයෙන් පැවසීය.
"ජනතාවට දිගින් දිගට ම අපි කියන්නේ තෙල් පරිභෝජනය පුළුවන් තරම් අඩු කර ගන්න," ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
QR ක්‍රමවේදයට අනුගත නොවන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව ගන්නා පියවර පිළිබඳව බීබීසී සිංහල බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්ගෙන් ද විමසීමක් කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, "දඬුවම් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. දිරි දීමනාව අපිට නවත්තන්න පුළුවන්. පොඩි පියවරේ ඉඳලා උඩට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ," යනුවෙනි.
කෙසේ වෙතත්, මෙමගින් පාරිභෝගිකයින් වෙත ලබා දී ඇති ඉන්ධන කෝටා අඩු කිරීමක් සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ඔබේ වාහනයට හිමි ඉන්ධන කෝටාව කොපමණ ද?
ශ්‍රී ලංකාව තුළ මෝටර් වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ සීමාසහිත ලෙස ඉන්ධන නිකුත් කිරීමට ආරම්භ වූයේ ඉකුත් මාර්තු මාසයේදී ය.
එහිදී මුල් අවස්ථාවේදී එක් එක් වාහන කාණ්ඩයට ලබා දුන් ඉන්ධන කෝටාව දින කිහිපයක් තුළ සංශෝධනය කර ඉහළ නැංවීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගත්තේ ය.
මීට අමතරව ඉන්ධන නිකුත් කිරීමේදී, ඔත්තේ-ඉරට්ටේ ක්‍රමවේදය ද සලකා බැලීම සිදුවේ.
එනම්, QR කේතයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංකයේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීම සිදු වේ.
එක් එක් වාහන කාණ්ඩයට සතියකට හිමි ඉන්ධන කෝටාව පහත පරිදි වේ.
- කාර් - 25L
- ත්‍රිරෝද රථ - 20L
- වෑන් - 50L
- ලොරි - 200L
- යතුරු පැදි - 8L
- බස් -100L
- කොඩ්රසයිකල් - 8L
- විශේෂ කාර්ය වාහනය - 40L
- ඉඩම් වාහන - 40L
මේ ක්‍රමවේදය යටතේ සෑම සෙනසුරාදා දිනයකදී ම ඉන්ධන කෝටාව අලුත් වීම සිදුවේ.
ඉන්ධන QR ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.