කිම් සූ හ්‍යුන්ට එරෙහි ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමට AI යොදාගෙන ඇති බවට පොලිසියෙන් හෙළිදරව්වක්

A tearful Kim Soo-hyun looking down and speaking into a microphone. He is wearing a black shirt and black blazer. Behind him is a projection of screenshots of text messages.

ඡායාරූප මූලාශ්‍රය, WireImage

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම අපකීර්තිය දකුණු කොරියාවේ කැපී පෙනෙන නමක් වූ කිම් සූ හ්‍යුන්ගේ වෘත්තීය ජීවිතය උඩුයටිකුරු කළේ ය
    • Author, ජේක් ක්වොන්
    • Role, සෝල් වාර්තාකරු
    • Author, කෝ ඊව්
    • Role, සිංගප්පූරුවේ සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

කිම් සූ හ්‍යුන්ට අපහාස කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල වන යූ ටියුබර් කෙනෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු පොලිසිය වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, එම අපහාසය සූ හ්‍යුන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කළ බවට කොරියාවේ දේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

බලධාරීන් පවසන්නේ මෙම යූ ටියුබර් විසින් කෙටි පණිවිඩවල 'Screenshot' සංස්කරණය කර, AI හරහා නිර්මාණය කරන ලද හඬ පට පළ කිරීම මගින්, නිළියක වූ කිම් සේ රොන් බාලවයස්කාරියකව සිටියදී, ඇය සමග මෙම රංගන ශිල්පියා පෙම් සබඳතාවක් පැවැත්වූ බවට හැඟීමක් ඇති කර ඇති බව යි.

පසුගිය වසරේ, 24 හැවිරිදි කිම් සේ රොන් සියදිවි නසා ගැනීමෙන් ටික කලකට පසු මෙම චෝදනා ඉස්මතු විය.

මෙම අපකීර්තිය රට ම කම්පනයට පත් කළ අතර දකුණු කොරියාවේ වඩාත් ප්‍රසිද්ධ නළුවෙකු වන කිම් සූ හ්‍යුන්ගේ වෘත්තීය ජීවිතයට එය දැඩි ලෙස බලපෑවේ ය. ඔහු එම චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

කිම් සේ රොන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව, තමා ද්වීතික පාසලයේ සිටි කාලයේ පටන් ම කිම් සූ හ්‍යුන් සමග සම්බන්ධතාවයක් පැවැත්වූවේ යැයි ඇය පවසන බව කියවෙන හඬපටයක් මෙම යූ ටියුබර් විසින් අන්තර්ජාලයේ පළ කළේ ය.

මිලියනයකට ආසන්න අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින යූ ටියුබර් කෙනෙකු වන කිම් සේ උයි, කිම් සූ හ්‍යුන් සහ කිම් සේ රොන් අතර සංවාද යැයි කියන පණිවිඩවල Screenshot ද බෙදා ගත්තේ ය.

බලධාරීන් දැන් පවසන්නේ හඬ පටය AI මගින් නිර්මාණය කර ඇති බව යි.

කිම් සේ රොන්ගේ දුරකථනයෙන් ලැබුණු පණිවිඩවල screenshot යූ ටියුබර් විසින් සංස්කරණය කර, ඇය කිම් සූ-හ්‍යුන් සමග කෙටි පණිවිඩ හුවමාරු කර ගත් බවට ව්‍යාජ ලෙස ඇඟවීමට උත්සාහ කර ඇති බව ද බලධාරීහු පවසති.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලධාරීන් පවසන්නේ, යූ ටියුබර් විසින් සිතාමතා ම මූල්‍යමය වාසි තකා අසත්‍ය ප්‍රකාශ පතුරුවා හරිනු ලැබ ඇති බව යි.

ජූංග්ඇං ඉල්බෝ ප්‍රවෘත්ති ආයතනය විසින් වාර්තා කරන ලද පොලිස් ලේඛනයක, ඔහුගේ ක්‍රියාවන් "කිම් සූ හ්‍යුන්ගේ සමාජීය පදනම සහ ඔහුගේ ආර්ථික ක්‍රියාකාරකම් බිඳ දැමූ අතර, ඔහුගේ වෘත්තීය පැවැත්මේ පදනම විනාශ කළේ ය," යනුවෙන් සඳහන් වේ.

කිම් සූ හ්‍යුන් "තවමත් මනෝචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටින" බව ද පොලිසිය පවසයි.

බලධාරීන්ගේ චෝදනා "තම විමර්ශනය කඩාකප්පල් කිරීමට කරන ලද ප්‍රයෝගයක්" බව පවසමින් යූ ටියුබර් කිම් සේ උයි වීඩියෝවක් පළ කර තිබේ.

දකුණු කොරියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට උසස් සම්මතයන් පනවා ඇති අතර ඔවුන් දැඩි සමාජ පරීක්ෂාවකට ලක් කෙරේ. ලිංගික හිංසා වැනි බරපතළ චෝදනා වලට අමතරව, යෞවන වියේදී කෙනෙකුට පීඩාවන් කළ බව හෙළි වීම හෝ ව්‍යාජ සන්නාම සහිත ඇඳුම් භාවිතා කළ බව හෙළි වීම වැනි කරුණු හේතුවෙන්ද, ප්‍රසිද්ධ පුද්ගලයන්ට මහජන අවධානයෙන් අතුරුදහන් වීමට බලපෑම් කෙරී ඇත.

2022 දී බීමතින් රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියම කිරීමෙන් පසු කිම් සේ රොන්ට ද රසිකයන්ගෙන් අන්තර්ජාලය තුළ දැඩි විවේචන එල්ල විය. ඊට පෙර, ඇය දකුණු කොරියාවේ නැගීගෙන එන තරුණ නිළියන්ගෙන් කෙනෙකු ලෙස සැලකුණි.

ඇයගේ මරණයෙන් ටික කලකට පසු, කිම් සූ හ්‍යුන් ඇයට වයස අවුරුදු 15 දී ඇය සමග පෙම් සබඳතාවක් පැවැත්වූ බවට කටකතා අන්තර්ජාලය හරහා පැතිර ගියේ ය. මෙම යූ ටියුබර්, කෙටි පණිවිඩ සහ හඬ පට පළ කිරීමෙන් පසුව සහ නිළියගේ පවුලේ අය ප්‍රසිද්ධියේ යූ ටියුබර් වෙත සහාය දැක්වීමෙන් පසුව ඒවාට විශාල අවධානයක් ලැබිණි.

කිම් සූ හ්‍යුන්ගේ ඒජන්සිය පළමුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේ මෙම යුවළ කිසිදා පෙම් සබඳතාවක් පවත්වා නොමැති බවට පවසමින් ය.

කෙසේවෙතත් ඇය වැඩිහිටියෙකුව සිටියදී ඇය සමග වසරක සම්බන්ධතාවයක් පැවැත්වූ බවට මෙම නළුවා පිළිගත්තේ ය.

2025 මාර්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී, මෙම නළුවා කඳුළු සලමින් අවධාරණය කළේ ඇය බාලවයස්කාර වියේදී ඔවුන් කිසිදා පෙම් සබඳතාවක් පවත්වා නොමැති බව යි. "මම කරපු නැති දෙයක් මට පිළිගන්න බෑ," ඔහු පැවසීය.

එම මාසයේ දී, ඔහු අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් යූ ටියුබර්ට සහ නිළියගේ පවුලේ අයට එරෙහිව අපරාධ පැමිණිලි සහ නඩු පැවරුවේ ය.

එතැන් සිට, ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකම රඟපෑ කිම් සූ හ්‍යුන් නිල වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

මෙම චෝදනා ඔහුට එල්ල වන විට ඔහු සම්බන්ධ වී සිටි සිටි Disney+ මාලාවක් වන Knock-Off නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමිණි.

යූ ටියුබර්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙස බලධාරීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් කිම් සූ හ්‍යුන් සහ ඔහුගේ ඒජන්සිය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.