දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?

දරුවන් දෙදෙනෙකු සමග සිටින නිලධාරියෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි.

තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.

"රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන් ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කර ගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාව අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කර ගැනීමට කටයුතු කරනවා."

"ඒ වගේ ම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩඉම්වලදී, ඒ වගේ ම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාල පරාසයන් තුළ සහතිකය අලුත් කර ගන්න ඕනේ," අමාත්‍යවරිය සඳහන් කළා ය.

පෞද්ගලික අංශයටත්

රාජ්‍ය සේවයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද දරුවන් සමග සම්බන්ධ රැකියාවල නිරත වන පුද්ගලයන් ළමා අපචාර සිදුකරන බවට වාර්තා වීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට කටයුතු කළ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්, තරංගනී වික්‍රමසිංහ මෙම වැඩපිළිවෙළ සම්බන්ධව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියා ය.

"අපි ජාතික ළමා ආරක්ෂණ පනතේ ප්‍රතිපාදන මත විධානයක් නිකුත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ විධානය ක්‍රියාත්මක කිරීමට යන්නේ සහතිකයක් නිකුත් කරලා. ඒක අපි පටන් ගන්න යන්නේ රාජ්‍ය සේවයට ඉස්සරහට බඳවා ගන්න, ළමයින් සමග ඍජුව කටයුතු කරන අයට සහතිකයක් දෙනවා එයා ළමයින් සම්බන්ධ කිසිදු වරදක් කරලා නැහැ කියලා."

නවකයින් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගන්නා පුද්ගලයින්ගෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර දැනට රාජ්‍ය සේවයේ ළමුන් හා ඍජුව සම්බන්ධබවන සියලු පුද්ගලයින්ට ද මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

පසුව පෞද්ගලික අංශය සඳහා ද මෙම සහතිකය ලබා ගැනීමට අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ කියා සිටියා ය.

"මේක රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයටත් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා, අවුරුදු තුනෙන් තුනට වගේ අලුත් කරන ආකාරයට. ඊට පස්සේ පෞද්ගලික අංශයේ ළමයින් සමග කටයුතු කරන අයටත් මේක ම කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩපිළිවෙළ පටන් ගන්න යන්නේ රාජ්‍ය සේවයට අලුතෙන් ගන්න ඉන්න අයගෙන්."

'සැකකරුවන්ට දැනට බාධාවක් නෑ'

රාජ්‍ය සේවයේ ළමුන් සම්බන්ධ වන රැකියාවලට අයැදුම් කරන තැනැත්තන් ළමයින් සම්බන්ධ අපරාධයකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකු ද? යන්න පමණක් දැනට සලකා බැලීමට නියමිත ය.

එහෙත්, දැනට යෝජනා වී ඇති පරිදි ළමුන් සම්බන්ධ අපරාධයක සැකකරුවන්ට මින් බාධාවක් නොවන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවා ය.

"සැකකරුවෙක් නම් අපි ඒක බාධකයක් කරන්නේ නැහැ මොක ද නිවැරදිකරුවෙක් වෙන්න පුළුවන් නේ. අපි සැකකරුවෙක් දක්වා ගියොත් එයා නිවැරදි වුණොත් එයාට හානියක් වෙනවා. ඒක නිසා අපි මේක පටන් ගන්න සැලසුම් කළේ වැරදිකරුවන් වෙන අයගේ ඇඟිලි සලකුණු ගන්නවා නේ, එතනින් පටන් ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. අනාගතයේදී මේක සැකකරුවන් දක්වා පුළුල් කරන්න වෙයි. මොක ද අපි දකිනවා සැකකරුවන් කියන අයගෙන් එක ම වැරැද්ද නිරන්තරයෙන් සිද්ධ වෙන අවස්ථාත්."

මෙම වැඩපිළිවෙළ ලංකාවට නව අත්දැකීමක් වුව ද දියුණු රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට සඳහන් කළා ය.

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ටත් ළමුන් සම්බන්ධ රැකියාවල දොර වැහෙයි

ළමුන්ට එරෙහි අපරාධ 18ක් දැනට හඳුනාගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් ද ඒම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් අමාත්‍යංශ ලේකම්වරිය පැවසුවා ය.

"දැනට වැරදි 18ක් හඳුනාගෙන තියෙනවා ඒ වැරදි 18 තමයි අපි හඳුනා ගත්තේ ඒකට එකතු කරන්න තීරණය කළා අපේ සාකච්ඡාවලදී මත්ද්‍රව්‍ය වරදකරුවන් වෙලා ඉන්නවා නම් ඒකත් වරදක් හැටියට සලකන්න."

එමෙන් ම, මෙම වැරදි සංඛ්‍යාව ඉදිරියේදී වැඩි විය හැකි බවට ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ විශ්වාසය පළ කළා ය.

ළමුන්ට අපරාධයක් කර නොමැති බවට සහතිකය ගන්නේ කෙසේ ද?

ළමුන් සමග ඍජුව සම්බන්ධ රැකියාවකට ඉල්ලුම් කරන විට අයැදුම්කරු මෙම සහතිකය පොලිසියෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතු අතර, එය ඉදිරියේදී එවැනි රැකියාවක් ලබා ගැනීමට අනිවාර්ය සුදුසුකමක් වනු ඇත.

එමෙන් ම, දැනටමත් ළමුන් සමග ඍජුව සම්බන්ධ වෙමින් රාජ්‍ය සේවයේ නිරත පිරිස් වසර තුනකට වරක් ළමුන් සම්බන්ධ අපරාධයකට වැරදිකරුවෙකු නොවන බවට තමන් පදිංචි බල ප්‍රදේශයේ පොලිසියෙන් ලබා ගන්නා සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.

එහිදී එම රාජ්‍ය සේවකයා ළමුන් සම්බන්ධ වරදකට අධිකරණයෙන් වැරදිකරු කර ඇති බවට අනාවරණය වුවහොත් එම තැනැත්තා සම්බන්ධයෙන් පියවර ගැනීමට දැනට යෝජනා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ පැවසුවා ය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සොයා බැලීමට, අවශ්‍ය පියවර ගැනීමට, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැතිවරිය ප්‍රමුඛ අමාත්‍ය කමිටුවක් ද කටයුතු කරමින් සිටින අතර ලබන වසරේ සිට වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.