කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට සිතාසි: 'ඇඳ යටින් රෙදි පටියක්'

අබිරහස් ලෙස මිය ගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නට සහ නීතිඥ උදාර මුහන්දිරම්ට ලබන 05 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් කෝටි දෙකකට අධික අල්ලසක් අදාළ ගුවන් සමාගමෙන් ගත් බවට එල්ල වූ චෝදනාවට අදාළව එම නඩුව විභාග වෙමින් පැවතිණි.
කපිල චන්ද්‍රසේනට එරෙහි නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ සාක්ෂි විමසීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස සිතාසි නිකුත් කළේ ය.
යම් සිද්ධියකට අදාළව සාක්ෂි විමසීම සඳහා නීතිඥවරුන් උසාවියට කැඳවීමට හැකියාව ඇති බවත්, නීතිඥවරුන් සාක්ෂි දීමේදී සිය සේවාදායකයින්ට දුන් අවවාද මෙන් ම සේවාදායකයින් විසින් අනාවරණය කරන ලද කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අයිතිය ඔවුන්ට ඇති බවත් පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේදී උද්ගත වී ඇති ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා නීතීඥවරුන් අධිකරණයට කැඳවන බව පෙන්වා දුන්නේ ය.
ඇඳ යටින් හමුවූ රෙදි පටිය
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මියගිය කපිල චන්ද්‍රසේන ගෙළ වැලලාගත් පටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළ බවත්, එම පටිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම පටියට සමාන තවත් පටියක් ඇද්ද? යන්න පිළිබඳව සොයා බලන ලෙස රජයේ රස පරීක්ෂකවරයා දුන් උපදෙස් අනුව කළ විමර්ශනයේදී කපිල චන්ද්‍රසේන ගෙළ වැළලාගෙන මියගිය බව කියන කාමරයේ ඇඳ යට තිබී මරණකරු ගෙල වැලලා ගැනීමට යොදාගත් පටියට සමාන තවත් පටි කැබල්ලක් සොයාගත් බවත් දැනුම් දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අදාළ පටිය රජයේ පරීක්ෂකවරයාට යොමු කිරීමට අවසර ඉල්ලා සිටියහ.
කපිල චන්ද්‍රසේන පාවිච්චි කළ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයේ අගුළු විවෘත කිරීම සඳහා අදාළ දුරකතනය ඇමෙරිකාවේ FBI ආයතනය මගින් ඇපල් මව් සමාගමට යොමු කිරීමට අධිකරණය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේ ය.
කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුවූ අරවින්ද ද සිල්වාට අයත් කොළඹ 03 පේද්‍රිස් මාවතේ පිහිටි නිවසට යාබඳව ඇති නිවෙස් වල CCTV දර්ශන පරික්‍ෂා කළ ද, එදින රාත්‍රියේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු අදාළ නිවසට පැමිණී බවට තොරතුරු මෙතෙක් අනාවරණය වී නැතැයි ද අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු දැනුම් දුන්හ.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ ලක්ෂාන් අබේවර්ධන අධිකරණයේ පෙනී සිටියේ ය.
ඔවුන්ගෙන් සාක්කි විමසීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවන්නැයි පොලිසිය කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පිටු 9කින් යුතු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ සාක්ෂිකරුවන්ට සිතාසී නිකුත් කළේ ය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසිය සොයා ගත් බව කියන පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේ ය.
වැඩිදුර සාක්ෂි විභාගය ජූනි 05 වන දාට නියම කෙරිණී.

































