භාණ්ඩාගාර අරමුදල් වෙනත් ගිණුම්වලට බැර කිරීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් නැද්ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

මුදල් අමාත්‍යංශය යටතේ ඇති මහා භාණ්ඩාගාරය ඔස්ට්‍රේලියානු ණය හිමියෙකුට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට ගෙවීම, US POST වෙත ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් වීම, ප්‍රංශ ණය පත්‍රිකා අතුරුදන්වීම, අස්වැසුම ද්විත්ව ගෙවීමක් සිදුකළ බව කියන සිද්ධිය ඇතුළු ආන්දෝලනාත්මක මූල්‍ය ගනුදෙනු පිළිබඳ සිදුවීම් ගණනාවක් මෑත කාලසීමාව තුළ වාර්තා විය.

එමෙන් ම, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු තවත් ආයතන කිහිපයක සිදුව ඇතැයි කියන ප්‍රශ්නගත ගෙවීම් පිළිබඳ විවිධ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි.

මෙම සිදුවීම් පිළිබඳ අනාවරණය වෙමින් පවතින්නේ, NDB බැංකුව ඇතුළු තවත් වාණිජ බැංකු කිහිපයක ද සයිබර් මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ද අනාවරණය වෙමින් පවතින පසුබිමක ය.

මුදල් අමාත්‍යංශය යටතේ ඇති මහා භාණ්ඩාගරය විසින් ඔස්ට්‍රේලියානු ණය හිමියෙකුට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කරනු ලැබීම සම්බන්ධ සිදුවීම තවත් ආන්දෝලනයට ලක්වූයේ එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකු වූ රංග රාජපක්ෂ නැමති නිලධාරියාගේ හදිසි මරණය යි.

මෙම ප්‍රශ්නගත මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන්, මේ වන විට මුදල් අමාත්‍යංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.

වගකීම සහ වගවීම භාර ගත යුත්තේ කවුද?

මෙම මූල්‍ය වංචා සිද්ධියේදී වගකීම සහ වගවීම භාර ගත යුත්තේ කවුද? මේ සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් මෙය නිලධාරීන්ගේ අතපසුවීමක් හෝ රාජකාරි පැහැර හැරීමක් යැයි හැඳින්වීමට කටයුතු කරමින් සිටින අතරේ, ශ්‍රී ලංකා මහ බැංකුව මෙහි සම්පූර්ණ වගකීම මුදල් අමත්‍යංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබේ.

2025 දෙසැම්බර් 31 වන දා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ණය කළමනාකරණයේ වගකීම් දරනු ලැබිණි.

එහෙත්, 2026 ජනවාරි සිට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම් භාර ගනු ලැබ ඇත. එය මුදල් අමාත්‍යංශය යටතේ ඇති කාර්යාලයකි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැයි 13 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කළේ, මෙම සිද්ධියේදී කතාබහට ලක්වන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති ERD (External Resources Department) හෙවත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මිස ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති ERD (Economic Research Department) හෙවත් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නොවන බව ය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ දේශීය හා විදේශීය ණය කළමනාකරණය සඳහා වන 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ රාජ්‍ය ණය කළමනාකරණයේ ප්‍රධාන නීති රාමුව සකස් කර ඇත.

එම නීති බලාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට පැවරී තිබේ.

වාණිජ බැංකුවල මෙන් ම රජයේ නිල බැංකුකරු වන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව යි. එය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති වගකීමකි.

කෙසේ වෙතත්, දැනට මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කරන හෝ ක්‍රියාකාරකම්වලට භාජනය වන ආයතන දෙක වන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය යි.

එසේ වුවත්, මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට මුදල් අමාත්‍යංශය ලේකම්වරයා ධූරයේ සිටීම බාධාවක් නොවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත කියා සිටියේ ය.

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මැයි 5 වන දා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, නිලධාරීන් රාජකාරී පැහැර හැරීම පිළිබඳ පරීක්ෂණවලින් ලැබෙන තොරතුරු මත අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ය.

මුදල් අමාත්‍යංශයට ඇති වගකීම

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට ප්‍රධාන වගකීම පැවරෙන බව පැහැදිලි කරුණකි. එම ගනුදෙනුවට ඍජුව ම සම්බන්ධ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මහාභාණ්ඩාගාරය සතු මුදල් මෙලෙස වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පරිගණක හැකර්කරුවන්ගේ ක්‍රියාවක් හෝ අචේතනාන්විතව සිදුවූ ක්‍රියාවක් වුව ද, එහි වගකීමෙන් හා වගවීමෙන් මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට බැහැරවිය හැකි ද?

"පැහැදිලිව ම නොසැලකිලිමත්කම තියෙනවා නේ. මිනිස්ටර්ගෙ ලෙවල් එකේ ඉඳලා ම, ඒ වගකීම ගන්න ඕනේ," යැයි බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයනය මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසී සිංහල වෙත කියා සිටියා ය.

"දේශපාලන නායකත්වයේ ඉඳලා, එතන ඉන්න පරිපාලන නිලධාරියා නේ ලොකු ම එක්කෙනා මුදල් අමාත්‍යංශ ලේකම් ඒගොල්ලෝ ඉඳලා වගකීමට බැඳෙනවා. නොසැලකිලිමත්කම කියන එක ඒ නිලධාරී මට්ටමට විතරක් දාන්න බැහැ," යැයි ඇය පැවසුවා ය.

වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත පැවසුවේ, මේ සම්බන්ධයෙන් 'ඇමතිවරයෙකුට වගකීම ගන්න ඕනේ කියන එක එතරම් සාධාරණ නොවෙන්න පුළුවන්' බව ය.

"මූල්‍ය කළමනාකරණ පනත තියෙනවා 2024. හැම කෙනාගේ ම වගකීම් වෙන් කරලා දීලා තියෙනවා. අවසානයේ රජයේ දේපළවල , මුදල්වල අවසාන භාරකාරුවා සහ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඉඳලා පහළට සියලු ම අය අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනේ. මෙතන බලන්න ඕනේ චේතනාන්විතව සිදුවූ දෙයක් ද? අචේතනාන්විතව වෙච්ච දෙයක් ද? කියලා.

"අපි ඉස්සරහට ලොකු අර්බුදයකට යනවා මේ තාක්ෂණයත් එක්ක."

"අපි විශාල තාක්ෂණික පෙරළියකට ගිහිල්ලා තියනවා. අලුත් ජෙනරේෂන්ට එකට හරි ලේසි යි උඩ ඉන්න අයව මැනිපියුලේට් කරන්න. ඒක අපේ තියෙන ප්‍රශ්නයක්. ඔතන අපි මොකක් ද කරන පිළියම කියන එක අපි හොයන්න ඕනේ. මේකට අපි පිළියමක් හෙව්වෙ නැත්නම් මේක දිගට ම යනවා."

"මේවා ඉස්සර වගේ සිදුවන සල්ලි හොරකම් නෙමෙයි"

"දේශපාලනිකව ගත්තොත් පළපුරුද්ද නැත්තේ ඇමතිවරුන්ට. නිලධාරීන් පරණ අය ම ඉන්නවා. නිලධාරීන් නේ මේක හැඬ්ල් කරන්නේ, ඇමති කෙනෙක් අත්සන් කරන්නේ නැහැ"

"අමාත්‍යංශ ලේකම් වගකියන්න ඕනේ ඍජුව ම. හැබැයි ඇමතිවරයෙකුට වගකීම ගන්න ඕනේ කියන එක එතරම් සාධාරණ නොවෙන්න පුළුවන්. ඉස්සරහදි මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා මෙහෙම ගියොත් එහෙම," මහචාර්යවරයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවට ඇති වගකීම

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් අතට පත්වීමේ සිදුවීම පිළිබඳ වගකීම දැරීමේදී, රජයේ බැංකුකරු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යභාරය පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කළේ ය.

ඔහු කියා සිටියේ, මුදල් අමාත්‍යංශයෙන් ලබා දෙන උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ගෙවීම සිදුකර ඇති බව ය.

මෙම ගනුදෙනුවේ මුදල් ලැබිය යුතු ණය හිමි පාර්ශවය වන්නේ, Australian Export Finance Institute නමැති ආයතනය යි.

රජයේ නිල බැංකුකරු ලෙස මහ බැංකුවට අදාළ උපදෙස් ලැබුණු විට රජයේ සංචිතවලින් හෝ මහ බැංකුව සතු ඩොලර්වලින් අදාළ ගෙවීම් කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම කටයුතු මුදල් අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමට පෙර මහ බැංකුව යටතේ පැවති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ මීට පෙර ගෙවීම් සිදුකරන ලද්දේ ද මුදල් අමාත්‍යංශය දෙන ලද උපදෙස් අනුව බව ඔහු කියා සිටියේ ය.

අනතුරුව එම කටයුතු රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරන ලද අන්තර්වාර කාලය තුළ ද අදාළ කටයුතු සඳහා තම පද්ධති භාවිත කළ මහ මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගිණුම් සත්‍යාපනය කිරීම ඇතුළු කටයුතුවලින් පසු, මුදල් අමාත්‍යංශය වෙතින් ලබා දෙන උපදෙස් පරිදි මහ බැංකුව අදාළ ගෙවීම් කරන බව ය.

අදාළ උපදෙස් ලැබීමෙන් පසු අදාළ ගිණුම් අංක නැවත පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

මෙම ප්‍රශ්නගත සිද්ධියෙන් පසු අදාළ ගෙවීම් කිරීමේදී මුදල් අමාත්‍යංශය සමග සමීපව කටයුතු කරන බව මහ බංකු අධිපති නන්දලාල් වීරසිංහ (මැයි 14) කියා සිටියේ ය. "මේ ක්‍රමය ශක්තිමත් කිරීමට අපේ පළපුරුද්ද සහ දැනුම පාවිච්චි කරලා මේ වගේ දෙයක් ඉදිරියට නොවන්න අවශ්‍ය කටයුතු සහයෝගයෙන් කරගෙන යනවා," ඔහු පැවසීය.

එහෙත්, මේ වන විට මහජන මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමි වී හමාර ය. සයිබර් අපරාධකරුවන් අතට හෝ ජාත්‍යන්තර බැංකු ගිණුම්වලට මෙලෙස බැර වන මෙම මුදල් යළි අත්පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවනු ඇත.

"අන්තිමට මේවා ඔක්කොම National Economy සහ Public Money නේ. ඒක නේ අපේ Primary responsibility එක. වෙන ස්වාධීන පනතක් ආවා කියලා අපි දැන් මේකෙන් බේරෙන්න පුළුවන් වගේ ඇටිටියුඩ් එකකින් මේවා කරන්නේ," බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය අමාලි වෙදගෙදර සඳහන් කළා ය.

ඇය පැවසුවේ, "විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හෝ භාණ්ඩගාරයට අවශ්‍ය පුහුණුව ලබා ගන්නකම් මහ බැංකුවෙන් අධීක්ෂණ කාර්යභාරයක් කළ යුතු," බව ය.

"මං හිතන්නේ ඉතිහාසයක් තියෙනවා, මහ බැංකුව reckless විදිහට irresponsible විදිහට වැඩ කරපු. එයාලාගේ regulator function එක නොකර."

"මහ බැංකුව කියනවා, රජයේ බැංකුකරු කියලා" එසේ නම් ගිණුම් සත්‍යාපනය කර ගැනීම වැනි කාර්යයන් සඳහා මහ බංකුව දායක විය යුතු බව ඇය කියා සිටියා ය.

ප්‍රශ්නගත ගනුදෙනුව සිදුව ඇත්තේ කෙසේ ද?

  • 2025 නොවැම්බර් 14 - වවුචර් පත් 3කින් ඇමෙරිකානු ඩොලර් 713,757
  • 2025 නොවැම්බර් 28 - ඇමෙරිකානු ඩොලර් 377660
  • 2026 ජනවාරි 5 - ඉන්වොයිස් 5කින් ඇමෙරිකානු ඩොලර් 420,210
  • 2026 ජනවාරි 20 - ඇමෙරිකානු ඩොලර් 997,799

වශයෙන් අවස්ථා 10කදී මෙම ගනුදෙනු සිදුව ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ණය ගෙවීමේ සම්මත ක්‍රියාපටිපාටිය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 දෙසැම්බැර් 31 වන දා දක්වා අදාළ වගකීම් දැරූ අතර, 2026 ජනවාරි 01 වන දා සිට එය ක්‍රියාත්මක කරනු ලබන්නේ මුදල් අමාත්‍යංශ යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසිනි.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ණය හිමියන්ගෙන් ලැබෙන ඉන්වොයිස් පත් - ඊමේල් මගින් ලබා ගනු ලබන්නේ මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් බව ය.

එම ඉන්වොයිස්වලට අදාළ මුදල් ගෙවීම්, මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තෙම්න්තුවේ CDRMS (Commonwealth Debt Records Management System දත්ත පද්ධතියේ සහ ණය සේවා පුරෝකථනය සමග සත්‍යාපනය කිරීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් සිදුකරයි.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, අදාළ ගිණුම් විස්තර ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමග සහ විදේශීය මුදල් වෙන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධීකරණය කරන බව ය.

සියලු තොරතුරු සත්‍යාපනය කිරීමෙන් පසු සංචිත නොවන කළමනාකරණ පද්ධතිය වෙත අදාළ දත්ත ඇතුළත් කිරීම රාජ්‍ය ණය කළමනාකරණ කර්යාලය මගින් සිදු කරයි.

අදාළ උපදෙස් අනුව අරමුදල් නිදහස් කරනු ලබන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

මෙම ගෙවීම් සඳහා වගකීම් දරන්නේ කවුරුන් ද? යන්න නිවැරදිව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතී. එනම් මෙය චේතනාන්විතව සිදුවූ ක්‍රියාවක් ද? නැතහොත් නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අතපසුවීමකින් සිදුවූ ක්‍රියාවක් ද? යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන පරීක්ෂණය තුළින් අනාවරණය වනු ඇත.

මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් පළමුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා කර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද එහි පිටපතක් යවා තිබේ.

මෙම ප්‍රශ්නගත ගනුදෙනුව අනාවරණය කර ගත් දිනය ලෙස දැක්වෙන්නේ, 2026 මාර්තු 23 වන දා ය.

එනම් ණය හිමි ආයතනය වන Australian Export Finance Institute අදාළ ගෙවීම සිදුව නොමැති බවට 2026 මාර්තු 23 වන දා වාර්තා කිරීමෙන් පසුව ය.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2026 මාර්තු 24 වන දා C51/26/CR පැමිණිලි අංකය යටතේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කර තිබිණි.

මුදල් අමාත්‍යංශය මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට මේ පිළිබඳව වාර්තා කර ඇත්තේ, 2026 අප්‍රෙල් 01 වන දා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශනය තුළින් අනාවරණය කර ගත් තොරතුරු බී වර්තාවක් මගින් අධිකරණයට වාර්තා කර ඇත.

තවමත් මෙහි පරීක්ෂණ අවසන්ව නොමැති අතර එහි සංකීර්ණ ක්‍රියාවලියක් ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ ය.