මාර්ග සංවර්ධන අධිකාරියේ රු. මි. 380ක් දෙවරක් ගෙවූ බව කියන චෝදනාව: සිදුව ඇත්තේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රු. මිලියන 380කට ආසන්න මුදලක් වැරදි ලෙස කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගිය අප්‍රේල් 26 වන දින චෝදනා කළේ ය.

ඔහු පවසන්නේ" මීට පෙර කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් එක් එක් දිස්ත්‍රික්කයේ විධායක ඉංජිනේරුවන් හෝ ප්‍රධාන ඉංජිනේරුවන් හරහා සිදු කර ඇති නමුත් වර්තමාන ආණ්ඩුව එම ගෙවීම් මාර්ග සංවර්ධන අධිකාරියේ මූලස්ථානයෙන් ඔන්ලයින් ඔස්සේ සිදු කරන බව ය.

ඒ අනුව, 2023 වසරේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති ගෙවීමක් නැවත වරක් සිදු කර ඇති බවත්, ඒ අනුව නැවත වරක් ගෙවා ඇති එම මුදල ආපසු ලබාදෙන ලෙස එම කොන්ත්‍රාත්කරුවන්ට ලිපි මගින් දැනුම් දී ඇති බවත් මන්ත්‍රීවරයා එම වීඩියෝවේ පවසයි.

ලංකා බැංකුවේ ලිපිය

ලංකා බැංකුවේ අභ්‍යන්තර ලිපියක් යැයි පවසන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

2024 දෙසැම්බර් 30 දිනැති ස්ලිප්ස් ගෙවීම් ගොනුවක් ගෙවීමේදී ලංකා බැංකුවේ පද්ධති දෝෂයක් හේතුවෙන් ලංකා බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් එක ම ගෙවීම දෙවරක් සිදුකිරීමෙන් රු. මිලියන 263.5ක් හර වී ඇති බවට එහි සඳහන් වේ.

එම දෝෂය හඳුනා ගැනීමෙන් පසු, ඒ අනුව අරමුදල් ආපසු කැඳවා ඇති අතර, එම ලිපියට අනුව තවමත් අයකර නොගත් මුදල රු. මිලියන 51කි.

මාර්ග සංවර්ධන අධිකාරිය චෝදනා ප්‍රතික්ෂේප කරයි

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අප්‍රේල් 27 වන දින නිකුත් කළ නිවේදනයක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

"මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම පදනම් විරහිත වන අතර සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇත," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

එමෙන් ම මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුමකින් කිසි විටෙකත් ද්විත්ව ගෙවීමක් සිදුව නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු ආකාරයක මූල්‍යමය වශයෙන් පාඩුවක් සිදුව නොමැති බවත් එම නිවේදනයේ තහවුරු කර තිබේ.

නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ කුමක් ද?

මේ අතර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අප්‍රේල් 27 වන දින මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ, කිසිදු අවස්ථාවක මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුමකින් ද්විත්ව ගෙවීමක් සිදු කර නොමැති බව ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිදු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එක ම ගෙවීම දෙවතාවක් ගෙවා නොමැති බව ය.

"ඒ ගිහිල්ලා තියෙනවා කියන්නේ ලංකා බැංකුවෙන් නේ. මාර්ග සංවර්ධන ගිණුමෙන් වත් වෙනත් ගිණුමකින්වත් සතයක්වත් ඩබල් පේමන්ට් එකක් වෙලා නෑ. ඒක අපි ස්ථිර වශයෙන් කියනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා නම්, ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන් වැරදි යි," ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඉන්පසුව ලංකා බැංකුව හරහා එවැන්නක් සිදුව ඇත්දැයි මාධ්‍යවේදියෙක් විමසීය.

"ඒක අහන්න ඕනේ BOC එකෙන්," ඔහු පැවසුවේ ය.

"අපේ ප්‍රධාන ගිණුමෙන් යම්කිසි මුදලක් යවන්න තියෙනවා නම්, අපි ඒ මුදල දානවා තවත් ගිණුමකට. ඒ අනුව අපි නිර්දේශ කරනවා මේ අයට ගෙවන්න කියලා. එතකොට ඒ අය [BOC] ඒක ගෙවනවා. ඊට අමතරව තවත් පාරක් සල්ලි දැම්මොත් තමයි ඒ අය ගෙවන්නේ. අපි සල්ලි දාන්නේ නැතුව BOC එකෙන් සල්ලි ගෙවන්නේ නෑනේ අපේ ඒවාට අපේ එකවුන්ට්වලින්," නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

"ඕවර් පේමන්ට් එකක් වෙලා තියෙනවා නම් බැංකුවකින් වැරදීමකින්, ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නොවෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙමෙයි. ඒක බැංකුවක් සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මාර්ග සංවර්ධන අධිකාරිය සහ බැංකුව එක්කවත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොන්ත්‍රාත්කරුවන් අතරවත් සිදු වෙච්ච එකක් නෙමෙයි," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.