ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CID නිලධාරීන් අධිකරණයට හෙළි කළ කරුණු

Harhsana

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් රජයේ මුදල් බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත කරුණු වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පාර්ශවයක් වෙත බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මස 24 වන දා ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පවසා තිබේ.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් එම නිලධාරීහු පැවසූහ.

ඔස්ට්‍රේලියානු රජය, මෙරට ව්‍යාපෘති පහකට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ණය මුදල් ලබා දී ඇති බවත්, එසේ ලැබුණු ණය මුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ යළි ගෙවීම ආරම්භ කර තිබෙන බවත් එම නිලධාරියා දැනුම් දුන්නේ ය.

ඒ අනුව Export Finance Australia නමැති සමාගමට මුදල් ගෙවීමේදී මෙම අර්බුදය මතු වී ඇති බවත්, export finance gov.au නමැති ඊමේල් ලිපිනයට කාලයක් තිස්සේ මීට අදාළ ගෙවීම් සිදුකර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඉන්පසුව එම ඊමේල් ලිපිනය export finance av.com ලෙස වෙනස් කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ඊමේල් ලිපිනයට අදාළ ඩොමේන් නාමය වෙනස් වී ඇති බව ඉකුත් ඔක්තෝබර් මස 28 වන දා එනේබල් නමැති ආයතනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදී එම අනතුරු ඇඟවීම නොසලකා අදාළ මුදල් බැහැර කිරීම සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් නිලධාරියා සඳහන් කළේ ය.

ඒ අනුව එනේබල් නැමති ආයතනයේ දත්ත පද්ධතියට ඇතුළු වී පරීක්ෂාවක් සිදු කළ බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා, එම පරීක්ෂාවේදී අදාළ ඊමේල් ලිපිනයට අනවසර ප්‍රවේශ වීම් සිදුවී ඇති බවට මෙතෙක් කරුණු අනාවරණය වී නැති බවත් සඳහන් කළේ ය.

ඊට අමතරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී යම් යම් තොරතුරු මකා දමා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එහිදී ප්‍රකාශ විය.

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අදාළ ගත්ත මකා දමා තිබෙන්නේ අපරාධමය චේතනාවකින් ද යන්න විමසන ලදී.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සැකකරුවන් හඳුනා ගැනීමක් කර නොමැති බවත් ය.

නිලධාරීන් 5 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

ප්‍රශ්නගත අපරාධය සිදුවූ වකවානුවේ අදාළ ආයතනයේ පරිගණක මාරු වීමක් සිදුවී ඇති බවත්, මෙම කරුණට අදාළව විමර්ශන සිදුකර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ මුදල් බැහැර කිරීම සිදුකළ ඊ මේල් ලිපිනයට ප්‍රවේශ විය හැකි නිලධාරින් පස් දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කළේ ය.

එමෙන් ම එම නිලධාරින් පස් දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කෙරිණි.

විශේෂඥ කමිටුවක්

ඊට අමතරව මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂක, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අධිකරණය අවසර දුන්නේ ය.

මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදුවී තිබේ දැයි විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අපරාධයක් සිදු වී තිබේ නම් ඊට වගකිව යුතු පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

මෙවැනි ක්‍රියා අනාගතයේදී සිදුවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන්නේ ය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 03 වන දා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.