ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේ වෙනුවෙන් කොළඹ සත්‍යග්‍රහයක්: ඊට එක්ව සිටින්නේ කවුද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (ජූනි 08) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යාග්‍රහයක් ආරම්භ කළහ.
ඔහුට සහයෝගය දක්වන පිරිසක් "ස්ටෑන්ඩ් අප් ෆෝ සලේ" නමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත්තේ, "පරීක්ෂණ පවත්වනු. ශානිගේ වධකාගාරයෙන් සලේ නිදහස් කරනු" යන ඉල්ලීම් යටතේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිව සිටින අයුරු දැකගත හැකි විය.
හිටපු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, ටිරාන් අලස්, මධුර විතානගේ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සුරේෂ් සලේගේ මව ද මෙම අවස්ථාවට සහභාගි වූවා ය.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට නව මානයකට ගමන් කරමින් තිබේ.
ඒ, පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ යුද්ධ හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයින් වන මොහොමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගමගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (ජූනි 3) නියම කිරීමත් සමග ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කර තිබිණි.
සලේ ජාතික රෝහලට
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී මීට දින දෙකකට පෙර මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ, ඔහුට අමානුෂික අයුරින් සලකන බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමිනි.
අනතුරුව ඊයේ රාත්‍රියේ (ජූනි 07) ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
"අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ජාතික රෝහලට ඇඩ්මිට් කරලා ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ STF ආරක්ෂාව යටතේ ඉන්නවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.
මේ අතර, ජාතික රෝහලට පැමිණ සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත පැවසුවේ මෙවන් අදහසකි.
"මහත්තයව බැලුවා. ඈත ඉඳන් දැක්කේ. මං හිතන්නේ හොඳට ම ඩීහයිඩ්‍රේට් වෙලා නේ. මොක ද දැන් දවස් දෙකක් නේ කන්නේ බොන්නේ වතුර බිංදුවක්වත් බොන්නේ නැහැ නේ. එයාගේ අත්දෙකට ම සේලයින් නම් දීලා තිබ්බා. එවෙලෙත් මොනව ද ටෙස්ට් වගයක් කර කර හිටියේ."
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනුණේ, පසුගිය පෙබරවාරි 25 වන දා ය.
එතැන් සිට මේ දක්වා ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්ත කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රයට සහභාගි වෙමින් කියා සිටියේ, "ඩයස්පෝරාව ඉල්ලා සිටින රණවිරු බිල්ල දෙන්න" වත්මන් රජය සුරේෂ් සලේ මරණය අබියසට රැගෙන විත් ඇති බව ය.
'විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් කර නැහැ'
මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ බිරිඳ (ජූනි 07) පෙරවරුවේ ඔහු බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ය.
එහිදී ඇය කියා සිටියේ, "අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියලා. ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනේ. අපි දන්නවා කවුද මේකට වගකියන්න ඕනේ කියලා මේවගේ කැත විදිහට සලකන එකට. මම හරි ආඩම්බර වෙනවා, මගේ හස්බන්ඩ් ගැන. එයාට පුළුවන් වුණා නම් රට වෙනුවෙන් අවුරුදු තිස් ගාණක් කැප කිරීම් කරන්න, මේ ඔයගොල්ලන්ගේ අවස්ථාව. ඔයගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්," ඇය සඳහන් කළා ය.
සුරේෂ් සලේගේ පුත්‍රයා වන කුෂාල් සලේ කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී සුරේෂ් සලේට කෲර සහ අමානුෂික අයුරින් "බල්ලෙකුට මෙන්" සැලකීම හේතුවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කරන බව ය.
කෙසේ වෙතත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය වෙත ප්‍රකාශ කළ ආකාරයට පොලිසිය මෙම සැකකරුට පහරදීමක් හෝ අමානුෂික සැලකීමක් කර නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට පොලිසිය කටයුතු කර ඇති බවත්, මෙම සැකකරුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් කර නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.
'විමර්ශන යළි ක්‍රියාත්මක වීමේදී ඇතැමුන් කලබල වෙලා'
මේ අතර, සිරිල් ගාමිණී පියතුමන් අද (ජුනි 08) ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇණහිට තිබූ විමර්ශන යළි ක්‍රියාත්මක වීමේදී ඇතැමුන් කලබල වී ඇති බව ය.
ඕනෑ ම අපරාධයක සත්‍ය සහ අපරාධකරුවන් සොයා ගැනීමට නිත්‍යනුකූල විමර්ශනයක් සිදුවිය යුතු බව පියතුමා සඳහන් කළේ ය.
එබැවින් විමර්ශන අඩපණ නොකරන ලෙසත්, අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම දක්වා විමර්ශන අපක්ෂපාතීව ක්‍රියාත්මක කරන ලෙසත් පියතුමා රජයෙන් ඉල්ලා සිටියේ ය.
පියතුමන් ඉල්ලා සිටියේ, විමර්ශනවලට දේශපාලනය ඇඟිලි ගැසීම් නොකළ යුතු බව ය.