විල්පත්තු ඉදිකිරීම් නීති විරෝධීයි - පරිසර කමිටුව කියයි

Published

විල්පත්තු වන රක්ෂිතයේ මතභේදයට ලක්ව ඇති සියලු ඉදිකිරීමම් නීති විරෝධී බව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ පරිසර කමිටුව තහවුරු කරයි.

විල්පත්තු වන රක්ෂිතයේ නීති විරෝධී පදිංචි කිරිම් සම්බන්ධයෙන් කළ සමීක්ෂණවලින් අනාවරණය කර ගත් තොරතුරු ඇතුළත් වාර්තාව අදාළ පරිසර සංවිධාන කමිටුව විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

අදාළ සියලු ගැසට් පත්‍ර ලබා ගෙන එම තොරතුරුවලට අනුකූල සීමා මායිම් අනුව සිතියම් සකස් කොට මෙම සියලු පදිංචි කිරීම් වන රක්ෂිතය තුළ ඇති බව පැහැදිලිව තහවුරු කොට ඉදිරිපත් කොට ඇති බව එම වාර්තාව සකස් කිරීමට දායක වූ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න පැවසුවේය.

2013 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලිපියක් නිකුත් කොට ඇතත් පදිංචි කිරීම් ආරම්භ කොට ඇත්තේ 2010 වසරේ සිට බවට තොරතුරු අනාවරණය වන බව ඔහු සඳහන් කළේය.

2013 පෙබරවාරි 14 දින වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් නිකුත් කොට අක්කර 1080 ක් නැවත පදිංචි කිරීම් සඳහා යොදා ගන්නා ලෙසට දැනුම් දී ඇති බවයි ඔහු පැවසුවේ.

එසේ වුවත් පරිසර තක්සේරු වාර්තාවක් නොමැතිව වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ආකාරයෙන් ඉඩම් නිදහස් කළ නොහැකි බව සඳහන් කළ ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න පැවසුවේ එම ලිපියේ සඳහන් ප්‍රදේශය පවා අතික්‍රමණය කරමින් පදිංචි කිරීම් සිදු කොට ඇති බවයි.

ඒවා නැවත පදිංචි කිරීම් නොව නව පදිංචි කිරීම් බව කමිටු වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

බටහිර වෙරළ තීරය වෙනම ජනපද කරණයකට ලක් කොට ඇති බව පැවසූ ඔහු ‘ජාසින් සිටි’ නමින් එම ප්‍රදේශය නම් කොට ඇති බවත් ජාසින් නමැති සංවිධානය විසින් ඊට මුදල් සම්පාදනය කොට ඇති බවත් පැවසුවේය.

මෙම පදිංචි කිරීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වරද සිදු කොට ඇත්තේ ඉඩම් ලබා දුන් දේශපාලන අධිකාරිය බව පැවසු ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මේ සම්බන්ධ කතිකාවත ඇතිවී තිබෙන්නේ 2013 දී ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් බවයි පෙන්වා දෙන්නේ.

විල්පත්තුව අභයභූමිය හරහා පුත්තලම හා මන්නාරම සම්බන්ධ කොට ඉදිකොට ඇති මාර්ගය විශාල තර්ජනයක් බවත් එය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කළ බවත් ඔහු පැවසුවේය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් පල කළ බවයි ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න තවදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් තමා වාර්තා කැදවා ඇති බවද පැවසූ ජනාධිපතිවරයා එම වාර්තා කඩිනමින් ලබා දීමට උපදෙස් දී ඇති බවත් ඒවා ලැබීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවත් කියා සිටි බව ඔහු සඳහන් කළේය.