හිටපු එල්ටීටීඊ සෙබළු ජාතික ක්‍රීඩා කණ්ඩායම්වලට

Tamil Tigers (file photo)

ඡායාරූප මූලාශ්‍රය, ltte

ඡායාරූප ශීර්ෂ වැකිය, 'විශේෂයෙන්ම ඉලක්කකයට වෙඩි තැබීමේ තරඟාවලියට සහභාගි විය හැකි ක්‍රීඩකයන් හතර දෙනෙක් හඳුනා ගත්තා'
Published

එල්ටීටීඊ සංවිධානයේ හිටපු සෙබළුන් සිවුදෙනකු ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරඟයේදී ඉලක්කයට වෙඩිතැබීමේ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

දැනට පුනරුත්ථාපනය වෙමින් සිටින හිටපු එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් අතරින් 135 දෙනකු පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති පුහුණුවකට කැඳවූ බව බීබීසී සංදේශයට කියා සිටි අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හර්ෂ අබේකෝන් ශ්‍රී ලංකා ජාතික පුහුණු සංචිත නියෝජනය කිරීම සඳහා එයින් දහසය දෙනකු තෝරාගත් බව ද සඳහන් කළේය.

"ඒ අය අතරින් විශේෂයෙන්ම ඉලක්කකයට වෙඩි තැබීමේ තරඟාවලියට සහභාගි විය හැකි ක්‍රීඩකයන් හතර දෙනෙක් හඳුනා ගත්තා," ඔහු පැවසීය.

පිහිනුම් ක්‍රීඩාවෙන් සිවු දෙනකුද ක්‍රිකට් පන්දු යවන්නන් සිවු දෙනකුද සෙසු ක්‍රීඩාවලින් සිවු දෙනකුද ජාතික සංචිතවලට තෝරාගෙන තිබේ.

කෙසේ වුවද හිටපු එල්ටීටීඊ සන්නද්ධ සාමාජිකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්වලට ඇතුලත් වූ පළමු වතාව මෙය නොවන බවද ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

"එල්ටීටීඊ සංවිධානයේ හිටපු ආබාධිත සෙබළුන් වගේම ශ්‍රී ලංකා හමුදාවේ ආබාධිත සෙබළුන්ගෙන් සමන්විත ජාතික කණ්ඩායමක් තමා ශ්‍රී ලංකාවේ ජාතික ආබාධිත වොලිබෝල් කණ්ඩායම," හර්ෂ අබේකෝන් වැඩිදුරටත් සඳහන් කළේය.