මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශන CIDයට

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳව විමර්ශන තමන් වෙත භාර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අධිකරණය වෙත අද දැනුම් දුන්නේ ය. එහිදී ඔහු මේ දක්වා සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම ද සිදු කළේ ය.

සාරාංශය

  • විමර්ශන CIDයට භාර දුන් බව ශානි අබේසේකර අධිකරණයට දැනුම් දෙයි
  • බන්ධනාගාරය අවට තත්ත්වය සාමකාමී යි
  • සිදුවීම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද දිනයේ
  • රෝහල්ගත කළ තවත් රැඳවියෙක් මරුට
  • මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට. 7ක් නිලධාරීන්, 20ක් රැඳවියන්
  • මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවේ
  • තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාවෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන්
  • අධිකරණ ඇමති තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් හමුවෙයි
  • සිදුවීම ගැන සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල කණ්ඩායම මීගමුව සහ කොළඹ සිට

  1. 'අවුරුදු 1.5ක් හිරේ ඉන්න ඕනේ ළඟ තිබ්බේ කුඩු ද පැනඩෝල් කුඩු ද කියල හොයාගන්න' - අධිකරණ ඇමති

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එම තත්ත්වය සිදු නොවිය බවත් එය ඛේදවාචකයක් බවත් ය.

    තමන් හෝ රජය මෙම සිදුවීම අවතක්සේරු නොකරන බව ද එහිදී ඔහු පැවසුවා.

  2. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් බන්ධනාගාර නිලධාරීන් කවුද?

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා.

    මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අතර එක් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 6 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

    එම නිලධාරීන් සම්බන්ධයෙන් බීබීසීය පළ කළ ලිපිය මෙතැනින් කියවන්න...

  3. මියගිය පුද්ගලයින්ගේ මරණවලට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ රැඳවියන් 20 දෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණකරුවන් 27 දෙනාගේ මරණවලට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝග කළා.

    තව ද මෘත දේහවලට අදාළව මරණකරුවන්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘත දේහ ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරායට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    එමෙන් ම, මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් අතර බරපතළ ගැටමුක් ඇතිවීම, එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ සිරකරුවන් 20 දෙනෙකු මරණයට පත්වීම, තවත් බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පිරිසක් බරපතළ සහ සුළු තුවාල ලැබීමේ සහ බන්ධනාගාර දේපළවලට හානි සිදුවීම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    එහිදී පොලිසිය අධිකරණය වෙත දැන්වූයේ අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන අරඹා ඇති බව ය.

  4. ප්‍රතිකාර ලබන රැඳවියන් බැලීමට අවසර පත්‍ර නිකුත් කරයි

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් බැලීම සඳහා බන්ධනාගාරය විසින් ඔවුන්ගේ ඥාතීන් වෙත අවසර පත් නිකුත් කිරීම ආරම්භ කළා.

    Negombo Hospital
    Negombo Hospital
  5. මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශන CIDයට භාර දෙයි

    මීගමුව බන්ධනාගාර පරිශ්‍රය මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විසින් අද (ජූලි 7) අළුයම දෙකට පමණක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මීගමුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරිය පිළිගැනීමෙන් අනතුරුවයි.

    අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරියට පොලිසියට නියම කළා.

    ඊට අදාළ නඩු කටයුත්ත අද ආරම්භ වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන තමන් වෙත භාර දී ඇති බවයි. පසුව ඔහු මේ දක්වා සිදු කළ විමර්ශනවල ප්‍රගතිය මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දුන්නා.

    එම අවස්ථාවේදී ඔහු මීගමුව අධිකරණ සංකිර්ණයේ සියලු විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ගෙන්වා අධිකරණයට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බව පවසා තිබෙනවා. එහිදී ඔහු දන්වා ඇත්තේ අධිකරණය පිටත ආරක්ෂාව තහවුරු කර ඇති අතර නඩු කටයුතු සඳහා පුද්ගලයින් අධිකරණයට තුළට ඇතුළු කර ගැනීමේදී ඔවුන් පරීක්ෂා කර නඩු කටයුතුවලට අදාළ පුද්ගලයින් පමණක් ඒ තුළට ඇතුළු කර ගන්නා ලෙසයි.

    අද දින කිසිදු බන්ධනාගාර නිලධාරියෙකු නඩු කටයුතු සඳහා සහභාග වී සිටියේ නැහැ.

  6. මෘත දේහ ඥාතීන් වෙත භාර දීම ඇරඹේ

    පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භාර දීම ආරම්භ කර ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ සිටින බීබීසී වාර්තාකරු පවසනවා.

    ඔහු සඳහන් කළේ, මෘත දේහ භාර ගැනීමට රෝහල් පරිශ්‍රය වෙත මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් පැමිණ ඇති බවයි.

    වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රතිකාර ලබන රැඳවියන් බැලීමට අවසර පත්‍ර නිකුත් කරයි
  7. අධිකරණ ඇමති තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හමුවෙයි

    මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (ජූලි 6) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් තිබෙනවා.

    මෙම නොසන්සුන්තාවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ

    ඡායාරූප මූලාශ්‍රය, MINISTRY OF JUSTICE

  8. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මරුට

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළා.

    ඒ අනුව, මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් 7ක් බන්ධනාගාර නිලධාරීන් වන අතර 20ක් රැඳවියන්.

    තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාවෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන්.

  9. බන්ධනාගාරය අවට තත්ත්වය සාමකාමීයි, සම්පත් දිසානායක - බීබීසී සිංහල ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු

    මම දැන් රැඳී ඉන්නේ මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට යි. ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපිට පවතින්නේ සාමකාමී තත්ත්වයක්.

    මේ වන විටත් මීගමුව බන්ධනාගාරය දෙසට ඇතුළු වෙන සියලු ම මාර්ග වසා දමා ඇති ආකාරය දකින්න ලැබෙනවා.

    පොලිසිය සහ යුද හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.

    මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතින් 100ත් 150ත් අතර පිරිසක් මේ වන විටත් අවට ස්ථාන කිහිපයක රැඳී සිටිනවා.

    එමෙන් ම, බන්ධනාගාරයෙන් පිටත වෙනත් බන්ධනාගාර වලට රැගෙන ගිය රැඳවියන්ගේ නම් ලැයිස්තුව බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තියෙන ආකාරය දැකගැනීමට හැකි යි.

    රැඳවියන්ගේ ඥාතීන් එම නම් ලැයිස්තුව පරික්ෂා කරන ආකාරය දකින්න ලැබෙනවා.

    බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ඥාතීන්
    බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ඥාතීන්
  10. මීගමුව බන්ධනාගාරයේ සිදුවීම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද දිනයේ

    ආයුබෝවන්!

    ඊයේ දිනයේ (ජූලි 6) මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද දිනයේ (ජූලි 7) අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පවසනවා.

    ඒ අනුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

    මීගමුව පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර, ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතයි.

    එමෙන් ම රැඳවියන් 700ක් පමණ මේ වන විට වෙනත් බන්ධාගාරවලට මාරු කර යවා තිබෙනවා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ රාත්‍රිය වන විට තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව 105ක් බව යි.

    මෙම නොසන්සුන්තාව හේතුවෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 26ක් වන අතර එයින් 7 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්.

  11. රාත්‍රී 10.21 පමණ වන විට මීගමුව දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට තත්ත්වය

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළත් කෙරුණු මීගමුව දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට තත්ත්වය ගැන තොරතුරු ගෙන එන බීබීසී වාර්තාකරු සම්පත් දිසානායක සඳහන් කළේ, රාත්‍රී 10:21 පමණ වින විටත් තුවාල ලැබූවන්ගේ ඥාතීන් ඔවුන්ගේ තත්ත්වය දැන ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙමින් සිටි බවයි.

    වීඩියෝ ශීර්ෂ වැකිය, ප.ව 10.21 ට පමණ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට තත්ත්වය
  12. රාත්‍රී 8.40 පමණ වන විට මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට තත්ත්වය

  13. තුවාලකරුවන්ගේ නාම ලේඛනයක් ප්‍රදර්ශනය කෙරේ

    නොසන්සුන්තාව අතර තුවාල ලැබූ රැඳවියන්ගේ නාම ලේඛනයක් බන්ධනාගාරය ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති ආකාරය බීබීසීයට නිරීක්ෂණය වුණා.

    එහි විශේෂ සටහනක් යොදමින් දක්වා තිබුණේ, තුවාල ලැබූවන් බැලීම සඳහා මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අවසරය රැගෙන පැමිණ යුතු බවටයි.

    Negombo Prison
    Negombo Prison
  14. බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයේ

    Negombo Prison

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාර ඉදිරිපිට මාර්ගයේ රැස්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

    ඔවුන් අතර වයස්ගත මෙන් ම කුඩා දරුවන් රැගත් කාන්තාවන් පිරිසක් ද දැකගත හැකි බව ඔහු සඳහන් කළා.

    ඔහු තවදුරටත් පැවසුවේ, මෙම පිරිස කෑ කෝ ගසමින් මාර්ගය අවහිර වන සේ විරෝධය දක්වන අයුරු දැකගත හැකි බවයි.

    බන්ධනාගාරයේ සිටින සිය නෑ හිතවතුන් පිළිබඳ තොරතුරක් අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස රැස්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිසිය හා යුද්ධ හමුදාව ද ඒ සදහා යොදවා සිටින බවයි.

  15. Breaking, මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන සොයන්න කමිටුවක්

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අද (ජුලි 6) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

    එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

    අදාළ කමිටුව මගින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළා.

  16. අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට: 'මිය ගිය ගණන 26ක් දක්වා ඉහළට'

    වීඩියෝ ශීර්ෂ වැකිය, අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගිය ගණන 26ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

    එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 සිටින බව ඔහු සඳහන් කළා.

    බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

    ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත කළ සංචාරයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    මේ අතර මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාලකරුවන් 18 දෙනෙකු කොළඹ ජාතික රොහලට ඇතුළත් කිරීමට පියවර ගත බවයි.

  17. 'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති

    Harshana Nanayakkara

    මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

    සඳුදා (ජූලි 6) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හටගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බව ය.

    කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේදී මෙවැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.

    මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බව ද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බව ද පැවසුවා.

    "අද අපි උදේ ඉදලා මීගමුවේ ඇති වෙච්ච තත්ත්වය ගැන නිලධාරීන් මෙහෙයවමින් ඒක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. දැන් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. රැඳවියෝ මිය ගිහින් තියෙනවා, කාර්ය මණ්ඩලය මියගිහිල්ලා තියෙනවා. එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා.

    "මම ඉස්සෙල්ලා ම මියගිය අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. සිද්ධිය වෙච්ච තැනට අපි ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනෙයි කියන තැන අපි ඉන්නේ.

    "කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තට ම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒකේ වගකීම මට භාරගන්න වෙනවා.

    "දැන් තියෙන්නේ පසුතැවෙන එකට වඩා මේක වුණේ කොහොම ද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට ලෙස කටයුතු කරලා තියෙනවා ද? ගැටලුව ගැටුම ඇති වුණේ කොහොම ද? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොම ද කියලා බලන එක. දැන් ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන අපි ඉන්නවා.

    "මගේ ළඟ දැන් ඔක්කොම තොරතුරු නැහැ. මෙතැන පාතාලයට සම්බන්ධ කල්ලි දෙකක් අතර ඊයේ තමයි ඉස්සර වෙලා ම ගැටුම ඇතිවෙලා තියෙන්නේ. එතන ඇතිවුණ ගැටුමෙනුත් කට්ටිය තුවාල වෙලා තියෙනවා. ඒ ගැටුම පාලනය කරන්න කාර්ය මණ්ඩලයේ අයත් තුවාල ලබලා තිබුණා. පස්සේ ඒ ගැටුම සමථයකට පත්කරලා තිබුණා.

    "ඒත් අද උදේ ඔවුන්ට ආහාර ලබා දීලා, උසාවියට අරන් යන්න ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර නැවත ගැටුම් උග්‍ර වෙලා තියෙනවා. මේක විසඳන්න අපේ කාර්ය මණ්ඩලය පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේදී වෙඩි තියන්න හරි ගහන්න යන්නේ නැහැ අපේ අය. විවිධ උපක්‍රම භාවිත කරනවා.

    "එතැන සෙනඟත් ගොඩක් ඉන්නවා. මේ වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.

    "කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙතැනදී මිය ගිහින් තියෙන්නේ එයාලා මේ කණ්ඩායම් දෙක අතර ඇතිවුණ ගැටුම පාලනය කරන්න මැදිහත් වුණ නිසයි. මොකද මේ ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි ඇතිවෙලා තියෙන්නේ. මිය ගියපු කාර්ය මණ්ඩල නිලධාරීන්ට වෙඩි වැදිලා තියෙනවා. ඒක වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔවුන්ගේ අතට ආයුධ ගියේ කොහොම ද කියන එක ගැන හොයන්න ඕන. රැඳවියන් ගැන විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ගැනත් මට වගකීමක් තියෙනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  18. මෙතෙක් සිදු වූයේ මොනවා ද?

    ජූලි 5

    • ප.ව. 1.00: මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවට බන්ධනාගාර බලධාරීන් පැවසීම
    • ප.ව. 4.00: බන්ධනාගාරයේ ඇතිවූ බව කියන ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීම
    • ප.ව. 5.45: රෝහල්ගත කළ පිරිසෙන් දෙදෙනෙකු මිය ගිය අතර, රෝහල්ගත කරන ලද තුවාලකරුවන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යාම
    • ප.ව. 8.00: මේ පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල පැවසීම

    ජූලි 6

    • පෙ.ව. 8.40: ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ඇති බවට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බීබීසී සිංහල වෙත පැවසීම
    • පෙ.ව. 9.45: මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වීම
    • පෙ.ව. 10.00: බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව බීබීසී වාර්තාකරු පැවසීම
    • පෙ.ව. 10.45: ඇතිවූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කිරීම
    • පෙ.ව. 11.30: මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට
    • ප.ව. 12.00: මරණ ගණන 19ක් දක්වා ඉහළ යාම සහ තුවාල ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළ යාම
    • ප.ව. 1.00: මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ යාම
    • ප.ව. 2.30: මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇති ඇතැම් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම
  19. 'මගේ පුතා ඇතුළේ ඉන්නවා... ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ...'

    Negombo prison

    ඉරිදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ "ගැටුම" අතරතුර මිය ගිය බව කියන රැඳවියෙකුගේ ඥාතියෙකු වන නන්දනී බීබීසී සිංහල සමග අදහස් දැක්වුවා.

    "මගේ පුතා ඇතුළේ ඉන්නවා... දකුණු අත නෑ, ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ, මගේ පොඩි පුතා ඇතුළේ ඉන්නවා... ඊයේ එයාලා ගහලා ගහලා මරලා, ඔළු පළලා, ඇස්වලට කෝටුවවලින් ඇනලා, පුච්චලා, මගේ පුතාට නවක වධය දීලා, මගේ පුතාව මරලා දාලා මීගමුව හොස්පිටල් එකේ තාම මගේ පුතාගේ මිනිය.

    "සාධාරණයක් ඉටු කරන්න, මට අර දරුවවත් දෙන්න කියන්න. ඉන්න දරුවාවවත් දෙන්න කියන්න, මම නඩුවලට ඉදිරිපත් කරන්නම්," ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  20. 'නොසන්සුන්තාවට හේතුව රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්' - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    Negombo Prison

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවට හේතුව එහි සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

    ඉරිදා (ජූලි 5) වන දා මීගමුව බන්ධනාගාරයේ තුළ ගැටුමක් ඇතිව තිබුණු අතර බලධාරීන් පවසන පරිදි පසුව එය සමථයකට පත් කෙරුණා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සඳුදා (ජූලි 6) උදෑසන බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්තාවක් හට ගත් බවයි. එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට ද රැඳවියන් පහර දී තිබුණු බව ඔහු පැවසුවා.

    එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව ඇවිත් ඇති අතර රැඳවියන් ද ඔවුන් පසුපස "පන්නාගෙන විත් පහර දුන්" බව ඔහු කියා සිටියා.

    පසුව රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීදන් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.