සජීවී., ඉරානය සහ ඇමෙරිකාව අතර 'විශේෂඥ මට්ටමේ' සාකච්ඡා ඇරඹෙයි

එක්සත් ජනපදය සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා අවසන් වුණු අතර දැන් දෙරට අතර දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ. පකිස්ථාන විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුට අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා "විශේෂඥ මට්ටමින්" ආරම්භ වී ඇත.

සාරාංශය

  • ඉරානය සහ ඇමෙරිකාව අතර 'විශේෂඥ මට්ටමේ' සාකච්ඡා ඇරඹෙයි
  • සාම සාකච්ඡාවල පළමු වටය අවසන්
  • ඉස්ලාමාබාද් සාකච්ඡා ආරම්භ වෙයි
  • එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයෝ වෙන් වෙන් වශයෙන් පකිස්ථාන අගමැති හමුවෙති
  • සාම සැලසුම් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති නමුත් නිල කරුණු කිසිවක් නිකුත් කර නොමැත

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. විරාමයක්!

    විරාමයකින් අනතුරුව ඉරානය සහ ඇමෙරිකාව අතර සිදුවන සාකච්ඡා පිළිබඳ නවතම තොරතුරු සමගින් හමුවෙමු.

  2. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත වෙයි - ට්‍රම්ප්

    හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරයි.

    Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළ අතර එක්සත් ජනපදය ඉරානයේ නාවික සහ ගුවන් හමුදා බලය විනාශ කර ඇති බව නැවත වරක් පැවසුවා.

    ඇමෙරිකානු තෙල් ලොව ඇති හොඳ ම තෙල් බැවින් ඒවා ලබා ගැනීම සඳහා හිස් තෙල් නැව් එක්සත් ජනපදයට පැමිණෙන බව ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළා.

    හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට සහතික වීමෙන් පසු ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වූ බව ඔහු පැවසුවා.

  3. Breaking, දෙවන වටය: ඉරානය සහ ඇමෙරිකාව අතර 'විශේෂඥ මට්ටමේ' සාකච්ඡා ඇරඹේ

    පකිස්ථාන විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුට අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා "විශේෂඥ මට්ටමින්" දැන් ආරම්භ වී තිබෙනවා.

    ඔහුට අනුව, සාකච්ඡාවල මෙම අදියරේදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වල "තාක්ෂණික පැතිකඩ" කෙරෙහි අවධානය යොමු වනු ඇති බවයි.

    මීට පෙර, දෙපාර්ශ්වය පකිස්ථාන මැදිහත්කරුවන් ඉදිරියේ නායකයින්ගේ මට්ටමින් සාකච්ඡා පැවැත්වූවා.

    පකිස්ථාන රජයේ නිලධාරීන් දෙදෙනෙකු බීබීසී උර්දු වෙත පැවසුවේ මූලික සාකච්ඡා 'ධනාත්මක' වූ බවයි.

  4. Breaking, සාම සාකච්ඡාවල පළමු වටය අවසන්

    පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පැවති එක්සත් ජනපදය සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා අවසන් වී තිබෙනවා.

    පැය දෙකහමාරක් පුරා පැවති මෙම සාකච්ඡා සඳහා පකිස්ථාන මැදිහත්කරුවන් ද සහභාගී වූ බව රජයේ නිලධාරීන් දෙදෙනෙකු බීබීසී උර්දු සේවය වෙත තහවුරු කළා.

    මූලාශ්‍රයකට අනුව, මූලික සාකච්ඡා 'ධනාත්මක' බවක් ගෙන තිබෙනවා. කෙටි විවේකයකින් පසු ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා එරට වේලාවෙන් රාත්‍රී 8ත් 8:30ත් අතර නැවත ආරම්භ වන බව ද මේ වන විට තහවුරු වී තිබෙනවා.

  5. Breaking, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ඍජු සාකච්ඡා ඇරඹේ

    පකිස්ථානයේ ද සහභාගිත්වය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ත්‍රෛපාර්ශ්වික ඍජු සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බව පකිස්ථාන රජයේ ආරංචි මාර්ග බීබීසීයට පවසා තිබෙනවා.

    මීට පෙර, සාකච්ඡා වක්‍රව, පකිස්ථාන මැදිහත්කරුවන් හරහා පැවැත්වෙන බව අප වාර්තා කළා.

  6. Breaking, ඉස්ලාමාබාද් සාකච්ඡා ආරම්භ වී ඇති බව ආරංචි මාර්ග බීබීසීයට පවසයි

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා මීට සුළු මොහොතක පෙර ඇරඹුණු බව ආරංචි මාර්ග බීබීසීයට පැවසුවා. නමුත් දැනට එය පකිස්ථාන මැදිහත්කරුවන් හරහා වක්‍රව සිදුවන බව වාර්තා වනවා.

  7. ඉරාන වත්කම් ආපසු ලබා දෙන බවට පළ වන ප්‍රකාශ ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    බීබීසී පර්සියානු සේවයට අනුව, ඉරාන වත්කම් නැවත දෙන ලද බවට පළ වන ඉරානයේ ප්‍රකාශය ඇමෙරිකානු නිලධාරියෙකු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මීට පෙර, ජ්‍යෙෂ්ඨ ඉරාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් ඒජන්සිය කියා සිටියේ, සාකච්ඡාවලට පෙර ඉරානයේ තහනම් කළ වත්කම් නැවත ලබා දීමට එක්සත් ජනපදය එකඟ වූ බවයි.

    මෙම කාරණයේ සංවේදීතාව නිසා නිර්නාමිකභාවය ආරක්ෂා කිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ ඉරාන මූලාශ්‍රය රොයිටර්ස් පුවත් ඒජන්සියට පැවසුවේ, වත්කම් තහනම ඉවත් කිරීම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ආරක්ෂිතව ගමන් කිරීම හා සම්බන්ධ බවත්, එය මෙම සාකච්ඡාවල මූලික ම කරුණ විය හැකි බවත් ය.

    ඉරාන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මොහොමඩ් බාගර් ගලීබාෆ්, සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඉරානයේ තහනම් කරන ලද වත්කම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

  8. වෑන්ස් පකිස්ථාන අගමැති හමුවෙයි

    වෑන්ස් පකිස්ථාන අගමැති හමුවෙයි

    ඡායාරූප මූලාශ්‍රය, @PakPMO

    ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වාන්ස් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවී තිබෙනවා.

    විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඔහු සමග ඊට සහභාගී වී තිබුණු අතර, මෙම සාකච්ඡා කලාපයේ කල් පවතින සාමයක් කරා යන පියවරක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ෂරීෆ් විශ්වාසය පළ කළ බව පකිස්ථාන අගමැති කාර්යාලයේ නිවේදනයක දැක්වෙනවා.

    එය සිදුවන්නේ ඉරාන දූත පිරිස සහ ෂරීෆ් අතර සිදුවූ වෙන ම හමුවකින් පසුවයි.

    පෙර සාකච්ඡාවලදී මෙන්, එකිනෙකාගේ යෝජනාවල විවිධ කරුණු සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ලබා ගත හැකිදැයි බැලීමට පකිස්ථානය එක්සත් ජනපද නිලධාරීන් සහ ඉරාන නියෝජිත කණ්ඩායම සමග වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩ තිබේ.

    ඉරාන දූත පිරිසට නායකත්වය දෙන ඉරාන කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් පවසා ඇත්තේ, සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඉරාන වත්කම් නිදහස් කිරීමට එක්සත් ජනපදය එකඟ විය යුතු බවයි.

    මෙය දැනටමත් සිදුවී ඇති බවට ඉරානයෙන් වාර්තා වන නමුත් එය ඇමෙරිකානු පාර්ශවයෙන් තහවුරු කර නැහැ.

  9. ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස් ඉස්ලාමාබාද් වෙත පැමිණි අවස්ථාවේ ඡායාරූප නිකුත් වෙයි

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස්

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස් ඉස්ලාමාබාද් වෙත පැමිණි අවස්ථාවේ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.

    ඉස්ලාමාබාද් ගුවන්තොටුපළට පැමිණි ඔහු විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි මෙන් ම පකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් සහ අයිඑස්අයි ප්‍රධානී ලුතිනන් ජෙනරල් අසීම් ​​මලික් විසින් පිළිගනු ලැබුවා.

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස්

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස්

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස්

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

    ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස්

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

  10. ඇමෙරිකානු උපජනාධිපති වෑන්ස් ඉස්ලාමාබාද් වෙත පැමිණෙයි

    එක්සත් ජනපද උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්, එක්සත් ජනපද දූත පිරිස සමග ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බව ගුවන් සේවා මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවා.

    ඔහු අද පස්වරුවේ ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වීමට නියමිත අතර, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සමග ඒ සඳහා සහභාගී වීමට නියමිතයි.

    වෑන්ස් සහ ඔහුගේ කණ්ඩායම ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පකිස්ථානය බලා පිටත්ව ගිය අතර, ඔහු පිටත්ව යාමට මද වේලාවකට පෙර, වාර්තාකරුවන්ට පැවසුවේ තමා "සාකච්ඡා සඳහා බලාපොරොත්තුවෙන් සිටින" බවයි, නමුත් ඉරානය "අපිත් එක්ක සෙල්ලම් කිරීමට උත්සහ කළහොත්" එක්සත් ජනපදය එයට යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවට අනතුරු ඇඟවූවා.

  11. ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් රැගත් ගුවන් යානය පකිස්ථාන ගුවන් සීමාවට ඇතුළු වෙයි

    'Flight Radar 24' ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියට අනුව, එක්සත් ජනපද ජේ.ඩී. වෑන්ස් රැගත් ගුවන් යානය පකිස්ථාන ගුවන් සීමාවට ඇතුළු වී තිබෙනවා.

    ඒ අනුව, ඇමරිකානු උජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට අයත් SAM 091 සහ SAM 095 යන ගුවන් යානා දෙක පකිස්ථාන ගුවන් සීමාවට ඇතුළු වී තිබෙනවා.

  12. ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කරයි

    සාම සාකච්ඡා පැවැත්වෙන පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය නියෝජිත කණ්ඩායම් ඉස්ලාමාබාද් වෙත පැමිණීමත් සමග නගරයේ ආරක්ෂාව දැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා.

    ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කෙරේ
    ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කෙරේ

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කෙරේ

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

  13. 'අපේ අභිප්‍රායන් හොඳයි, නමුත් අපි ඇමෙරිකාව විශ්වාස කරන්නේ නැහැ' - මොහොමඩ් බාගර් ගලීබාෆ්

    ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ්

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    "වසරකටත් අඩු කාලයකදී දෙවරක්, සාකච්ඡා අතරතුර සහ අපගේ යහපත් අභිප්‍රායන් නොතකා, අපට පහර දුන්නා, බොහෝ යුද්ධ අපරාධ සිදු කළා," ඉස්ලාමාබාද් ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු ඉරාන දූත පිරිසට නායකත්වය දෙන ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් පැවසුවා.

    ඉස්ලාමාබාද් වෙත පැමිණි ඉරාන දූත පිරිසක් සමග පැමිණි ඉරාන මාධ්‍යවේදීන් අමතමින් ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයා මෙසේ ද පැවසුවා: "අපේ අභිප්‍රායන් හොඳයි, නමුත් අපි ඇමෙරිකාව විශ්වාස කරන්නේ නැහැ."

    "ඇමෙරිකාව සැබෑ ගිවිසුමකට සූදානම් නම් සහ ඉරාන ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් පිළිගන්නේ නම්, ඉරානය ද ගිවිසුමකට තම පූර්ණ සූදානම පෙන්නුම් කරනු ඇත," යනුවෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් සමග අනුබද්ධිත තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, ගලීබාෆ් සඳහන් කළා.

    කෙසේ වෙතත්, "වොෂින්ටනයට සාකච්ඡා හුදෙක් බලය පෙන්වීමක් හෝ රැවටීමේ උපක්‍රමයක් ලෙස භාවිත කිරීමට අවශ්‍ය නම්, ටෙහෙරානය සිය බලය භාවිත කර ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සූදානම්" බව ඔහු අනතුරු ඇඟවීය.

    මෑත කාලීන ආක්‍රමණයේදී රටේ සාර්ථක හා තීරණාත්මක ආරක්ෂක සහ ප්‍රති-ප්‍රහාරක ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයා පැවසුවේ, "ඉරානය තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සම්පූර්ණයෙන් ම සූදානම්ව හා අධිෂ්ඨානශීලීව සිටින බවට මෙය සාක්ෂියක්" යනුවෙනි.

  14. ඉරාන නියෝජිත පිරිස පැමිණි ගුවන් යානය 'මිනාබ් 168' ලෙස නම් කරයි

    The photo posted by MB Ghalibaf on X

    ඡායාරූප මූලාශ්‍රය, MB Ghalibaf / X

    ඉරාන රජයට අනුව, ඉරාන නියෝජිත පිරිස පකිස්ථානය බලා පැමිණි ගුවන් යානය, යුද්ධයට ගොදුරු වූ මිනාබ් පාසල නමින් නම් කර තිබෙනවා.

    ඉරාන බලධාරීන් පවසන පරිදි 'මිනාබ් 168' යන්නෙන් පෙබරවාරි 28 වන දින මිසයිල ප්‍රහාරයකින් මියගිය ළමුන් ඇතුළු ඉරාන පුරවැසියන් 168 දෙනා සංකේතවත් කරනවා.

    මෙම ප්‍රහාරයෙන් ඉරානයේ මිනාබ් නගරයේ ෂජාර්-ඒ-ටයියබා ප්‍රාථමික බාළිකා පාසල විනාශ වුණා.

    මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමෙරිකානු හමුදා විමර්ශකයින් විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරය ඇමෙරිකානු හමුදා හිතාමතා සිදු කරන ලද්දක් නොවන ලෙසයි.

    මීට පෙර, සිද්ධිය විමර්ශනය කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවා.

    පකිස්ථානය වෙත ගොඩ බැසීමෙන් පසු, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් මොහොමඩ් බාගර් ගලීබාෆ්, ගුවන් යානයේ ආසන මත තබා ඇති ළමුන් හතර දෙනෙකුගේ පින්තූර පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X පළ කර තිබුණා.

  15. පකිස්ථානයේ පැවැත්වෙන සාම සාකච්ඡා ගැන ඔබ දැනගත යුතු කරුණු 4ක්

    සෙනසුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ තිබෙනවා.

    මේ, සාකච්ඡාවලට පෙර ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු 4ක්:

    පසුගිය සති කිහිපය තුළ පකිස්ථානය ඉරානය සහ ඇමේරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් සිටියා. ඉරානය ගැන "හොඳින් ම දන්නේ" පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, ඔවුන්ට ඉරානය සමග එයට ඓතිහාසික සම්බන්ධතාවක් පවතිනවා.

    "සාකච්ඡා ක්‍රියාත්මක කළ හැකි පදනමක්" ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවක් ඉරානයෙන් එක්සත් ජනපදයට ලැබී ඇති බව ට්‍රම්ප් පැවසුවා. එක්සත් ජනපද නියෝජිතයින් විශ්වාසය පළ කළේ එය යුද්ධය නිමා කිරීමට මග සලසනු ඇති බවටයි.

    ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර සාම සාකච්ඡා කෙරෙහි සැක පහළ කරයි. සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇති අතර, බදාදා එහි හමුදාව ලෙබනනය පුරා ඉලක්ක වෙත බෝම්බ හෙළිමෙන් 300කට වැඩි පිරිසක් මිය ගිය බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

    සිකුරාදා සවස ලෙබනනය පැවසුවේ එළඹෙන සතියේ වොෂින්ටනයේදී ඊශ්‍රායලය සමග සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරන බවයි.

    විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා සහ උපදේශක ජැරඩ් කුෂ්නර් සමග සාකච්ඡා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කිරීමට උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉස්ලාමාබාද් බලා පිටත්ව යමින් සිටිනවා.

  16. සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පකිස්ථානයට

    සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පකිස්ථානයට පැමිණ ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

    ඔවුන්ගේ පැමිණීම සිදුවන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපද දූත පිරිස කලාපයට යන අතරතුර උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්ට සුබ පැතූ බව පැවසීමෙන් පසුවයි.

    "සාකච්ඡා ආරම්භ කිරීමට පෙර" ලෙබනනයේ සටන් විරාමයක් ඇති විය යුතු බව මීට පෙර, ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පැවසුවා.

  17. සුබ උදෑසනක්!

    පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

    අපත් සමග රැඳී සිටින්න.

  18. ඉරානය යහපත් විශ්වාසයකින් කටයුතු කරනවා නම් එක්සත් ජනපදය මිත්‍රත්වයේ දෑත් දිගු කරන බව වෑන්ස් කියයි

    එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පකිස්ථානයේ පැවැත්වෙන ඇමෙරිකා සහ ඉරාන සාකච්ඡාවලට එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර එයාර් ෆෝස් ටූ ගුවන් යානයට ගොඩවුනා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    එක්සත් ජනපද උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පකිස්ථානයේ පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන නියෝජිතයින් අතර සාකච්ඡාවලට එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර එයාර් ෆෝස් ටූ ගුවන් යානයට ගොඩ වුණා.

    "අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉරානය යහපත් විශ්වාසයකින් කටයුතු කරනවා නම්, ඇමෙරිකා එක්සත් ජනපදය මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න කැමැත්තෙන් සිටිනවා.

    නමුත් ඔවුන් අපව "රවට්ටන්න" උත්සහ කළොත්, ඇමෙරිකා එක්සත් ජනපදය ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නේ නැහැ" යැයි ඔහු ගුවන් යානයට ගොඩවීමට පෙර කියා සිටියා.

    සාකච්ඡා පිළිබඳ මාර්ගෝපදේශ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලබා දී ඇති බව ද ඔහු පැවසුවා.

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මීට පෙර නිවේදනය කළේ, සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී සෙනසුරාදා ආරම්භ වීමට නියමිත බවය.

    විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජොරඩ් කුෂ්නර් ද වෑන්ස් සමග එක්වනු ඇත, නමුත් තවමත් ඉරාන දූත පිරිස පැමිණෙන තෙක් පකිස්ථානය බලා සිටින බව එරට සිටින අපගේ වාර්තාකරු වාර්තා කරනවා.

  19. ඇමෙරිකානු නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ හැකි බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියයි

    මුහුදේ ඈතින් යාත්‍රා කරන නෞකාවක් සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා නාවික හමුදා බෝට්ටුවක්.

    ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, "මුහුදු බිම්බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහා මුහුදේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන" ලෙසට විප්ලවවාදී ආරක්ෂක බලකාය උපදෙස් ලබාදී ඇත.

    සතුරුකම් නොකරන තාක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඇමෙරිකානු නෞකාවන්ට යාත්‍රා කළ හැකි බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ පවසනවා.

    "හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, ඒත් තාක්ෂණික හේතූන් මත නැව් ඉරාන හමුදා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍ය වනවා," යනුවෙන් කතිබ්සාදේ ඉරාන මාධ්‍යයට පැවසු බව බීබීසී පර්සියානු සේවය වාර්තා කරන්නේ.

    සමුද්‍ර සන්ධිය ඔස්සේ අප විසින් ලබාදී තිබෙන ආරක්‍ෂිත මාර්ග හරහා නෞකාවන්ට ආරක්ෂා සහිතව යාත්‍රා කිරීමට ඇති හැකියාව ගැන සහතික කරන බව එහිදී ඉරාන අමාත්‍යවරයා පවසා සිටියා.

    "හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකාවලට යාමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉරානය කටයුතු කරන ආකාරය හරි ම දුර්වලයි, සමහරු කියන විදිහට ලැජ්ජාසහගතයි," යනුවෙන් මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට චෝදනා කර සිටියා.

    ඊයේ ඉරාන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළකරන ලද නිවේදනයක සඳහන් වුයේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අදහස් කරන නෞකා වලට "මුහුදු බිම්බෝම්බ වලින් ආරක්ෂා වෙන්න ලබාදී තියෙන මාර්ගෝපදේශ අනුගමනය කරන්න" යැයි විප්ලවවාදී ආරක්ෂක බලකාය උපදෙස් ලබාදී තිබෙනවා.

    ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සිය නිවේදනය සමග නෞකා සඳහා යාත්‍රා කළ හැකි විකල්ප මාර්ග දැක්වෙන සිතියමක් ද නිකුත් කර ඇත.

    ඕමාන් මුහුදෙන් ඇතුළු වන නැව්වලට ලාරක් දූපතට උතුරින් ගමන් කර පර්සියානු බොක්ක වෙත යාත්‍රා කළ හැකි බව සිතියමේ දැක්වේ.

    අනෙක් දිශාවට යාත්‍රා කරන නැව් වලට පර්සියානු බොක්කෙන් පිටත් වී ලාරක් දූපතට දකුණින් ගොස් ඕමාන් මුහුද දෙසට යා හැකියි.

  20. පකිස්ථාන ආරක්ෂක ඇමති ඊශ්‍රායලය ගැන තැබූ X සටහන මකා දමයි

    පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා තබා තිබු X ගිණුමේ සටහන මකා දමා තිබුණා.

    ඡායාරූප මූලාශ්‍රය, X

    ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහනේ දක්වා තිබුනේ නපුරු ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක් යනුවෙන්.

    ඉකුත් බදාදා (අප්‍රේල් 08) ලෙබනනයට එල්ල කළ මාරාන්නිතක ගුවන් ප්‍රහාර මාලාව පිළිබඳව ඊශ්‍රායලයට චෝදනා කරමින් පකිස්ථාන ආරක්ෂක ඇමති විසින් තම X ගිණුමේ පළකර තිබු සටහන මකා දමා තිබෙනවා.

    පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහනේ දක්වා තිබුනේ නපුරු ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක් යනුවෙන්.

    'නපුරු ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක්. ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා පැවැත්වෙන අතර වාරයේ දී ලෙබනනයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතිනවා. ඊශ්‍රායලය විසින් අහිංසක වැසියන්ව මරා දමනු ලබනවා. මුලින් ම ගාසා තීරය, ඊට පස්සේ ඉරානය සහ දැන් ලෙබනනයේ අඛණ්ඩව ලේ වැගිරීම් සිදුවනවා. යුරෝපීය යුදෙව්වන්ගෙන් මිදෙන්න පලස්තීන භූමියේ මෙම පිළිකාවක් වැනි රාජ්‍යය නිර්මාණය කළ මිනිස්සුන්ට සදහට ම විඳවන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා." යැයි පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා එම්. අසීෆ් තම X ගිණුමේ සටනනක් තබමින් සඳහන් කර සිටියා.

    එයට පිළිතුරු ලබා දෙමින් ඊශ්‍රායල් අගමැතිවරයාගේ කාර්යාලය X සටහනක් තබමින් කියා සිටියේ පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ඊශ්‍රායලය සමූලඝාතනය කරන ලෙස කළ ඉල්ලීම අතිශයෝක්තියට කරුණක් බවයි. මෙය කිසිදු රජයකින්, විශේෂයෙන් සාමය සඳහා මධ්‍යස්ථ බේරුම්කරුවෙකු යැයි කියා ගන්නා රජයකින් සිදුකළ හැකි ප්‍රකාශයක් නොවන බවයි.