රථවාහන වැරදි ගැන ඔබටත් 'ව්‍යාජ SMS එකක්' ලැබුණා ද?: govpay ඔස්සේ නිවැරදිව දඩ ගෙවන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
"මම වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඒත්, මට ඊයෙ SMS එකක් ආවා මාර්ග නීති උල්ලංඝනය කළා කියලා. ඒකෙ තිබුණා ලින්ක් එකක් ඒක හරහා දඩය ගෙවන්න කියලා. මම වාහනයක් පාවිච්චි නොකරන හින්දා ඒක ගණන් ගත්තෙ නෑ."
මේ අත්දැකීම අපට පැවසුවේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන මාධ්‍යවේදියෙකි.
එම SMS පණිවුඩය එවා තිබුණේ, +63 යන country code එක යටතේ ය. එම කේත අංකය පිලිපීනයට අයත් වේ.
මෙවැනි කෙටි පණිවුඩ තවත් විශාල පිරිසකට ලැබී ඇතැයි ඉහත කී මාධ්‍යවේදියා පසුව දැනගෙන තිබිණි.
ඒ අනුව, truecaller ඇප් එක ඔස්සේ අදාළ දුරකතන අංකය පිළිබඳව සොයා බැලුව ද, එහි හිමිකරුවෙකු පිළිබඳව තොරතුරක් නොලැබිණි.

'ජාවාරමක්'
මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ රථවාහන වැරදි සිදු කරන ලද බවට CCTV දර්ශන ඔස්සේ හඳුනාගත් බව පවසමින් ශ්‍රී ලංකා පොලිසියෙන් එවන ලද පණිවුඩයක් ලෙස දිස්වන ආකාරයට SMS හා WhatsApp ඔස්සේ ව්‍යාජ පණිවුඩ එවන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ය.
එම පණිවුඩය ඔස්සේ එවන වෙබ් සබැඳි ක්ලික් කිරීමෙන් ක්‍රමානුකූලව ඔබගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබාගෙන ඒ හරහා මුදල් සොරා ගැනීම් සිදුවිය හැකි බව පොලිසිය අනතුරු අඟවයි.
රථවාහන දඩ govpay.lk වෙබ් අඩවිය ඔස්සේ ගෙවිය හැක්කේ කෙසේ ද?
ඔබ සැබවින් ම මාර්ග නීති උල්ලංඝනය කළ අවස්ථාවකදී ඔබ ගෙවිය යුතු දඩ මුදල govpay ගෙවීම් ක්‍රමවේදය ඔස්සේ ගෙවීමෙන් දඩ කොළය දුන් ස්ථානයේදී ම ඔබේ රියැදුරු බලපත්‍රය ලබා ගත හැකි ය.
එම ක්‍රමවේදය ඔස්සේ දඩ ගෙවීමක් පියවරෙන් පියවර සිදු කරන ආකාරය මෙසේ ය.
- ඔබේ ගිණුම අයත් බැංකුවේ ඇප් එකට හෝ ඔන්ලයින් ඔස්සේ ලොග් වන්න.
- එහිදී ඔබට දක්නට ලැබෙන 'payments and transfers' මත ක්ලික් කරන්න. ඉන්පසු, 'government payments' යන්න දිස්වන අතර ඒ මත ක්ලික් කළ පසු ඔබගේ ජංගම දුරකතනයට රහස්‍ය අංකයක් ලැබේ.
- එය වෙබ් පිටුවෙහි එන අදාළ කොටුවෙහි සටහන් කළ විට govpay පද්ධතියට පිවිසිය හැකි ය.
- Govpay පද්ධතියට පිවිසි විට ඔබට පහත දැක්වෙන ආකාරයේ ආකෘති පත්‍රයක් දිස්වෙයි. එමආකෘති පත්‍රය පිරවීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Police
- එම ආකෘති පත්‍රය පිරවීමේදී රතු තරු සලකුණක් යොදා ඇති සියලු කොටුවල නිවැරදි තොරතුරු ඇතුළත් කළ යුතු ය. මෙහිදී ඔබ අනිවාර්යයෙන් දඩ කොළය නිකුත් කරන පොලිස් නිලධාරියාගෙන් පොලිස් රථවාහන දුරකතන අංකය ලබා ගත යුතු ය.
- ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු 'submit' කළ යුතු අතර, ඉන්පසු අදාළ බැංකුවේ ක්‍රමවේදය අනුව, OTP අංකය ඇතුළත් කර ගෙවීම සම්පූර්ණ කළ හැකි ය.
දඩ කොළය නිකුත් කළ ස්ථානයේදී ම ඔබ දඩ මුදල ගෙවුවහොත් එම ස්ථානයේදී ම ඔබට රියැදුරු බලපත්‍රය ආපසු ලබා ගත හැකි ය.
පසුව ගෙවුවහොත් අදාළ පොලිස් ස්ථානය වෙත ගොස් දඩ මුදල ගෙවූ බව සනාථ කළ හැකි ය.
ඉන්පසු පොලිස් නිලධාරියා ලබා දුන් දුරකතන අංකයට මුදල් ගෙවූ බවට කෙටි පණිවුඩයක් ලැබී ඇති දැයි පරීක්ෂා කිරීමෙන් පසුව ඔබට රියැදුරු බලපත්‍රය ආපසු භාර දෙනු ඇත.

































