ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් අප මෙතෙක් දන්නේ මොනවා ද?
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මියගොස් සිටියදී හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.
හිටපු පොලිස්පතිවරයාගේ දේහය මේ වන විට මුල්ලේරියාව රෝහලේ තබා ඇති අතර වැඩිදුර විමර්ශන මාලඹේ පොලිසිය සිදු කරන බව ඔහු සඳහන් කළේ ය. මියයන විට ඔහු 63 වන වියේ පසුවිය.
මරණය ගැන පොලිසිය කියන්නේ කුමක් ද?
මාලබේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පතිවරයා "වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන" මියගොස් ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
"දැනට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සූදානම් කරලා තියෙනවා. සිද්ධිය ගැන මාලබේ පොලිසිය කණ්ඩායම් දෙකක් යොදවලා විමර්ශන කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. නිවසේ අනිත් අය ඉඳලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා මේක සුයිසයිඩ් එකක් කියලා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දහවල් 1.00 ට නිකුත් කළ නිල නිවේදනයක සදහන් වන්නේ 'මාලබේ පොලිස් වසමට අයත් තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී අද (ජූලි 17) සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව' යි.
'එක පාර සද්දයක් ඇහුණා' - අසල්වාසීන්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවස ආසන්නයේ ජීවත් වන අසල්වාසියෙකු අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන් නිවසේ සිටියදී එකවර ඇසුණු ශබ්දයක් සමග ම කිසියම් අයෙකු කෑ ගසන ශබ්දයක් ද ඇසුණු බව ය.
"මට අසනීප වෙලා ගෙදර නිදාගෙන හිටියේ. උදේ 7.30ට විතර එක පාර සද්දයක් ඇහුණා. ඒ එක්ක ම කට්ටිය කෑගහන සද්දයක් ඇහුණා. මම එළියට ඇවිල්ලා බලද්දී වාහනේක දාගෙන අරන් යනවා දැක්කා. ගෙදර එයාලගේ කට්ටිය එහෙම ඉන්නවා," ඔහු පැවසුවේය.
තවත් අසල්වැසියෙකු අප සමග කියා සිටියේ, "මොකක් හරි පොඩි සද්දයක් ගියා... එච්චරයි, රතිඤ්ඤාවක් වගේ ගියා එච්චරයි," යනුවෙනි.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යනු කවුද?
2020 වසරේ නොවැම්බර් මස 27 වන දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පතිවරයා ලෙස එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද එය වේ.
1963 මාර්තු 26 වන දින උපත ලැබූ පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව 1986 ජූනි 16 වන දින ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පොලිස් බුද්ධි අංශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙසිනි.
ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.
ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය යන රටවලදී මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලිසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා ද ඔහු විසින් හදාරා ඇත.
පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් සේවය කළ ඔහු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙහෙයුම් කටයුතු සඳහා ද සිය දායකත්වය දක්වන ලදී.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ සමග ම සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ඔහු කටයුතු කරනු ලැබීය.
2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න කටයුතු කරන ලදී.
ඉතිහාසගත වූ පොලිස්පති
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩි ම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා වශයෙන් වාර්තා අතරට එක්වූ සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස අවස්ථා 13කදී වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කර තිබිණි.
2022 වසරේ මෙරට ඇතිවූ අරගලය සමයේදී පොලිස්පතිවරයා වශයෙන් ඔහු කටයුතු කරන ලදී.
වසර තුනක කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න 2023 වසරේ මාර්තු මස 25 වන දා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් නව පොලිස්පතිවරයෙකු පත් කෙරෙන තෙක් ඔහුට තවත් මාස 8කට ආසන්න කාලයක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙන ලද සේවා දිගුවට යටත්ව පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීමට සිදුවිය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් අනතුරුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් මස 11 වන දා සිය ධූරයෙන් විශ්‍රාම ගියේ ය.