එ.ජා. මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවෙන් හෙළි වන ප්‍රධාන කරුණු 5ක්

UN High commissioner for Human Rights Volker Turk delivers a speech during the 63rd session of United Nations (UN) Human Rights Council, in Geneva, on September 7, 2026. The United Nations rights chief warned Monday that artificial intelligence could pose an "existential threat to humanity", demanding immediate action to reduce the risks. "I share the concerns of industry insiders that advanced AI could pose an existential risk to humanity," Volker Turk said in an opening address to the UN Human Rights Council in Geneva, calling for "an all-out effort to put cast-iron guarantees in place around the safety and security of AI, before it is too late". (Photo by Fabrice COFFRINI / AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ජනවාර්ගික හා ආගමික දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සහ සංහිඳියාව සඳහා ජනාධිපති අනුර කුමාර දැක්වූ කැපවීම පෙර පැවති ආණ්ඩු සමග සැසඳීමේදී කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කළ නමුත් වෙනස්කම් සඳහා වූ ගමන් වේගය තවමත් නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණවලට පරිවර්තනය වී නොමැති අතර, සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධානය සඳහා වූ උත්සහයන් බොහෝ දුරට නවතා ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව පවසයි.

ජිනීවාහිදී සැප්තැම්බර් 3 වන දා නිකුත් කරන ලද එම වාර්තාවේ සඳහන් වන්නේ, මෙම ගැටලු දශක ගණනාවක් පුරා සමුච්චය වී ඇති බවත් ඒවාට දිගුකාලීන අවධානය අවශ්‍ය බවත් පිළිගන්නා අතර දිට්වා සුළි කුණාටුවේ බලපෑම සහ අනෙකුත් ආර්ථික කම්පන හේතුවෙන් සම්පත් සහ දේශපාලන අවධානය ද වෙනත් අංශ වෙත යොමු වී ඇති බවත් ය.

එවැනි පසුබිමක පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය ඇතුළු වැදගත් සිද්ධි කිහිපයක ප්‍රගතියක් තිබුණ ද, යුද්ධය අතරතුර සියලු පාර්ශව විසින් සිදු කරන ලද ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ, බරපතළ මානව හිමිකම් උල්ලංඝන සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතළ උල්ලංඝන සම්බන්ධයෙන් පිළිගැනීමක් හෝ වගවීමක් සිදු වී නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන් ම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් නිරීක්ෂණය කිරීම හා බිය ගැන්වීම ඇතුළු වගවීමේ උත්සහයන්ට ඇති දිගුකාලීන ව්‍යුහාත්මක බාධක සහ ගැඹුරින් මුල් බැසගත් දණ්ඩමුක්තිය, දේශීය ආයතන පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් දුර්වල කරන බව ද එහි දැක්වෙයි.

මහ කොමසාරිස්වරයාගේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය නායකත්වය දරන රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, වගවීම ඉදිරියට ගෙන යාම සහ ජනවාර්ගික වෙනස්කම් කිරීම හා බෙදුම්වාදී දේශපාලනයට විසඳුම් සෙවීම ඇතුළු පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට වූ ප්‍රතිඥා සමග බව ය.

මේ, එම වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු 5ක් පිළිබඳව සැකෙවින් කෙරෙන විමසා බැලීමකි.

1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

වත්මන් ආණ්ඩුව ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සහ ජාතිවාදය හෙළා දැකීම දිගට ම සිදු කළ ද, එය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පනත මත රඳා පවතින අතර, මූලික නිදහස් අයිතිවාසිකම්වලට බලපාන නීති අහෝසි කිරීමට හෝ සැලකිය යුතු සංශෝධන කිරීමට අපොහොසත් වී ඇතැයි මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දශක ගණනාවක් පැවති සිවිල් යුද්ධයේ වින්දිතයන් සහ ක්‍රියාකාරීන්, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල, තවදුරටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් ආවේක්ෂණය කිරීම, ප්‍රශ්න කිරීම සහ බිය ගැන්වීම්වලට මුහුණ දෙන බව ද වාර්තාව පෙන්වා දී ඇත.

එමෙන් ම, ජාතික ජන බලවේගය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් "සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන හා පරිපාලන බලය සෑම පළාතකට ම, දිස්ත්‍රික්කයකට ම සහ පළාත් පාලන ආයතනයකට ම බෙදා හැරීම" සඳහා පොරොන්දු වී තිබුණු අතර 2025 මැයි මාසයේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුව ද, 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණ 2014 සිට තවමත් පවත්වා නැතැයි ද එහි සඳහන් වෙයි.

එහි තවදුරටත් දැක්වෙන්නේ දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආණ්ඩුව වැදගත් පියවර ගෙන ඇති අතර, දේශපාලන ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ 2019 පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ හා ප්‍රධාන පෙළේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇතත් සන්නද්ධ ගැටුම් සමයේ රාජ්‍ය ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කළ බවට චෝදනා එල්ල වන ජාත්‍යන්තර අපරාධ සම්බන්ධ වගවීමේ ප්‍රගතිය තවමත් සැලකිය යුතු ලෙස නොපෙනෙන බව ය.

2. දිට්වා සුළි කුණාටුව, බටහිර ආසියාවේ සන්නද්ධ ගැටුම සහ ණය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2025 නොවැම්බර් 28 දින බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක භෞතික හානි සහ බිලියන 1.3ක ආර්ථික අලාභ සිදුව ඇති අතර, යථා තත්ත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

තව ද 2026 පෙබරවාරි 28 දිනෙන් පසු බටහිර ආසියාවේ සන්නද්ධ ගැටුමෙන් ඇති වූ අතුරු බලපෑම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ගෘහස්ථ ශුභසාධනයට අමතර පීඩනයක් එල්ල කළ බව වාර්තාවේ සඳහන් වෙයි. ශ්‍රී ලංකාවේ පවතින සීමිත මූල්‍ය ඉඩකඩ මෙන් ම ආහාර සහ පොහොර මිල ඉහළ යාමෙන් තත්ත්වය තවදුරටත් දුෂ්කර වූ බව එය පෙන්වා දී ඇත.

2026 මැයි මාසය වන විට, 2025 වසරේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය සියයට 22.1ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණු බව එහි දැක්වේ. දරිද්‍රතාව රට පුරා සමාන ලෙස පැතිරී නොතිබූ අතර, ව්‍යුහාත්මක වශයෙන් අවාසිසහගත ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල, දැඩි ආදායම් අහිමිවීම් සහ දුෂ්කරතා පවතින ප්‍රදේශ දක්නට ලැබුණු බව එමගින් පෙන්වා දී තිබේ. මෙය අවදානමට ලක්වීම සහ විවිධ ආපදා හා කම්පනවලට නිරාවරණය වීම අතර පවතින සම්බන්ධතාව ද පැහැදිලි කරන බව එහි සඳහන් වෙයි.

තවදුරටත් මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු කෙටි කාලය තුළ, 2025 දෙසැම්බර් මාසයේ ආහාර අනාරක්ෂිතභාව සියයට 32ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණු බව ය.

එය 2026 පෙබරවාරි වන විට සියයට 21 දක්වා අඩු වුව ද බලශක්ති මිල ගණන්වල හදිසි ඉහළ යාම හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය සහ පොහොර හිඟය නිසා කෘෂිකාර්මික නිෂ්පාදනයට එල්ල වූ අවදානම් හමුවේ, ගෘහස්ථ මට්ටමේ ආහාර සුරක්ෂිතතාව අවිනිශ්චිත තත්ත්වයක පැවති බව එහි දැක්වේ.

ඊට අමතරව 2026 අයවැයෙන්, රාජ්‍ය ආදායමේ සියයට 49.38ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6ක්) පොදු ණය සඳහා පොළී ගෙවීම් සඳහා වෙන් කර තිබුණු බවත් ප්‍රධාන ණය ආපසු ගෙවීම් ද ඇතුළත් කළ විට, මෙම අගය රාජ්‍ය ආදායමේ සියයට 82.59ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.7ක්) දක්වා ඉහළ යන බව වාර්තාව පෙන්වා දෙයි.

3. දූෂණ විරෝධී ක්‍රියාමාර්ග

2025 වසරේ අගභාගයේ සිට ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ප්‍රයත්නයන් තුළ නීතිමය ප්‍රතිසංස්කරණ, ආයතනික ශක්තිමත් කිරීම් සහ විමර්ශන හා නඩු පැවරීම්වල වැඩිවීමක් දක්නට ලැබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී තවමත් අසමානතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එහි තවදුරටත් දක්වා ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන ආරම්භ කර නඩු ගණනාවක් පවරා ඇති අතර, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ බව කියන ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ එයාර්බස් සමාගම අතර ගනුදෙනුවට අදාළ නව විමර්ශන ද ඇතුළත් වන බව ය.

ගල් අඟුරු මිල දී ගැනීම සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශන මෙන් ම, මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ද මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඉහළ අවධානයක් යොමු වූ ඇතැම් නඩුවල ප්‍රධාන සැකකරුවන් සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා වන අයුරින් මියයාම හේතුවෙන්, වගකීම තහවුරු කිරීමේ සහ වගවීම තහවුරු කිරීමේ උත්සහයන් සංකීර්ණ වී ඇතැයි වාර්තාව මගින් අවධාරණය කර තිබේ.

4. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත

රජය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) සංශෝධනය අවසන් කරමින් සිටින බව සඳහන් කළ ද, මුල් නීතිය තවමත් බලපැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එය "අසත්‍ය", "හානිකර" හෝ අපහාසාත්මක අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධ නඩු සහ විමර්ශන සඳහා අධිකරණ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවදුරටත් භාවිත කරන බව ද එහි දැක්වේ.

මෙම නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට යොදාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විය හැකි බව සඳහන් කරන මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ, එහි භාවිතය තාවකාලිකව අත්හිටුවන ලෙසත්, ඉන් අනතුරුව එය අහෝසි කර සිවිල් සමාජය සහ අදාළ විශේෂඥයින් සමග පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් සකස් කරන ලද වඩාත් ඵලදායී නීති සම්පාදනයක් මගින් එය ප්‍රතිස්ථාපනය කරන ලෙසත් නිර්දේශ කෙරුණු බව ය.

5. බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය

2026 මැයි මස මුලදී, 14 හැවිරිදි දැරියක පැහැරගෙන යාම සහ ඇයට නැවත නැවතත් ලිංගික අපයෝජනයට ලක් කිරීම යන චෝදනා මත ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමත් සමග, එවැනි චෝදනා සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් දක්වන ප්‍රතිචාර, විශේෂයෙන් ම විමර්ශන කටයුතු සිදු කිරීම සහ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ දැක්වේ.

පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300ක් පමණ ළමා අපයෝජන චෝදනාවලට ලක්ව ඇති බවත්, ඉන් 27 දෙනෙකුට පමණ එරෙහිව විධිමත් ලෙස චෝදනා ගොනු කර ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තා කර ඇති බව එම කාර්යාලය සිය වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ.

පිටු 16කින් සමන්විත මෙම වාර්තාවේ බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳව අවධානයට ලක් කෙරෙන අතර ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ඇතුළු සංකේතාත්මක වැදගත්කමක් සහිත සිද්ධීන් ද ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ සියලු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කිරීම, ධාරිතාවන් ශක්තිමත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීම සහ වින්දිතයින්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත.