ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්ථාන රෝහලක මාතෘ හා ළමා ඒකකයේ ගින්නකින් අලුත උපන් බිළිඳන් 14 දෙනෙකු මරුට
පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ මාතෘ ඒකකයක හටගත් ගින්නකින් පසු අවම වශයෙන් ළමුන් 14 දෙනෙකු මියගොස් තිබේ. ගින්න ඇති වූ අවස්ථාවේ එම වාට්ටුව තුළ අලුත උපන් බිළිඳන් 15 දෙනෙකු සිට ඇත.
එක් අලුත උපන් බිළිඳෙකු බේරා ගැනීමට හැකි වූ බව PIMS හි ප්‍රකාශිකාවක වන වෛද්‍ය අනීසා ජලීල් බීබීසීයට තහවුරු කළාය.
PIMS යනු පකිස්ථානයේ අගනුවර පිහිටි රාජ්‍ය පාලිත විශාලතම රෝහල්වලින් එකකි. එම මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) ඒකකයේ ඇඳන් 156ක් ඇති බව එහි වෙබ් අඩවිය සඳහන් කරයි.
මූලික වාර්තා අනුව, ගින්න රෝහලේ තෙවැනි මහලේ පිහිටි MCH වාට්ටුව වෙත ඇවිලී තිබේ.
හදිසි ප්‍රතිචාර කණ්ඩායම් පවසන්නේ රෝහලෙන් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
ඔවුන් අතර කාන්තාවන් 10 දෙනෙකු, ළමුන් හත්දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ඇතුළත් වේ.
ගලවාගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ ගින්න මේ වන විට පාලනය කර ඇති බවත් තුවාල ලැබූවන් දැඩි සත්කාර ඒකකය (ICU) වෙත රැගෙන ගොස් ඇති බවත් ය.
පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් රෝහලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සිය "ගැඹුරු කණගාටුව සහ හෘදයාංගම සංවේගය" පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
අගමැති කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයට අනුව හෙතෙම බලධාරීන්ට "වහාම විමර්ශනයක් සිදු කරන ලෙස" උපදෙස් දී ඇත.
"දරුවන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් ආපසු නිවැරදි කළ නොහැකි එකක්," යනුවෙන් එම ප්‍රකාශය තවදුරටත් සඳහන් කරයි.
"අහිංසක දරුවන්ගේ පවුල්වලට තම හෘදයාංගම ශෝකය" පළ කරමින්, "මෙම ශෝචනීය සිදුවීමෙන් තම සිත දැඩි ලෙස ශෝකයට පත්ව ඇති බව" ද එහි සඳහන් කර ඇත.
නිල ලේඛනයකට අනුව, ඉස්ලාමාබාද් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ගින්න පිළිබඳ විමර්ශනය සඳහා කරුණු සොයා බැලීමේ කමිටුවක් පත් කර ඇති අතර එය "පැය 24ක් ඇතුළත" වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
ගින්නට හේතු වූ කරුණු සොයා බැලීම සහ තත්ත්වය පිළිබඳ කරුණු තහවුරු කිරීම එම කමිටුව වෙත පැවරී ඇත.
මෑත වසරවලදී පකිස්ථානය ප්‍රධාන ගිනි අනතුරු ගණනාවකට මුහුණ දී ඇත.
පසුගිය ජනවාරි මාසයේදී, පකිස්ථානයේ විශාලතම නගරය වන කරාචිහි 'Gul Plaza' වෙළෙඳ සංකීර්ණය තුළ ගින්නක් පැතිර ගොස් පුද්ගලයන් 67 දෙනෙකු මියගොස් තිබේ.
2021 වසරේ කරාචිහි නේවාසික ප්‍රදේශයක පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇත
තවද, 2012 වසරේදී, කරාචිහිම කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් කම්කරුවන් 300කට ආසන්න පිරිසක් මියගියහ. එම ගොඩනැගිල්ලේ ගිනි හදිසි පිටවීම් මාර්ග නොතිබූ අතර කම්කරුවන් ලෝහ දැල් පිටුපස සිරවී සිටියහ.
මෙම ගිනි අනතුරුවලදී සිදුවූ ඉහළ මරණ සංඛ්‍යාව සඳහා ගොඩනැගිලි ආරක්ෂක නීති ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතු වී ඇතැයි චෝදනා එල්ල වී ඇත.