ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාව සහ ඉරානය අතර සටන්විරාමය ඇති කිරීමට මැදිහත්වූ පකිස්ථාන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් යනු කවුද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
පකිස්ථානයේ මැදිහත්වීම යටතේ ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමය තහවුරු කිරීමත් සමග පකිස්ථාන අග්‍රාමාත්‍යවරයගේ සහ පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ගේ කාර්යභාරය ගැන කතාබහක් නිර්මාණය වී තිබේ.
ජනාධිපති ට්‍රම්ප් විසින් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළේය.
ඉරානය සහ ඇමෙරිකාව අතර එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතිණි.
ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියේ ; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා." යනුවෙනි.
ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළේය. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.
ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.
මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බව ඇතැම් විශ්ලේෂකයින් යෝජනා කළේය.
ඇමෙරිකාවේ සිට ඉන්දියාවට තර්ජනය කළ 'පකිස්ථානයේ බලවත් ම පුද්ගලයා' ලෙස සැලකෙන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්
පකිස්ථානයේ වර්තමානයේ සිටින බලවත් ම පුද්ගලයා ලෙස සැලකෙන එරට යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ගැන 2025 වසරේ අගෝස්තු මාසයේදී කතා බහක් නිර්මාණය වූයේ ඔහු කළ බව කියන 'න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක්' සමග ය.
"අපි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටක්, අපි විනාශ වෙනවා කියලා අපිට හැඟෙනවා නම්, ලෝකයෙන් අඩක් අපිත් එක්ක ම විනාශ කරනවා," යනුවෙන් පකිස්ථාන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇමෙරිකාවේදී පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඉන්දියාව "කලාපය තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට තවමත් අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඕනෑ ම ආක්‍රමණයකට සුදුසු ප්‍රතිචාරය දක්වන බව පකිස්ථානය පැහැදිලි කර තිබෙනව," යනුවෙන් එක්සත් ජනපදයේ සංචාරයක යෙදී සිටින ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් පවසා ඇතැයි, පකිස්ථාන හමුදා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඉන්දියාවේ "වෙනස්ව සැලකීමේ සහ දෙබිඩි ප්‍රතිපත්තිවලට" එරෙහිව පකිස්ථානය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික සටනක් කළ බව ද ඇමෙරිකාවේ සිටින පකිස්ථාන ප්‍රජාව අමතමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසා තිබේ.
ඉන්දියාවෙන් දැඩි ප්‍රතිචාර
පකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානියා එක්සත් ජනපද සංචාරයක යෙදී සිටියදී කළ බවට වාර්තා වන ප්‍රකාශ කෙරෙහි තම අවධානය යොමුව ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
"තුන්වන මිත්‍ර පාක්ෂික රටක භූමියේ සිට ඔහු මෙම ප්‍රකාශ සිදු කිරීම කණගාටුවට කරුණක්. න්‍යෂ්ටික තර්ජනවලට හිස නොනමන බව ඉන්දියාව දැනටමත් පැහැදිලි කර තිබෙනවා. අපගේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර අපි අඛණ්ඩව ගන්නවා," යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේ ය.
"න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම පකිස්ථානයේ පුරුද්දක්" බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මාස 3ක් තුළ ඇමෙරිකාවේ දෙවන සංචාරය
ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මාස 3ක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානයේ 15 වන අණදෙන නිලධාරී ජෙනරල් මයිකල් කුර්ලාගේ සමුගැනීමේ උත්සවයකට සහභාගී වීම සඳහා මුනීර් මෙවර එක්සත් ජනපදයේ සංචාරයක නිරත විය.
මුනීර්ට පකිස්ථානයේ ඇති බලය
දේශපාලනයට අත පෙවීම, ආණ්ඩු පත් කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන හමුදාවට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වී ඇති අතර, එරට බලවත් ම පුද්ගලයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සැලකෙයි.
පකිස්ථාන හමුදාව එරට තුළ බලගතු සංවිධානයක් වන බැවින්, පකිස්ථානයේ බලවත් ම පුද්ගලයා රජයේ ප්‍රධානියා නොව හමුදා ප්‍රධානියා ලෙස තවමත් පුළුල් ලෙස සලකනු ලබයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ජූනි 18 වන දා ධවල මන්දිරයේදී පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් මුනීර්ව පිළිගනු ලැබිණි.
ඒ, ඇමෙරිකාව ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඇතුළු න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට දින කිහිපයකට පෙර ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්වීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා නම් කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ජනපති ට්‍රම්ප් විසින් ෆීල්ඩ් මාර්ෂල් මුනීර්ව ධවල මන්දිරයේදී පිළිගනු ලැබූ බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී පැවසුවා ය.
පකිස්ථාන ඉතිහාසයේ දෙවන ෆීල්ඩ් මාර්ෂල්වරයා
ජෙනරාල් මූනිර් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අසීම් මුනීර් ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස්වීම් ලැබුවේ, පසුගිය මැයි මාසයේදී ය.
කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසු ඉන්දියාව 2025 වසරේ මැයි 6 -10 අතර කාලයේදී පකිස්ථානයට එල්ල කළ ප්‍රහාරයේදී ඊට පකිස්ථානය ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීය.
එහිදී හමුදාවට දුන් නායකත්වය හේතුවෙන් ජෙනරල් මුනීර් ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමට පකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
පකිස්ථාන ඉතිහාසය තුළ පත්වූ දෙවන ෆීල්ඩ් මාර්ෂල්වරයා වන්නේ අසීම් මූනිර් ය.
1947දී නිදහස ලැබීමෙන් පසු, පකිස්ථානයට හමුදා ප්‍රධානීන් 17 දෙනෙකු සිට තිබේ. මුනීර් යනු අයුබ් ඛාන්ට පසුව ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කරන ලද දෙවැන්නා ය.
අයුබ් ඛාන් 1951දී හමුදා ප්‍රධානියා බවට පත්වූ අතර 1958දී හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගත්තේ ය. වසරකට පසුව, ඔහු නව හමුදා ප්‍රධානියා ලෙස ජෙනරල් මූසා ඛාන් පත් කරන අතරතුර, තමාව ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කර ගත්තේ ය.
හමුදා ජීවිතය
වයස අවුරුදු 50 ගණන්වල අගභාගයේ සිටින ෆීල්ඩ් මාර්ෂල් මුනීර්, පාසල් විදුහල්පතිවරයෙකුගේ සහ ආගමික විශාරදයෙකුගේ පුත්‍රයෙකි.
ඔහු 1986දී මංගලාහි හමුදා නිලධාරීන් පුහුණු පාසල හරහා හමුදාවට බැඳුණු අතර, හොඳ ම දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරවණීය කඩුව දිනා ගත්තේ ය. අනතුරුව ඔහු 23 වන දේශසීමා බළකා රෙජිමේන්තුවට අනුයුක්තව අධිකාරී නිලයට පත් කෙරිණි.
දශක හතරකට ආසන්න කාලයක් පුරා, මුනීර් කාශ්මීරය ආශ්‍රිත පාකිස්ථානයේ සංවේදී උතුරු දේශසීමා ප්‍රදේශයේ හමුදාවන්ට අණ දී, එහි බුද්ධි අංශ මෙහෙයවන ලද අතර, ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා සෞදි අරාබියේ ද සේවය කර තිබේ.
ඔහු ඉස්ලාමාබාද්හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සහ උපායමාර්ගික ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ජපානයේ සහ මැලේසියාවේ හමුදා පුහුණු ආයතනවල ද ඉගෙනුම ලබා ඇත.
මුනීර් 2022 නොවැම්බර් මාසයේදී පකිස්ථානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානියා බවට පත්වූ අතර, දේශපාලන කැළඹීම්, ආර්ථික අර්බුද සහ රාජ්‍ය පාලනයේදී හමුදාවේ භූමිකාව පිළිබඳ ඇති මහජන කලකිරීම් මධ්‍යයේ ඔහු එම ධූරයට පත්විය.
ඔහුගේ පත්වීම මාස ගණනාවක් පුරා පැවති ප්‍රමාදයකින් පසු සිදුව තිබූ අතර, බොහෝදුරට එවකට අගමැති ඉම්රාන් ඛාන් සමඟ ඇති වූ මතභේදය හේතුවෙන් එලෙස සිදුව තිබිණි.
මුනීර් පකිස්ථානයේ (ISI) ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා ලෙස මාස අටක් පමණක් සේවය කර තිබූ අතර, ඉම්රාන් ඛාන් ඔහුව ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි එය ඉතා පෞද්ගලික සහ දේශපාලනික පියවරක් ලෙස සැලකිණි.
අද වන විට, ඉම්රාන් ඛාන් සිර දඬුවම් විඳිමින් සිටින අතර මුනීර් රටේ බලවත් ම පුද්ගලයා බවට පත්ව සිටියි.
මුනීර් ඔහුගේ පූර්වගාමියා වූ කමාර් ජාවෙඩ් බජ්වාට වඩා ස්වභාවයෙන් සහ ප්‍රවේශයෙන් වෙනස් අයෙකු ලෙස බොහෝ විචාරකයින් විසින් සලකනු ලැබේ.
මුනීර් ධූරය භාර ගත් දා සිට බොහෝදුරට ප්‍රසිද්ධියේ කතා කර නොමැත, නමුත් ඔහුගේ එක් ප්‍රකාශයක් පුළුල් අවධානයක් දිනා ගත්තේ ය.
ඉකුත් වසරේ අප්‍රේල් 17 වන දින, ඔහු ඉස්ලාමාබාද්හි රැස්වීමකදී පවසා තිබුණේ, "අපි සෑම ආකරයකින් ම හින්දු භක්තිකයන්ගෙන් වෙනස්" බව ය.
"ඉන්දියානු ආක්‍රමණයට එරෙහි වීරෝධාර අරගලයේදී පකිස්ථානය කිසිවිටෙකත් කාශ්මීරය අත් නොහරින" බව ඔහු තහවුරු කළේ ය.
මුනීර් වසර මුලදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබූ අතර ඇතැමුන් සිතන්නේ ඔහු තම පූර්වගාමියාට වඩා දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ඇති බව ය.
පසුගිය වසරේ පෙබරවාරි 5 වන දින කාශ්මීර සහයෝගීතා දිනයේදී මුසෆරාබාද්හිදී අදහස් ඔහු මෙසේ ප්‍රකාශ කළේ ය: "පකිස්ථානය දැනටමත් කාශ්මීරය වෙනුවෙන් යුද්ධ තුනක් කරලා තියෙනවා, තවත් යුද්ධ 10ක් ඕනේ නම්, පකිස්ථානය ඒත් සටන් කරනවා."