'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්

The Odyssey

ඡායාරූප මූලාශ්‍රය, Universal Pictures

    • Author, කැරින් ජේම්ස්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.

ට්‍රෝජන් අශ්වයාගේ ඇතුළතින් දුගඳක් හමන්නට ඇතැයි යන්න The Odyssey නැරඹීමට පෙර මා කිසි දා නොසිතූ දෙයකි. විෂය පථය සහ අරමුණ අතින් දැවැන්ත නිර්මාණයක් වන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටය ගත් කල, කිසිදු කොටසක් ඉතා කුඩා නොවන අතර කිසිදු ක්‍රියාවක් ඉතා විශාල ද නොවේ.

හෝමර්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි මෙම කාව්‍යය යනු බටහිර සාහිත්‍යයේ මුල්ගල ලෙස හෝ, පාසලේදී අකමැත්තෙන් වුව ද සිදු කළ යුතු වූ පැවරුමක් ලෙස ඔබ සිතනවා විය හැකි ය. ඇතැම්විට ඒ දෙක ම විය හැකි ය. නමුත් නෝලන්ගේ මෙම විශිෂ්ට අනුවර්තනය පැහැදිලිව ම සම්භාව්‍ය සාහිත්‍ය පාඩමකට වඩා ක්‍රියාදාමවලින් පිරුණු සිනමා නිර්මාණයකි.

එය සැබෑ ම ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයකි. යුක්තිය සොයා යන බැට්මෑන්ගේ සිට පරමාණු බෝම්බයේ පියා ලෙස හෘද සාක්ෂියෙන් පීඩා විඳි ඕපන්හයිමර් දක්වා නෝලන්ගේ සදාචාරාත්මකව පුළුල් වීරයන්ගේ ලැයිස්තුවට ඔඩිසියස් ද හොඳින් ම ගැලපෙයි.

හෝමර්ගේ අපගමනයන්, පැහැදිලි, රේඛීය නොවන ආඛ්‍යාන නෝලන්ගේ රුචිකත්වයට ගැලපේ. ඔහු ට්‍රෝජන් යුද්ධයෙන් පසු ඔඩිසියස්ගේ වසර 10ක් පුරා රාජධානිය බලා යන ගමන පෙන්වන අතර ම, අතීතය සහ වර්තමානය අතර ගමන් කරයි.

මෙම චිත්‍රපටය වෙනුවෙන් ගොඩනැගුණු බලාපොරොත්තුව ද, ඔඩිසියස්ගේ ගමන තරම් ම දීර්ඝ එකක් සේ දැනිණි. මීට වසරකට පෙර ප්‍රවේශපත් අලෙවිය ආරම්භ වූ මොහොත මතක ද? නමුත් නෝලන් අවසානයේ සිදු කර ඇත්තේ කුමක්දැයි අපට දැන් දැක ගැනීමේ හැකියාව ඇත. ඔහුගේ මෙම අතිවිශිෂ්ට, ප්‍රවේශමෙන් නිර්මාණය කර ඇති සිනමා පටයෙන් මතු වන කැපී පෙනෙන කරුණු කිහිපයක් මෙහි දැක්වේ.

1. 'ආකර්ෂණීය' වීරයෙක්

ඩේමන් කුමන භූමිකාවක් රඟපානවා වුවත්, ඔහු තම චරිතය බුද්ධිමත් හා කල්පනාකාරී ලෙස පෙනෙන පරිදි නිරූපණය කරයි. ඔහු ජේසන් බෝර්න් ලෙස සිදු කළ ආකාරයට ම, ඔඩිසිහි ඔඩිසියස් ලෙස ඔහුගේ හොඳ ම රංගනයන්ගෙන් එකක නිරත වෙයි. දෙවිවරුන් සහ රාක්ෂයන් හමුවන සහ ඉතා නිර්භීත හා දක්ෂ මිනිසෙකු වන ඔහු සමහර විට දෙවියෙකු ලෙස පෙනෙයි.

සතුරෙකුට කඩුවකින් පහරදීමට පසුබට නොවන මෙම රණශූරයා ඔහු විසින් අණ දෙනු ලබන සෙබළුන්ගේ ඉරණම විසඳීමට, තමා විසින් ගනු ලබන දෙවියෙකුට සමාන තීරණවල ප්‍රතිඵල සමග පොරබදයි. ඔහු බොරු කීමෙන් වැළකී සිටින්නෙකු ද නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිරයට ගොස් එන තරම් අභියෝගාත්මක වූ මෙම ගමනේදී, හේඩීස්හි පාතාල ලෝකයේදී ටයිරේසියස් නම් ඍෂිවරයා ඔහුට පවසන්නේ, ඔහුගේ සියලු සෙබළුන් මියයන චරිබ්ඩිස් නමැති දියසුළිය දෙසට නැව පදවනවා ද, නැතහොත් හය දෙනෙකු පමණක් මරා දමන සිල්ලා නමැති රක්ෂසයා දෙසට පදවනවා ද යන්න තෝරා ගන්නා ලෙස යි. ඔහු ඔවුන් වෙනුවෙන් රහසින් ම එම තීරණය ගනී. චිත්‍රපටයේ ක්‍රියාදාම මෙන් ම එහි ඇති සදාචාරාත්මක බර ද රැගෙන යන ඩේමන්, එහි සෑම හැරවුමකදී ම ප්‍රේක්ෂකයා වසඟයට පත්කරයි.

ට්‍රෝයි සටන

ඡායාරූප මූලාශ්‍රය, Universal Pictures

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රපටයේ අවසානයට ආසන්නව, ඔඩිසියස්ට ට්‍රෝයි සටන සහ එහි සිදුවූ සියලු ප්‍රචණ්ඩත්වයන් සහ අවුල්සහගත තත්ත්වයන් සිහිපත් වෙයි

2. 'දැවැන්ත' ක්‍රියාදාම දර්ශන

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එකකට පසු එකක් ලෙස දිගහැරෙන ප්‍රබල රංග ජවනිකා පෙළක් පුරා, ඔඩිසියස්ගේ ගමනේ පරිමාණය මෙන් ම දෙවියන් ඉදිරියේ බලරහිත මනුෂ්‍යයන් සිටින ආකාරය පෙන්වා දීමට නෝලන් සිය IMAX කැමරා භාවිත කරයි. චිත්‍රපටයෙන් වැඩි කොටසක් දිග හැරෙන්නේ, පුළුල් ක්ෂිතිජයක් සහ ඔඩිසියස් ඇතුළු පිරිස රැගෙන යන නෞකාව කුඩා කර පෙන්වන දැවැන්ත පර්වතවලින් වට වූ නිල් පැහැති මුහුදක ය. චිත්‍රපටය කෙතරම් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගන්නේ ද පවසන්නේ නම් අප ඔවුන් සමග එම නෞකාවේ සිටිනවා වැනි හැඟීමක් ඇති කරවයි.

චිත්‍රපටයේ දැවැන්ත ක්‍රියාදාම දර්ශන ද අතිශයින් ආකර්ෂණීය වේ. සෑම කඩුවක්, හෙල්ලයක් සහ ඊතලයක් ම ඉතා නිවැරදිව සැලසුම් කර ඇත. පරිගණකයෙන් දර්ශන නිර්මාණය කරන[CGI] තාක්ෂණය අවම වශයෙන් භාවිත කරමින් සැබෑ දෘශ්‍ය ප්‍රයෝග යොදාගෙන තිබීම නිසා එම දර්ශන වඩාත් විස්මිත බවක් ගනී. ට්‍රෝයි සටන කොටස් දෙකකින් නිරූපණය කෙරෙන අතර, ඉන් පළමුවැන්න ඔඩිසියස් සහ ඔහුගේ පිරිස දැවැන්ත අශ්ව රූපය තුළින් පිටතට පැමිණෙන අවස්ථාව යි. කතාවේ අවසාන භාගයේ එන විශේෂයෙන් ම සිත්ගන්නාසුලු දර්ශනයකදී, ගොඩනැගිලි කඩා වැටෙන අයුරු සහ "ගින්න, අවුල්සහගත බව හා වේදනාව" ලෙස ඔහු විසින් ම හඳුන්වනු ලබන ප්‍රචණ්ඩත්වය දෙස බලා සිටියදී, ඔහු එම සටන එහි පැවති උග්‍ර කෝපය හා වේදනාව සමගින් නැවත සිහිපත් කරයි.

සැබෑ ම ගුහාවක රූගත කර ඇති, විශාල රාක්ෂයා විසින් සොල්දාදුවන්ගේ හිස් සපා කන දර්ශනය ඉතා බියජනක ය. අනෙකුත් සියලු ම සටන් දර්ශන මෙන් ම මෙයට ද නිශ්චිත හේතුවක් ඇත. එනම් දිවි බේරාගෙන ගැලවී යාම සඳහා සැලසුම් කිරීමේදී ඔඩිසියස්ගේ ඇති බුද්ධිමත් බව එමගින් පෙන්නුම් කිරීම ය.

3. සිනමා තරු රැසක්

කුඩා චරිත සඳහා වුව ද දායක වීමට කැමති ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ගෙන් සිය පිරිස සපයා ගැනීමට නෝලන් කටයුතු කර ඇත. ඔඩිසියස්ගේ චරිතයට සාපේක්ෂව ඒවා සියල්ල ම කුඩා චරිත වුව ද, ඉතා උද්‍යෝගයෙන් යුතුව නිරූපණය කර තිබේ. ඔහුගේ බිරිඳ වන පෙනිලෝප් ලෙස ඈන් හැතවේ කැපී පෙනෙන රංගනයක නිරත වන අතර ඇය මෙහිදී ඉවසිලිවන්ත, බියගුලු තැනැත්තියක් නොවේ. කිරුළ ලබා ගැනීමට තරග වදින ඈ සමග විවාහ වීමට බලාපොරොත්තු වූවන්ගෙන් වට වූ මෙම බුද්ධිමත් රැජිණ, තමා මුහුණ දී සිටින අනතුරුදායක තත්ත්වය පිළිබඳව කෝපයෙන් අදහස් දක්වයි. සටන සඳහා ඇය සහ ඔවුන්ගේ බිළිඳු පුත්‍රයාව අතහැර යාමට පෙර ඇය සිය සැමියා සමග පවත්වන සමීප සංවාදය, මෙම චිත්‍රපටයේ තවදුරටත් භාවිත කළේ නම් යන හැඟීම ගෙන දෙන ආකාරයේ ජවනිකාවකි.

තරුණ වියේ පසු වන ඔවුන්ගේ පුතු වන ටෙලිමාකස් ලෙස ටොම් හොලන්ඩ්ට හිමිව ඇති චරිතය ලියැවී ඇත්තේ අඩුවෙනි. නමුත්, ඔඩිසියස්ට පක්ෂපාතී අන්ධ ඌරන් බලා ගන්නෙකු ලෙස ජෝන් ලෙගුයිසාමෝ දක්වන රංගනය ප්‍රේක්ෂයාට සමීපවනසුලු ය. පෙනිලෝප්ගේ අත පතා පැමිණෙන ප්‍රධාන තැනැත්තා වන ඇන්ටිනෝස්ගේ චරිතයට රොබට් පැටින්සන් අහංකාර සහ කපටි ස්වරූපයක් එක් කරන අතර, සර්සි නම් මායාකාරිය ලෙස සමන්තා මෝට්න් භයංකාර රංගනයක නිරත වේ. කරුණාවන්ත ඇතීනා දෙවඟන ලෙස සෙන්දයා සන්සුන් ලෙස විටින් විට මතු වී එයි. ට්‍රෝයිහි විනාශයට පත්වූ හෙලන් සහ ඇගේ මිනීමරු සහෝදරිය වන ක්ලයිටෙම්නෙස්ට්‍රා ලෙස රඟපාන ලුපිටා න්යොන්ගෝ වැනි, චිත්‍රපටයේ ඉතා කෙටි වෙලාවක් පමණක් පෙනී සිටින තරුවලට පවා රඟපෑමට ප්‍රබල දර්ශන කිහිපයක් ලැබී ඇත.

The film features several leading actors with relatively small roles, like Zendaya as Athena (Credit: Universal Pictures)

ඡායාරූප මූලාශ්‍රය, The Odyssy

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා චරිත සඳහා වුව ද දායක වීමට කැමති ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ගෙන් සිය පිරිස සපයා ගැනීමට නෝලන් කටයුතු කර ඇත

4. 'බලපෑම්සහගත' කතාන්දර කීමේ ශෛලිය

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටය, අතීතය සහ වර්තමානය අතර මතකයන් සහ විවිධ චරිත විසින් පවසන ලද කතා හරහා ගමන් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඇත්ත වශයෙන් ම සිදුවූයේ කුමක් දැයි දැන ගැනීම සමහර විට දුෂ්කර ය. දෙබස්වල ඕනෑවට වඩා පැහැදිලි කිරීම් සමග තරමක් මන්දගාමී ආරම්භයකින් පසුව, චිත්‍රපටය හොඳ වේගයක් පවත්වා ගෙන යන අතර ඉතිරි පැය තුන ඉක්මනින් ගෙවී යයි.

අවසානයේදී, මෙම කතාව ප්‍රබල සදාචාරාත්මක පණිවිඩයක් ගෙන එයි. අන් අය තමන්ට සලකනවාට කැමති ආකාරයට ම අන් අයටත් සැලකීම යන ක්‍රිස්තු ධර්මයේ එන 'රන් අණ' (the golden rule) වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන වූ සියුස් දෙවියන්ගේ නීතිය මෙහි ප්‍රධාන තේමාවකි. මෙම නීතිය උල්ලංඝනය කිරීම ඔඩිසියස්ට අහිතකර ලෙස බලපාන අතර, චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ සිත්වලට සමීප කරවීම සඳහා නෝලන් එම කරුණ යොදා ගනී. ඔඩිසියස් අවට පරිසරය දෙස බලමින්, තමන්ව ම නිවැරදි කර ගත යුතු සහ වීරයන් අවංක හා නිර්භීත විය යුතු බව සිහිපත් කළ යුතු බිඳ වැටුණු සමාජයක් ගැන කතා කරන විට, නවීන ලෝකය පිළිබඳව පවතින බිය සහ අවිනිශ්චිතතාව මෙම චිත්‍රපටය තුළින් මනාව නිරූපණය වේ.

5. එය ප්‍රේක්ෂකයින්ගේ අපේක්ෂා සපුරාලන්නේ ද?

බොහෝදුරට එය සිදුව තිබේ. මෙම නිර්මාණයේ ඇති දැවැන්ත පරිමාණය හමුවේ ප්‍රේක්ෂකයා එහි අන්තර්ගතය අතර අතරමං වීමට ඉඩ ඇත. නමුත් ඇතැම් අවස්ථාවලදී එහි අඩංගු ක්‍රියාදාමයන් නිසා චිත්‍රපටයේ මතු විය යුතු හැඟීම් යටපත් වන අතර, එම හැඟීම් ප්‍රමාණවත් තරම් ප්‍රබල නොවීම මෙන් ම ඒවා ප්‍රමාද වී මතු වීම ද අඩුපාඩුවකි. එක් කතාවක් කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කර ඇති ඕපන්හයිමර් තවමත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ හොඳ ම චිත්‍රපටය යි. නමුත් එහි අඩුපාඩු තිබියදීත්, The Odyssey මායාව, හැඟීම් සහ මනුෂ්‍යත්වයෙන් පිරී ඇති අතර, එය මට නැවත නැරඹීමට අවශ්‍ය චිත්‍රපටයක් බවට පත් කරයි.