අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Pasindu Eshara Madhuranga / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ.
පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.
මෙම වීඩියෝව මේ වන විට 32,000කට ආසන්න පරිශීලක ගණනක් විසින් බෙදා ගනු ලැබ ඇති අතර පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මෙම ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍ය පුරා ද විරෝධයක් පළවෙමින් ඇත.
පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.
මෙම සිද්ධිය පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
වීඩියෝවේ අනතර්ගතව ඇත්තේ කුමක් ද?
පොලිසිය: අපි චෙක් කළේ අයිඩෙන්ටිය තියෙනවා ද කියලා.
තරුණයා: අයිඩෙන්ටිය නෙමේ සර්, අයිඩෙන්ටිය ගෙනත් දෙන්න පුළුවන්නේ. ඔයාට අයිතියක් තියෙනවා ද මෙහෙම ගහන්න?
මේ, මෙම වීඩියෝව සජීවීව ෆේස්බුක් ඔස්සේ විකාශය කරන පසිඳු නමැති තරුණයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඇතුළු වී තම පියාට පහර දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කරන ආකාරයයි.
එම අවස්ථාවේදී ඔහුගේ පියා, ප්‍රශ්න කිරීමට ලක්වන රතු පැහැති කමිසයක් සහිත සිවිල් ඇඳුමකින් සැරසී සිටින පොලිස් නිලධාරියෙකු ඉදිරියේ අසුන් ගෙන සිටින අතර, පියාගේ මුඛ ප්‍රදේශය තුවාල වී ඇති බව නිරීක්ෂණය වේ. ඒත් සමග එම පොලිස් නිලධාරියා නැගිට මෙම තරුණයාට එම ස්ථානයේ පිටවන ලෙස පවසන ආකාරය වීඩියෝවේ සටහන් වී ඇත.
නමුත් තරුණයා "මම යන්නේ නෑ," යනුවෙන් පවසමින් ඊට විරුද්ධ වන අතර තත්ත්වය උණුසුම් වන අයුරු පෙනේ.
අනතුරුව රතු පැහැති කමිසයක් සහිත සිවිල් ඇඳුමකින් සැරසී සිටින පොලිස් නිලධාරියෙකු මෙම තරුණයා සමග පොරබදා ඔහු එම ස්ථානයේ ඉවත් කිරීමට උත්සහ කරන අයුරු දැක්වෙන අතර එම අවස්ථාවේ තරුණයා අතැති මෙම වීඩියෝව සජීවීව විකාශය කරන දුරකතනය බිමට වැටෙණු දක්නට ලැබේ.
පසුව සිවිල් ඇඳුමින් සැරසී සිටින වෙනත් පොලිස් නිලධාරියෙකු පැමිණ එම දුරකතනය අතට ගෙන වෙනත් ස්ථානයකින් තබණු පෙනේ. නමුත් සජීව විකාශය නොනවත්වා සිදුවන අතර පොලිස් නිලධාරීන් සහ අදාළ තරුණයා අතර සංවාදය ද අඛණ්ඩව සිදුවන අයුරු ශ්‍රවණය වේ.
'ID එක ළග තිබුණේ නෑ කියලා මෙච්චර අමානුෂික විදිහට පහර දීලා තියෙන්නේ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම වීඩියෝවෙන් පසුව ෆේස්බුක් ගිණුමේ සටහන් කිහිපයක් තබමින් පසිදු එෂාර මදුරංග සඳහන් කර ඇත්තේ නිවස ආසන්නයේදී තම පියාව අම්බලන්ගොඩ පොලිසිය විසින් බීමත්ව සිටි බවට චෝදනා කරමින් ජාතික හැඳුනුම්පත සන්තකයේ නොතිබුණ බවට පවසා අමානුෂික ලෙස පහර දී ඇති බව ය.
එම අවස්ථාවේ දී තම පියා බීමතින් නොසිටි බවත් ජාතික හැඳුනුම්පත නිවසේ ඇති බව පැවසුව ද පොලිස් නිලධාරීන් පරුෂ වචනයෙන් බැණ තම පියාට අමානුෂික ලෙස පහර දී ඇතැයි ඔහු ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.
එමෙන් ම, ඔහු තම පියා තුවාල ලබා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති අයුරු දැක ගත හැකි ය.
"මගේ අහිංසක තාත්තට බීලයි කියලත් චෝදනා කරා අම්බලන්ගොඩ පොලිසිය. ඒත් මගේ තාත්තා ඒ වෙලාවේ බීලා ඉඳලා නෑ.
"ID එක ළග තිබුණේ නෑ කියලයි මෙච්චර අමානුෂික විදිහට පහර දීලා තියෙන්නෙ. තාත්තා අපේ නිවසට මීටර් 100ක් තියෙද්දි පොලිස් ත්‍රීවීල් එකට දාගෙන තියෙන්නෙ.
"තාත්තා කියල තියෙනවා, 'මහත්තයෝ මං ළඟ තියෙන්නෙ මම කලින් වැඩ කරපු ආයතනයේ පාස් එක. ID එක නම් ගෙදර ඇත්තේ එන්න මං එක්ක ගිහින් පෙන්නන් නම්,' කියලා.
"ඒත් මගේ තාත්තට පරුෂ වචනයෙන් බැනලා හොඳට ම පහර දීලා. පොලිසියෙදිත් ගහලා හොඳට ම. ලේ හෝද ගනින් කියලා. අත අඹරලා පයිනුත් ගහලා. පිස්ටල් එක මූණට තියලා බය කරලා.
"ඒත් මගේ තාත්තා සෝදලා නෑ, මං එනකන් ඉන්නව කියලා. මම තාත්තා වැඩ ඇරිලා එන්න පරක්කු නිසා පොලිසියට ගියේ සැකේට. බලන්න පුළුවන් හැම තැන ම බලලා. අම්මට කියලා තියෙනවා 8.45ට වගේ මහානාම පිට්ටනිය පහු කරගෙන යන ගමන් කියලා.
"මම පොලිසියට ගියා ම එතන පිටිපස්සේ ම කාමරේක මගේ තාත්තගේ අඳෝනාව මට ඇහුණා.
"ඒ බලන කොට තාත්තා ලේ පෙරාගෙන හිටියේ. මං ගියපු ගමන් මගේ තාත්තා මට කිවුවේ, "පුතේ මං ඔයාලට කන්න රයිස් එකකුත් ගෙනාවා ඒත් මට මේ මිනිස්සු හොඳට ම ගැහුවා,' කියලා.
"පුතෙක් වශයෙන් මට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද. අර තාත්තා ගෙනාපු රයිස් එක ලේ පිටින් මගේ අතට දුන්නා.
"මගේ අතේ තිබුණු මගේ ෆෝන් එකයි, නංගිගේ එකයි, තාත්තගේ එකත් එයලා තියා ගත්තා. මට කාවවත් කන්ටැක්ට් කර ගන්න අවස්ථාවක් දුන්නේ නැහැ මේ අය.
"තාත්තව පොලිසියට ගෙනත් තියෙන්නෙ රෑ 9.00යට විතර. මම ඇවිත් අයි.ඩී. එක පෙන්නුවත් එයාලා මගේ තාත්තව හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න දුන්නෙ නැහැ. ලේ වහනය වැඩිකමට මගේ තාත්තා ක්ලාන්ත වෙලා මම බලෙන් ම උස්සන් කැබ් එකකට දාගෙන හොස්පිටල් එකට අරන් ආවා.
"ඒ, එළිවෙන 3.15වට වගේ. මේ තරම් වේදනා විඳින්න මගේ තාත්තා කරපු අපරාධය මොකද්ද? තාත්තා කියනවා මේ හිටපු උන් බීලා හරි, වෙන දෙයක් පාවිච්චි කරලා හරි ඉන්නැත්තේ කියලා.
"මේදේට සාධාරණයක් මට කරලා දෙන්න. මං යන්න පුළුවන් උපරිම තැනට යනවා. මේ ඉන්නේ මගේ තාත්තා," ඔහු ෆේස්බුක් සටහනක් තබමින් තම පියා සහ තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කර තිබුණේ එලෙසිනි.
'පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්'
"පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරීව හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන්" පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අගෝස්තු 25 වන දා සවස සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් සඳහන් කර තිබේ.
එම නිවේදනයට අනුව, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
එමෙන් ම පොලිසිය සඳහන් කරන්නේ, අදාළ සිදුවීමට සම්බන්ධ නිලධාරියා ද ස්ථාන මාරු කර ඇති බව ය.
එම ෆේස්බුක් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙසේය : "තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී තිබෙන බව පවසමින් පුද්ගලයෙකු පොලිස් ස්ථානයක් තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
"මෙම සිද්ධිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිද්ධියක් බව අනාවරණය වී ඇත.
"අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ලැබුණු තොරුතුරු අනුව වීඩියෝවේ දක්වන පියා ලෙසින් හදුන්වන වියපත් පුද්ගලයා 2026.08.24 වන දින රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේ දීම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
"අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිව යාමට උත්සහ දරා ඇති අතර දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව වාර්තා වේ.
"අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුව 2026.08.25 වන අද දින බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ."
'දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු'

ඡායාරූප මූලාශ්‍රය, Pasindu Eshara Madhuranga / Facebook
එසේම ශ්‍රී ලංකා පොලිසිය ෆේස්බුක්හි තබා ඇති සටහනට අනුව, මෙම පුද්ගලයා "අගෝ: 24 වන දින රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේ දීම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරනු" ලැබ තිබේ.
ඔවුන් පවසන පරිදි මෙම පුද්ගලයා තුවාල ලබා ඇත්තේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු දිව යාමට ගත් උත්සහයේදී දිව යාමට නොහැකිව ඇද වැටීමෙනි.
"අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිව යාමට උත්සහ දරා ඇති අතර දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව වාර්තා වේ," එහි දැක්වේ.
අනතුරුව මෙම පුද්ගලයා අගෝ: 25 වන දින අම්බලන්ගොඩ පොලිසිය මගින් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි තවදුරටත් දැක්වේ.
සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිසිය වැඩිදුරටත් එහි දක්වා ඇත.
පොලිස් ෆේස්බුක් පිටුවේ නිවේදනයට ජනතා ප්‍රතිචාර
පොලිස් නිල පිටුවේ සඳහන් එම නිවේදනයට 20,000කට ආසන්න පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන් බොහෝ දෙනෙකු පොලිසියට විරෝධය පළ කරමින් ප්‍රතිචාර දක්වා ඇති අයුරු බීබීසීයට නිරීක්ෂණය විය.
"විමර්ශනය යනවා නම් සිද්ධිය වුණු හැටි මේකේ ලියන්නෙ කාගෙන් අහල ද ඇඩ්මින්වරුනි? මේ කාගෙ කතාව ද? සාමාන්‍ය ගොසිප් පේජ් එකක් හා මේ පිටුව වෙනස් වෙන්නේ කොහොම ද?," මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ එම නිවේදනය ප්‍රශ්න කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි.
"ගොරකා දඩමස් කිරීම. එහෙම කරන්න එපා ඒ මනුස්සයට. පව්. සාධාරණයක් වෙන්න ඕන. ඒත් තාත්තා කෙනෙක් නේද? මනුෂ්‍යත්වයේ නාමයෙන්වත් ඒ දේ ගැන සාධාරණ විමර්ශනයක් කරන්න," යැයි දිස්නක දිසානායක නම් පුද්ගලයෙකු ප්‍රතිචාර දක්වා තිබිණි.
තවත් ප්‍රතිචාරයක මෙසේ සඳහන් විය.
"අවුරුදු 61ක අන්කල් කෙනෙක් කොහොම ද බේරිලා දුවන්නේ?" යැයි නදිෂාණි ජයසිංහ නමැති පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.
එමෙන් ම, මෙම නිවේදනයට පසුව අගෝ: 26 වන දා ශ්‍රී ලංකා පොලිසිය නැවතත් මෙම සිද්ධිය ගැන සටහනක් තබමින් නිවේදනය කර තිබුණේ, සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උපපොලිස් පරීක්ෂකවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බව ය.
එම සටහනට ද බොහෝ දෙනෙකු පොලිසියට විරෝධය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි.
ID එක ළඟ නැති වුණොත් අත්අඩංගුවට ගන්න පුළුවන් ද?
පුද්ගලයෙකු සතුව සෑම විට ම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත සන්කයේ තිබිය යුතු ද යන්න පිළිබඳව බීබීසීය 2024 වසරේදී පළ කළ ලිපියකට එවකට අදහස් පළ කරමින්, නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළේ, ජාතික හැඳුනුම්පත එලෙස සෑම විට ම සන්තකයේ තබා ගත යුතු දෙයක් නොවන බව ය.
"1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදංචි කිරිමේ පනතේ වගන්ති අනුව කොමසාරිස් නියම කරන හෝ එතුමාගේ බලය පැවරූ නිලධාරියෙක් නියෝග කරන දිනයක, වේලාවක ඒක තමන් ඉදිරිපත් කරන්න ඕනේ කියලා තියෙන්නේ. එතකොට ඉදිරිපත් කරන්න නම් ඒක කලින් ලිඛිතව කියන්න ඕනේ. මිනිස්සු හුඟාක් පටලවා ගන්නවා මේ අයිඩෙන්ටි කාඩ් එක සාක්කු දාගෙන යන්න ඕනා කඩේ යනකොට හරි හන්දියට යනකොට හරි කියලා. එහෙම දෙයක් නෑ. අයිඩෙන්ටි කාඩ් එක අල්මාරියේ තියලා තියන්න ඕන දෙයක්."
අනන්‍යතාව හෙළි කිරීම නීතියේදී අත්‍යවශ්‍ය කාරණයක් නොවන බව මෙන් ම එය ප්‍රයෝගික කරුණක් පමණක් බව ද නීතිඥවරයා 2024 වසරේ දී බීබීසී සිංහල වෙත පැවසීය.
අනන්‍යතාව හෙළි කර ගත නොහැකි වූ පමණින් යමෙකු අත්අඩංගුවට ගත හැකි යන්න වැරදි මතයක් බවත් එය ප්රජාතන්ත්රවාදී සමාජයකට අවශ්‍ය නොවන දෙයක් බවත් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළේ ය.
"හොරකමේ යනකොට හොරා අයිඩෙන්ටි කාඩ් එක අරන් ගියොතින් අනන්‍යතාවය තිබුණා කියලා ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑනේ. අයිඩෙන්ටි කාඩ් තිබුණත් නැතත් පොලිසියට සැක නම් අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි පොලිසියට නිකරුණේ අත්අඩංගුවට ගන්න බැහැ."
අනන්‍යතාව පැහැදිලි කර ගැනීම, සැකය නිවැරදි කර ගන්නා එක් මාර්ගයක් පමණක් බවත්, අනන්‍යතාව හෙළි කළ පමණින් සැකය අවසන් නොවන බවත් ඔහු පැවසීය.
ජාතික හැඳුනුම්පත කියවා ගත යුත්තේ පුද්ගලයන් ලිංයාපදිංචි කිරීමේ පනතේ අරමුණුවලට යටත්ව මිස ජාතික ආරක්ෂාවේ අරමුණු යටතේ නොවන බව ලක්ෂාන් ඩයස් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

































