ඩෙංගු: අත්-පා ආවරණය වන සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීමට දරුවන්ට අවසර

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව එම රෝගීන් සහ ඒ හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේදී දී පෙනී යයි.

ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ජූලි මාසයේ මුල් දින 12 තුළ ඩෙංගු රෝගීන් 13,263 දෙනෙකු වාර්තා වී තිබේ.

2026 වසර තුළ දැනට ඩෙංගු රෝගීන් වැඩි ම ගණනක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර එම ගණන 21,538කි.

එම රෝගීන් ගණන මැයි මාසයේ වාර්තා වූ රෝගීන් 8,590ට වඩා දෙගුණයකටත් වැඩි ගණනක් වන අතර මේ වන විට රෝගීන් වාර්තා වීම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

2026 වසරේ දැනට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන් 68,672ක් බව ඩෙංගු මර්දන ඒකකය වාර්තා කර ඇත.

ඩෙංගු රෝගීන් වැඩි ම සහ අඩු ම දිස්ත්‍රික්ක මොනවා ද?

ඩෙංගු මර්දන ඒකකයට අනුව, වැඩි ම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 14,112කි. එය ප්‍රතිශතයක් ලෙස සමස්ත රෝගීන්ගෙන් 20.55%කි.

සමස්ත් ඩෙංගු රෝගීන්ගෙන් 20.08%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 13,971කි.

මෙම දත්තවලට අනුව, අඩු ම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 40කි.

2026 වසරේ ජූලි 12 වන දා වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් බව ඩෙංගු මර්දන ඒකකයේ දත්තවල සඳහන් වේ.

පදිංචිකරුන් නැති ඉඩම් සහ ගොඩනැගිලි පරීක්ෂාවට අවසර

ඩෙංගු රෝග පැතිරීම පාලනය කිරීමට විවිධ පියවර ගෙන ඇති අතර මදුරුවන් බෝ වන තැන් හඳුනා ගනිමින් ඒවා විනාශ කිරීම, ධූමායන කටයුතු ද ඒ අතර සිදු කරමින් පවතී.

එමෙන් ම, ඩෙංගු මදුරුවන්ට බෝ විය හැකි ලෙස සිය පරිශ්‍රය පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර පදිංචිකරුවන් නොමැති වතු, ගොඩනැගිලි වැනි ස්ථාන වෙත ඇතුළු වී ඒවා පරීක්ෂා කිරීමට ද බලය ලබා දී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර බීබීසී සිංහල වෙත පැවසීය.

"ප්‍රාදේශීය ලේකම්ට, පොලිසියට සහ ග්‍රාම නිලධාරීන්ට බලතල දුන්නා ඒවාට ඇතුළු වෙලා පරීක්ෂා කරලා බලලා හිතමතා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ඇති කරලා තියෙනවා නම්, ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග අර ගන්න."

තව ද, ඩෙංගු මදුරුවන් විනාශ කිරීම, මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අමතරව ජාත්‍යන්තර සහය ලබා ගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

වැසි තත්ත්වයේ අඩු වීමක් සිදුවුවහොත් ස්වාභාවික ලෙස ඩෙංගු මදුරු ගහනයේ අඩු වීමක් සිදුවීම ද ඩෙංගු ව්‍යාප්තිය අඩු වීමට හේතුවක් වනු ඇතැයි වෛද්‍ය කපිල කන්න්ංගර විශ්වාසය පළ කළේ ය.

ඩෙංගු රෝගීන් නිවසේ තබා ප්‍රතිකාර කරන්නේ කොහොම ද?

ඩෙංගු රෝගීන් ඉහළ යාම මේ වන විට රෝහල්වල ධාරිතාව කෙරෙහි යම් බලපෑමක් එල්ල කරමින් පවතී.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර බීබීසී සිංහල වෙත පැවසුවේ, කොවිඩ්-19 වසංගතය පැවති කාලයේදී ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව ය.

"කොව්ඩ්වලත් ඒක සිද්ධ වුනාණේ මීට වඩා. අපි ඒක කොහොම හරි හැන්ඩ්ල් කළා, මේ සැරෙත් එහෙම කරනවා. අමතර වාට්ටු විවෘත වෙනවා, අදාළ උපකරණ සහ ලැබ් ලබා දෙනවා, රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය කරන උපකරණ ලබා දෙනවා, බෙහෙත් වර්ග තියෙනවා," ඔහු පැවසීය.

ඊට අමතරව හඳුනාගත් ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම සිදුවන බව ද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර පැවසීය.

"දැනටමත් එහෙම නිවසේ සිට ප්‍රතිකාර කිරීම ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය අධීක්ෂණය මත තමයි එහෙම වෙන්නේ. තමන්ට හිතුමතේ එහෙම කරන්න බැහැ. රෝහල්වලට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ."

පාසල් සිසුන්ට අත්-පා ආවරණය වන ඇඳුම් ඇඳීමට අවසර

පාසල් තුළ ඩෙංගු රෝගය පැතිරීම අවම කර ගැනීමේ අරමුණින් පාසල් නිල ඇඳුමට අමතරව අත්-පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට දරුවන්ට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, මදුරු දෂ්ඨනය වළක්වා ගැනීමට එවැනි අමතර ඇඳුමක් ඇඳීමට අවසර ලබා දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

තව ද, නිසි ප්‍රමිතියකින් යුතු මදුරු විකර්ශක භාවිතය සම්බන්ධයෙන් ද සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

එම අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව බීබීසී සිංහල වෙත පැවසුවේ, පාසල් පිරිසිදු කිරීමට උපදෙස් ලබා දෙමින් නිරන්තර අවධානයෙන් සිටින බවත් ඊට අමතර පියවරක් ලෙස මෙසේ අත් පා ආවරණය පරිදි ඇඳුමක් ඇඳීමට අවසර දුන් බවත් ය.

සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති පරිදි පාසල් 40%ක පමණ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතින අතර එය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඊට ලබා දෙන අවධානය අඩු නොකර බවත් ලේකම්වරයා පැවසීය.

පාසල් දරුවන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වර්ධනයක් සිදුවුවහොත් පාසල් නිවාඩු දීමේ සැලසුමක් පවතින්නේ දැයි බීබීසී සිංහල යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේ, මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව ය.

පෙර පාසල් දරුවන් ආරක්ෂා කිරීමට උපදෙස්

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට පෙර පාසල් දරුවන්ට ද අත්-පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන් දැනුවත් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.

"පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිත කරන්න. මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝට ම කියන්නේ.

"මේ පරිසරයේ තියෙන අර්බුදය පාසල් තුළත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතුයි වසර 5කට වරක් එන මදුරු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා කියන එක තමයි තියෙන්නේ," අමාත්‍යවරිය ජූලි 13 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා ය.

ගැහැනු සහ පිරිමි දරුවන්ට දිගු කලිසම් භාවිතයට අවසර හිමි වන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.