මත්ද්‍රව්‍ය සැකකරුවන් 45කට එක ම ඇපකරුවන්: 'රැකියාව වශයෙන් ඇපවලට ඉදිරිපත් වන දෙදෙනෙක්' ගැන සෙවීමට CIDයට නියෝගයක්

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වහා ම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියම කළේ ය.

එම නියෝගය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් වීම වෘත්තියක් ලෙස සිදු කරන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට 45 දෙනෙකුට ඇප ගැනීම සඳහා එක ම නීතීඥවරයෙකු ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේ ය.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකු පමණ පිරිසකට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කියන වැල්ලම්පිටියේ පදිංචි නිමල් කරුණාතිලක සහ කොටහේනේ පදිංචි ඇන්තනි ඇලෙක්සැන්ඩර් නමැත්තන් සම්බන්ධයෙන් වහා ම විමර්ශනය කර අධිකරණයට සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර නියෝග කළේ ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකුට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පතක් කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම්කරු කවුරුන් ද? යන්න පිළිබඳ නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඇප අයැදුම්කරුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසියක් නිකුත් කර තිබුණ ද නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම්කරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඇප අයැදුම්කරු අධිකරණයට නොපැමිණි අවස්ථාවේදී ඇප ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඇප අයැදුම ගොනු කර තිබූ නීතීඥවරයා අවසර ඉල්ලා සිටිය ද ඊට අවසර නොදුන් විනිසුරුවරයා රිමාන්ඩ් භාරයට පත්කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සැකකරු හා ඔහුගේ සමීප ඥාතීන් දෙදෙනෙකු අධිකරණයට කැඳවීමට පියවර ගෙන තිබිණි.

ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර සැකකරුගේ සමීප ඥාතීන්ගෙන් විමසීමේදී ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට තමන් නිමල් කරුණාතිලක නමැත්තෙකුට උපදෙස් නුදුන් බවත් එවැනි පුද්ගලයෙකු තමන් නොදන්නා බවත් ඔවුහු ප්‍රකාශ කළහ. අදාළ කරුණු හෙළිවීමෙන් අනතුරුව අදාළ ඇප අයැදුම්පත නිෂ්ප්‍රභ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේ ය.

ඉන් අනතුරුව අවස්ථාවක නීතීඥ ප්‍රභාෂ්වර පීරිස් මගින් ඉදිරිපත් කර තිබූ තවත් ඇප අයැදුම්පතක් කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු අධිකරණයට කැඳවූ විනිසුරුවරයා ඇප අයැදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා දන්නා හඳුනන පුද්ගලයෙකු දැයි සැකකරුගෙන් විමසා සිටියේ ය.

එම අවස්ථාවේදී අධිකරණය වෙත කරුණු දැක්වූ සැකකරු තමන් වෙනුවෙන් ඇප අයැදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන් ද? යන්න නොදන්නා බවත්, නීතීඥ ප්‍රභාෂ්වර පීරිස් බන්ධනාගාරයට පැමිණ තමන් හමුවී තමන් වෙනුවෙන් ඇප අයැදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා දන්නා අයෙකු බව උසාවිය හමුවේ පවසන ලෙස තමාට දැනුම් දුන් බවත් පැවසීය.

මෙම කරුණු අනාවරණය වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඇප ඉල්ලා නීතිඥ ප්‍රභාෂ්වර පීරිස් මාර්ගයෙන් ඇප අයැදුම්පත් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර නිරීක්‍ෂණය කළේ ය.

එම සිද්ධියට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් 09 දෙනෙකු වෙනුවෙන් කොටහේනේ පදිංචි ඇන්ටනී ඇලෙක්සැන්ඩර් නමැත්තා විසින් ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කළ විනිසුරුවරයා, ලාල් බණ්ඩාර ඇලෙක්සැන්ඩර් නමැත්තා තවත් ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇද්ද? යන්න පිළිබඳ විමසා බැලීමේදී මෙම ඇප අයැදුම්පත්වලට අමතරව ඔහු තවත් ඇප අයැදුම්පත් 15කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බව නිරීක්‍ෂණය කර තිබේ.

ඒ අනුව කොටහේනේ පදිංචි ඇන්ටනී ඇලෙක්සැන්ඩර් නමැත්තා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කර ඇතත්, ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා පොලිසිය මාර්ගයෙන් ඔහු පිළිබඳ සොයා බැලීමේදී අදාළ ලිපිනයේ ඇන්ටනී ඇලෙක්සැන්ඩර් නමැත්තෙකු පදිංචිව සිට නොමැති බවත්, එවැනි නමක් ඇති පුද්ගලයෙකු පසුගිය අගෝස්තු 14 වන දා මියගොස් ඇති බවටත්, ඔහු මියගිය හේතුව වාර්තා වී නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර ඇති බවටත් පොලිසිය උසාවියට වාර්තා කර තිබිණි.

ඇන්ටනී ඇලෙක්සැන්ඩර් නමැත්තා විවිධ අපරාධකරුවන් වෙනුවෙන් ඇපකරුවෙකු වශයෙන් ඉදිරිපත් වීම වෘත්තියක් වශයෙන් කරන අයෙකු බව ද පොලිසිය උසාවියට වාර්තා කර තිබිණි.

ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 45 දෙනෙකුට ඇප ඉල්ලමින් ඇප අයැදුම්පත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එක ම නීතිඥවරයෙකු පෙනී සිටීම මෙන් ම ඔවුන්ට ඇප ඉල්ලමින් එක ම ආකාරයේ ආකෘති පත්‍රයක් මත සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ එම සියලු ම දිවුරුම් ප්‍රකාශ සහතික කර ඇත්තේ එක ම දිවුරුම් ප්‍රකාශකවරයෙකු වීම ආදී සියලු කරුණු නීරීක්‍ෂණයට ලක් කළේ ය.

ඒ අනුව, ඇප අයැදුම්කරුවන් හා ඊට අදාළ සියලු පුද්ගලයින් පිළිබඳව මෙන් ම අදාළ නඩුවල සැකකරුවන් වෙනුවෙන් ඇප අයැදුම්පත්‍ර ගොනු කිරීමට උපදෙස් දී ඇත්තේ කවුරුන් ද? ඇප ඉල්ලා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ කවුරුන් ද? ආදී සියලු කරුණු පිළිබඳව වහා ම සොයා බලා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළේ ය.