සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ හැකර්කරුවන් ග්‍රහණයට ගත්තේ කෙසේ ද?: තාක්ෂණික උපකරණවල ආරක්ෂාවට කුමක් වෙයි ද?

    • Author, ෂියෝනා මැකලම්
    • Role, ජ්‍යෙෂ්ඨ තාක්ෂණ වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

යුරෝපය පුරා සුපිරි වෙළෙඳසල් රැසක ශීතකරණ සහ අධිශීතකරණවලට එල්ල වූ බවට සැක කෙරෙන සයිබර් ප්‍රහාරයක් සමග කාර්මික යන්ත්‍රෝපකරණවල සිට නිවෙස්වල භාවිත කරන සාමාන්‍ය විදුලි උපකරණ දක්වා ඉන්ටර්නෙට් සමග සම්බන්ධ උපාංගවල ආරක්ෂාව පිළිබඳව කණස්සල්ලක් මතු වී තිබේ.

ශීතකරණ, මධ්‍යගත තාපන පද්ධති සහ රෙදි සෝදන යන්ත්‍ර පවා ඉන්ටර්නෙට් සමග සම්බන්ධ කළ හැකි ස්මාර්ට් උපාංග අතරට අයත් වේ.

මෙවැනි උපාංග ඉන්ටර්නෙට් සමග සම්බන්ධ කිරීමෙන් ඒවා දූරස්ථව පාලනය කිරීම පහසු වුව ද, ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වන ඕනෑ ම උපාංගයක් ද්වේෂසහගත පුද්ගලයන්ගේ සයිබර් ප්‍රහාරවලට ලක්වීමේ හැකියාවක් පවතී.

කෙසේ වෙතත්, ඉන් අදහස් වන්නේ හැකර්කරුවන්ට එවැනි උපාංග පහසුවෙන් පාලනය කළ හැකි බව නොවේ. ප්‍රමුඛ පෙළේ සන්නාම සාමාන්‍යයෙන් තම තාක්ෂණික උපාංගවල ආරක්ෂාව තහවුරු කිරීමට විශාල පරිශ්‍රමයක් දරයි.

අතීතයේදී ද ඇතැම් උපාංගවල ආරක්ෂක දුර්වලතා හඳුනාගෙන තිබේ. 2015 වසරේදී පර්යේෂකයන් පෙන්වා දුන්නේ, සැම්සන්ග් (Samsung) ස්මාර්ට් ශීතකරණයක පැවති ආරක්ෂක දුර්වලතාවක් හේතුවෙන් එය හරහා ඉන්ටර්නෙට් ඔස්සේ හුවමාරු වන දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබුණු බව ය.

කෙසේ වෙතත්, නොවැම්බර් මාසයේදී සුපිරි වෙළෙඳසල් ඉලක්ක කර එල්ල වූ සයිබර් ප්‍රහාරවලදී නිවෙස්වල භාවිත කරන විදුලි උපකරණ ඉලක්ක කර ගත් බවට කිසිදු සාක්ෂියක් නොමැත.

එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයේ (NCSC) හිටපු ප්‍රධාන විධායක සියරාන් මාටින් පවසන්නේ, ඉන්ටර්නෙට් සමග සම්බන්ධ කළ හැකි උපාංගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිෂ්පාදකයින් මීට වඩා වැඩි යමක් කළ යුතු බව ය.

"ආරක්ෂිත උපාංග සහ නිෂ්පාදන ආරම්භයේ සිට ම අපට ලබා දෙන ලෙස ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වලින් අප තවත් බොහෝ දේ ඉල්ලා සිටිය යුතු යි," ඔහු පැවසීය.

හැකි සෑම අවස්ථාවකදී ම උපාංගවල මෘදුකාංග යාවත්කාලීන කර තබා ගන්නා ලෙසත්, බහු සාධක සත්‍යාපනය (Multi-factor authentication) සක්‍රීය කරන ලෙසත් ඔහු පාරිභෝගිකයන්ට උපදෙස් දුන්නේ ය.

"ඒක කරදරයක් බව මම දන්නවා. නමුත් ඒ සඳහා ගත වෙන්නේ තත්පර කිහිපයක් විතර යි," ඔහු පැවසීය.

2024 අප්‍රේල් මාසයේ සිට එක්සත් රාජධානියේ නීතියට අනුව, ඇතැම් පාරිභෝගික ස්මාර්ට් උපාංග නිෂ්පාදකයින් අවම සයිබර් ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලිය යුතු වේ. මුරපද සහ ආරක්ෂක යාවත්කාලීන කිරීම් සම්බන්ධ අවශ්‍යතා ද ඊට ඇතුළත් ය.

සුපිරි වෙළෙඳසල්වලට එල්ල වූ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රය සමග එක්ව කටයුතු කරන බව NCSC පැවසීය. නමුත් එක්සත් රාජධානියට ඉන් කිසියම් බලපෑමක් එල්ල වී ඇති බවක් ඔවුන් නොදන්නා බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ සයිබර් ආරක්ෂක පර්යේෂණ ආයතනයක් වන UK Cyber Defenceහි පර්යේෂකයන් හඳුනාගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය සිල්ලර වෙළෙඳසල්වලට සම්බන්ධ ශීතකරණ සහ ගොඩනැගිලි පාලන පද්ධතිවල ඉන්ටර්ෆේස් 800කට වැඩි සංඛ්‍යාවක් ඉන්ටර්නෙට් හරහා ප්‍රවේශ විය හැකි බව ය.

එමගින් ඒවා අනිවාර්යයෙන් ම හැක් කළ හැකි බවක් අදහස් නොවේ. නමුත්, දුර්වල මුරපද හෝ මෘදුකාංගවල ඇති දුර්වලතා ප්‍රයෝජනයට ගන්නා ප්‍රහාරකයන්ට ඒවා නිරාවරණය වීමේ අවදානමක් පවතී.

මීට පෙර සුපිරි වෙළෙඳසල්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරවලින් අනතුරුව, සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රමුඛ පෙළේ ආහාර සිල්ලර වෙළෙඳසල් සමග සාකච්ඡා පවත්වා තිබේ.

බ්‍රිතාන්‍ය සිල්ලර වෙළෙඳ සංගමයේ ප්‍රධාන විධායක හෙලන් ඩිකින්සන් පවසා ඇත්තේ, සයිබර් ආරක්ෂක සිදුවීම් සිල්ලර වෙළෙඳුන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි. එම ව්‍යාපාරික ආයතන බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සිය ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට NCSC සමග එක්ව කටයුතු කරන බව ද ඇය සඳහන් කර තිබේ.

සයිබර් ප්‍රහාර හේතුවෙන් ආහාර සැපයුමට බලපෑම් එල්ල වීමේ අවදානම පිළිබඳ අවධානය යොමු වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2025 මැයි මාසයේදී එක්සත් රාජධානියේ M&S සහ Co-op සුපිරි වෙළෙඳසල් ඉලක්ක කර රැන්සම්වෙයාර් ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී, එම වෙළෙඳසල්වල ඇතැම් රාක්ක නැවුම් භාණ්ඩවලින් පිරවීමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය.

සයිබර් ප්‍රහාරයෙන් පසු ගෙවුණු දින කිහිපය තුළ එක්සත් රාජධානිය පුරා පාරිභෝගිකයන් වෙළෙඳසල්වල භාණ්ඩ නොමැති හිස් රාක්ක තිබීම පිළිබඳව පැමිණිලි කර තිබිණි.

සයිබර් ආරක්ෂක සමාගමක් වන SentinelOneහි පර්යේෂක ටොම් හේගල් පවසන්නේ, එවැනි උපකරණවල ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරෙන්නේ කාට ද යන්න පිළිබඳව සිල්ලර වෙළෙඳුන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ය.

"සිල්ලර වෙළෙඳුන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නය වන්නේ එම උපකරණ අලුත්වැඩියා කරන්නේ කවුරුන් ද යන්න පමණක් නොව, ඒවායේ ආරක්ෂාව පිළිබඳ වගකීම දරන්නේ කවුරුන් ද යන්න යි," ඔහු පැවසීය.

ඉන්ටර්නෙට් සම්බන්ධතාව හේතුවෙන් එදිනෙදා භාවිත කරන තාක්ෂණික උපාංග වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි වුව ද, ඒ සමග ම ඒවායේ ආරක්ෂාව ද වැඩිදියුණු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ප්‍රහාරකයෙකුට එම පාලන පද්ධති ක්‍රියාත්මක කළ හැකි වූ පසු, ශීතකරණයේ අයිස් ඉවත් කිරීම වැනි සාමාන්‍ය කාර්යයන් පවා කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා යොදාගත හැකි යි," ඔහු පැවසීය.

"යම් සැකසුමක් වෙනස් කිරීමෙන් පරිගණක පද්ධතියකට බාධා කිරීම පමණක් නොව, භෞතිකව ගබඩා කර ඇති භාණ්ඩ තොගයක් පවා විනාශ විය හැකි යි."

මෝටර් රථ, විදුලි බලාගාර සහ ජල සැපයුම් පද්ධති අවදානමට ලක්විය හැකි ද?

නිවෙස්වලින් පිටත ද කාර්මික යන්ත්‍රෝපකරණ සහ මෝටර් රථ දූරස්ථව පාලනය කිරීම සඳහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධ තාක්ෂණය භාවිත කෙරේ.

සයිබර් ආරක්ෂක විශේෂඥ කෙන් මුන්රෝ පෙන්වා දුන්නේ, 2015 වසරේදී පර්යේෂකයන් පිරිසක් ජීප් රථයක් එහි ඉන්ටර්නෙට් සමග සම්බන්ධ විනෝදාස්වාද පද්ධතිය හරහා දූරස්ථව හැක් කළ ආකාරය ප්‍රදර්ශනය කළ බව ය. එම සිදුවීමෙන් පසුව වාහනවල සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට පියවර ගැනිණි.

"වාසනාවකට මෙන්, වාහන කර්මාන්තය මේ පිළිබඳව අවධානය යොමු කර ගැටලුවට විසඳුම් ලබා දුන්නා," ඔහු පැවසීය.

විදුලි බලාගාර සහ ජල සැපයුම් ජාලවල උපකරණ නිරීක්ෂණය කිරීම සඳහා ද ජංගම සන්නිවේදන සම්බන්ධතා පුළුල් ලෙස භාවිත කෙරේ. එමගින් ඉංජිනේරුවන්ට දූරස්ථව සිට එම පද්ධති කළමනාකරණය කළ හැකි ය.

එක්සත් රාජධානියේ උපයෝගිතා සේවා සපයන ආයතන සාමාන්‍යයෙන් එවැනි සම්බන්ධතාවල ආරක්ෂාව තහවුරු කිරීමට හොඳින් කටයුතු කරන නමුත්, ලොව පුරා එම ආරක්ෂක ප්‍රමිතීන් එකිනෙකට වෙනස් වන බව මුන්රෝ පැවසීය.

ඔහුගේ ප්‍රධානතම කණස්සල්ලට හේතු වී ඇත්තේ ප්‍රමාණයෙන් කුඩා, ප්‍රමාණවත් අරමුදල් නොමැති සහ තවමත් පැරණි, ආරක්ෂක දුර්වලතා සහිත උපකරණ භාවිත කරන උපයෝගිතා සේවා සපයන ආයතන පිළිබඳව ය.

නිසි ආරක්ෂක පියවර නොමැති නම්, මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ සිට විදුලිබල හා ප්‍රවාහන යටිතල පහසුකම් දක්වා අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑ ම කර්මාන්තශාලාවක් හෝ උපකරණ පද්ධතියක් මෙවැනි අවදානම්වලට මුහුණ දිය හැකි බව Zscalerහි සයිබර් ආරක්ෂක විශේෂඥ ඔලිවියර් ඩැලෝයි පැවසීය.