ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බළකොටු බිඳ වැටෙයි: ඩිමොක්රටික් පක්ෂයට ඓතිහාසික ජයක්
- Author, ඇන්තනි සර්චර්
- Role, උතුරු ඇමෙරිකානු වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ඩිමොක්රටික් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස පැවති ප්‍රාන්තවල සෙනෙට් ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් අපේක්ෂකයෝ සමත් වූහ. විශේෂයෙන්ම කෙන්සාස් ප්‍රාන්තය වසර සියයකට ආසන්න කාලයකට පසු ඔවුන් ජයග්‍රහණය කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන නිල කාලයේ අඩක් ගෙවී යන විට, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ලබා ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇත. මේ නිසා ඉදිරි වසර දෙක තුළ ට්‍රම්ප්ගේ පාලන තන්ත්රයට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමටත්, ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළවල් අවහිර කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ට්‍රම්ප්ට එරෙහිව තුන්වන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට පවා මෙයින් ඉඩකඩ සැලසේ.
2025 ජනවාරි මාසයේදී ට්‍රම්ප් නැවත බලයට පත්වන විට කොංග්රස් මණ්ඩල බලය රිපබ්ලිකන් පක්ෂයට තිබූ බැවින්, මෙවැනි පෙරළියක් සිදුවනු ඇතැයි කිසිවෙකුත් අනුමාන කළේ නොමැත. මුලදී ඩිමොක්රටික් පක්ෂය බලාපොරොත්තු වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය පමණක් ලබා ගැනීමටය. මන්ද, සෙනෙට් මැතිවරණය පැවැත්වුණු ප්‍රාන්ත බොහොමයක් මීට වසර දෙකකට පෙර ට්‍රම්ප් පහසුවෙන් ජයග්‍රහණය කළ ප්‍රාන්ත වූ බැවිනි. එහෙත් ටෙක්සාස්, මේන්, කෙන්සාස්, ඔහායෝ, අයෝවා, උතුරු කැරොලිනා සහ දකුණු කැරොලිනා යන ප්‍රාන්තවල විශිෂ්ට ජයග්‍රහණ ලබමින් ඩිමොක්රටික් පක්ෂය මුළු දේශපාලන සිතියම ම වෙනස් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා ඩිමොක්රටික් පක්ෂය සමඟ එකඟතාවලට පැමිණීමට සූදානම් බවයි. තමාගේ අවසන් වසර දෙක, ඔවුන් පනවන නීති ප්‍රතික්ෂේප කරමින් (Veto බලය භාවිත කරමින්) කාලය නාස්ති කිරීමට අකමැති බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඉන් පසුව ඔහු තමන්ගේ 'Truth Social' මාධ්‍ය ජාලයේ "Veto" යන වචනය සහිත සිය සුප්‍රසිද්ධ රතු තොප්පියේ ඡායාරූපයක් පළ කරමින් එම අදහස තරමක් වෙනස් කළේය.
මෙම මැතිවරණයේදී තමාගේ නම ඡන්ද පත්‍රිකාවේ නොතිබූ බවත්, තමා තරග කළේ නම් රිපබ්ලිකන් පක්ෂය විශිෂ්ට ජයක් ලබන බවත් ට්‍රම්ප් පැවසීය. එහෙත් පරාජයට පත් වූ රිපබ්ලිකන් අපේක්ෂකයන් බොහොමයක් ට්‍රම්ප් විසින්ම තෝරාගත් අය වූ අතර, මෙම ඡන්දය තමා වෙනුවෙන් දෙන ඡන්දයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඔහු මීට පෙර ජනතාවගෙන් ඉල්ලා තිබිණි.
ඩිමොක්රටික් පක්ෂය මෙවැනි විශාල ජයක් ලැබීමට හේතු වූ ප්‍රධාන මැතිවරණ ප්‍රතිඵල කිහිපයක් මෙසේය.
ඩිමොක්රටික් අපේක්ෂකයින් ටෙක්සාස්, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, අයෝවා, කෙන්ටකි සහ කොලරාඩෝ වැනි ප්‍රාන්තවල රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ නියෝජිත මන්ත්‍රී ආසන රැසක් ජයග්‍රහණය කළහ. එමෙන්ම වර්ජිනියා සහ ඉන්ඩියානා ප්‍රාන්තවලද ඔවුන්ගේ බලය ශක්තිමත් කර ගැනීමට ඔවුහු සමත් වූහ.
ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රාන්තවල වෙසන කළු ජාතික ඩිමොක්රටික් පාක්ෂිකයින් මෙවර වාර්තාගත සංඛ්‍යාවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම පක්ෂයේ ජයග්‍රහණයට විශාල රුකුලක් විය. එමෙන්ම 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට උදව් කළ ලතින් ඇමෙරිකානු ඡන්දදායකයින්ද මෙවර නැවතත් ඩිමොක්රටික් පක්ෂය වෙත ආකර්ෂණය වී ඇත.
ටෙක්සාස්- මෙක්සිකෝ දේශසීමාවේ පිහිටි, ලතින් ඇමෙරිකානු ජනතාව බහුතරයක් වෙසන කොංග්රස් ආසන තුනම ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂය සමත් විය. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය මැතිවරණ සීමා තමන්ට වාසිදායක ලෙස වෙනස් කර තිබුණද, ලතින් ඇමෙරිකානු ජනතාවගේ සහය නිසා අවාසි සහගතව තිබූ ආසන රැක ගැනීමට ඩිමොක්රටික් පක්ෂයට හැකි විය.
ඇත්ත වශයෙන්ම, පසුගිය වසරේ දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූ මෙම මැතිවරණ සීමා නැවත නිර්ණය කිරීමේ ක්‍රියාවලියෙන් රිපබ්ලිකන් පක්ෂයට බලාපොරොත්තු වූ වාසිය ලැබුණේ නොමැත. ටෙක්සාස් ප්‍රාන්තයේ සීමා වෙනස් කිරීමෙන් නව ආසන පහක් දිනා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වුවද, අවසානයේදී ඔවුන්ට තිබූ එකම ආසනය පවා අහිමි වීමට ඉඩකඩ නිර්මාණය වී ඇත.
කෙසේ වෙතත්, රිපබ්ලිකන් පාක්ෂිකයින්ට යම් හෝ සැනසීමක් ලැබුණේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙනි. එහි තවදුරටත් රිපබ්ලිකන් පක්ෂයට වැඩි නැඹුරුවක් පවතී. රිපබ්ලිකන් සෙනෙට් සභික ඈෂ්ලි මූඩි ඉතා පටු ඡන්ද පරතරයකින් නැවත තේරී පත් වූ අතර, ෆ්ලොරිඩාවේ ප්‍රථම කළු ජාතික ආණ්ඩුකාරවරයා ලෙස බයිරන් ඩොනල්ඩ්ස් තේරී පත් විය. මේ අතර වර්මොන්ට් සහ නිව් හැම්ප්ෂයර් යන ප්‍රාන්තවල ආණ්ඩුකාර ධූර රැක ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් විය. නමුත් සමස්තයක් ලෙස ඔවුන්ට සතුටු විය හැකි ජයග්‍රහණ තිබුණේ ඉතා අඩුවෙනි.
මීට වසර දෙකකට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 48%ක් ලබා ගනිමිනි. එය තමාට ලැබුණු විශාල ජනවරමක් ලෙස සැලකූ ඔහු වෙළඳාම සහ සංක්‍රමණ පිළිබඳව ජනප්‍රිය නොවන දැඩි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීය. එමෙන්ම ඇමෙරිකානු ජනතාවගෙන් බහුතරයක් අකමැති වූ ඉරාන යුද්ධයක්ද ඔහු ආරම්භ කළේය.
එබැවින්, මෙවර මැතිවරණයේදී ඡන්දදායකයින් ට්‍රම්ප්ට ලබා දුන්නේ ලෙහෙසියෙන් අමතක නොවන අමිහිරි සහ දැඩි ප්රතිචාරයකි.