ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන චීන සිසිල් බීම ජාල: ව්‍යාපාර මොඩලය, තරුණ ආකර්ෂණය සහ සෞඛ්‍ය අභියෝග

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 12

බිං චුන් (Bing Chun), බිංෂුවේ (Bingxue) වැනි චීනයෙන් ආරම්භ වූ බබල් ටී, අයිස්ක්‍රීම් සහ සිසිල් බීම අලෙවි කරන වෙළෙඳ නාම වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.

වසර 14කට පෙර චීනයේදී ස්ථාපනය කෙරුණු බිං චුන් ශාඛා 66කට අධික ගණනක් මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති බව බිං චුන් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ දැක්වේ.

බිංෂුවේ ශ්‍රී ලංකාවේ සිය පළමු ශාඛාව 2026 මැයි මාසයේදී දෙහිවලින් ආරම්භ කළ අතර, තවත් නාගරික ප්‍රදේශ වෙත ව්‍යාප්ත වීමේ සැලසුම් ද ප්‍රකාශයට පත් කර තිබිණි.

මීට අමතරව මෙවැනි නිෂ්පාදන අලෙවි කරන තවත් වෙළෙඳ නාම කිහිපයක් ද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින නමුත්, බිං චුන් සහ බිංෂුවේ යන වෙළෙඳ නාම දෙක ම මෑත කාලයේදී වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ.

මෙම සියලු ව්‍යාපාර "ෆ්‍රැන්චයිස් ව්‍යාපාර" ආකෘතියක් අනුගමනය කරමින් එක ම ආකාරයේ ආහාර නිෂ්පාදන බොහෝවිට අඩු මිල ගණන්වලට අලෙවි කරන අතර සමාජ මාධ්‍ය ප්‍රචාරණය ඔස්සේ විශේෂයෙන් තරුණ පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති බව නිරීක්ෂණය වෙයි.

නමුත් මෙම ජනප්‍රියත්වය පිටුපස ඇත්තේ, අලෙවි උපාය මාර්ගයක් ද, නව පාරිභෝගික සංස්කෘතියක් ද, නැතහොත් ඒ දෙකේ ම එකතුවක් ද? එවැනි නිෂ්පාදනවල සෞඛ්‍යමය බලපෑම් මොනවා ද? ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් නියාමනයක් ක්‍රියාත්මක වන්නේ ද? බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලීමකි, මේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට

Henan Liangdi Catering Management Co., Ltd. සමාගමට අයත් Bing Chun Tea නම් තේ පාන ජාල සන්නාමය 2012 වසරේදී ආරම්භ කෙරිණි.

2024 වසරේදී නිකුත් කර ඇති එහි වෙළෙඳ නාම අත්පත්‍රිකාවකට අනුව, එහි ප්‍රමුඛතම නිෂ්පාදනය වන්නේ 'ෆෘට්ස් ජැස්මින් මිල්ක් ටී' (Fruits Jasmine Milk Tea) ය.

නමුත් අද වන විට ඔවුන්ගේ නිෂ්පාදන Bubble Tea, Milk Tea, Fruit Tea, Milkshake, Sundae සහ Ice cream ආදී නිෂ්පාදන දක්වා වර්ධනය වී ඇත.

"ව්‍යාපාර ආරම්භ කරන තරුණ තරුණියන් සඳහා ජනප්‍රිය සන්නාමයක්," ලෙස එය තම ව්‍යාපාරය හුවා දක්වා ඇති අතර "සෑම තේ කෝප්පයක් ම ඉතා සැලකිල්ලෙන් පිළියෙල කිරීමටත්, උසස් ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් සෑම නිෂ්පාදනයක් ම සකස් කිරීමටත් කටයුතු කරන බව" එහි වෙළෙඳ නාම අත්පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

2022 දෙසැම්බර් වන විට චීනය පුරා බිං චුන් වෙළෙඳසල් 1,500කට වඩා පිහිටුවා 2023 ඔක්තෝබර් වන විට එම ජාලය ලොව පුරා වෙළෙඳසල් 2,600කට වැඩි ගණනක් දක්වා ප්‍රසාරණය වී ඇත.

බිං චුන් වෙබ් අඩවියේ සඳහන් පරිදි ඔවුහු වෙළෙඳපළ ව්‍යාප්තියත් සමග, සමාගම ගෝලීය වශයෙන් ෆ්‍රැන්චයිස් ගිවිසුම් 4,000කට අධික සංඛ්‍යාවක් අත්සන් කර ඇති අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක සිය අලෙවිසල් ක්‍රියාත්මක කරති.

බිංෂුවේ යනු, Jinan Baodao Enterprise Management Consulting Co., Ltd යටතේ පවතින, තේ පාන, අයිස්ක්‍රීම් සහ කෝපි සඳහා විශේෂිත වූ ප්‍රමුඛ පෙළේ චීන තේ පාන සන්නාමයක් බව එහි වෙබ් අඩවියේ දැක්වේ.

2014 වසරේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරය 2023 වසරේ සිට ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, සිංගප්පූරුව, මියන්මාරය, ලාඕසය, කසක්ස්ථානය, පිලිපීනය, එක්සත් ජනපදය, කැනඩාව, බෲනායි, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක් දක්වා සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.

ලොව පුරා අලෙවිසල් 4500කට අධික ගණනකට ඔවුහු හිමිකම් කියති. බිංෂුවේ සහ අනෙක් වෙළෙඳ නාම ද බිං චුන් හා සමාන නිෂ්පාදන අලෙවි කරයි.

පොදුවේ ගත් කල බිං චුන් සහ බිංෂුවේ යන චීන වචනවල සාමාන්‍ය අර්ථය වන්නේ "සිසිල්" යන්න ය.

'යන ගමන් බිං චුන් එකට යමු'

බිං චුන් සහ බිංෂුවේ වැනි ව්‍යාපාර සාම්ප්‍රදායික ආකෘතියෙන් මිදී ෆ්‍රැන්චයිස් ක්‍රමවේදයට ක්‍රියාත්මක වුව ද ඒවායේ සුවිශේෂීත්වය ඇත්තේ අලෙවිකරණ ආකෘතියේ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිලාන් රත්නායක පෙන්වා දෙයි.

බීබීසී සිංහල සමග සංවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, "කාර්ය බහුල, මිනිස්සු පයින් යන ප්‍රදේශ" ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව ය.

මෙම ව්‍යාපාර චීනයෙන් ඍජුව ම ලබා ගන්නා යන්ත්‍ර සූත්‍ර සහ ගෝලීය වශයෙන් අමුද්‍රව්‍ය විශාල වශයෙන් ලබා ගැනීම (Global Sourcing) නිසා නිෂ්පාදන පිරිවැය ඉතා අඩු මට්ටමක පවත්වා ගන්නා අතර, එය පදනම් කරගෙන මොවුන්ට වෙළෙඳපොළේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා "සාපේක්ෂව අඩු මිලකට" අයිස් ක්‍රීම් සහ තේ වැනි බීම වර්ග අලෙවි කිරීමට අවස්ථාව ලැබී ඇති බව ඔහුගේ අදහස යි.

කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් මෙන් ම උපකාරක පන්තිවලට සහභාගී වන දරුවන් ප්‍රධාන ඉලක්කය ලෙස සලකා, මෙම නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ "දෛනික පුරුද්දක කොටසක් බවට පත් කිරීමේ අරමුණින්" එක ම ප්‍රදේශයක අලෙවිසල් කිහිපයක් ස්ථාපනය කර ඇති බව සිතිය හැකි බව ය.

"අයිස් ක්‍රීම් එකක් කනවා කියන එක නෙවෙයි, යන ගමන් 'බිං චුන්' එකට යමු කියන එක පුරුදු කරන එක තමයි ඒකෙ අරමුණ," ඔහු එය තවදුරටත් පැහැදිලි කළේ ය.

කථිකාචාර්යවරයා පෙන්වා දුන් මෙම කරුණු, බිං චුන් වෙළෙඳ නාම අත්පත්‍රිකාව නිරීක්ෂණය කිරීමේදී ද වඩාත් හොඳින් තහවුරු වේ.

එහි මෙසේ දැක්වෙයි; "කිරි තේ පානයන්හි ප්‍රධාන පාරිභෝගිකයන් වන්නේ තරුණ පිරිස යි. එබැවින් ඔවුන්ගේ රුචි අරුචිකම් සහ නව ප්‍රවණතාවන්ට අනුව නවීන හා ආකර්ෂණීය අලංකරණයන් යොදා ගනිමින් වෙළෙඳසල් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ.

"සෑම වෙළෙඳසලක ම අනන්‍යතාව ඉස්මතු වන පරිදි සැලසුම් කර ඇති අතර, ඒවායේ තේමාමය ස්වභාවය ප්‍රකාශ කරන අතර ම සරල බව, නවීනත්වය සහ නිර්මාණශීලීත්වය ද පවත්වාගෙන යයි.

"බිං චුන් ටී (Bing Chun Tea) වෙළෙඳසල් බොහෝ විට පාසල්, වෙළෙඳ වීදි සහ සාප්පු සංකීර්ණ ආශ්‍රිතව පිහිටා ඇත. එමෙන් ම, එක් එක් ප්‍රදේශයේ තත්ත්වයන්ට සහ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විවිධ වර්ගයේ වෙළෙඳසල් සඳහා විශේෂිත සැලසුම් ද ක්‍රියාත්මක කරනු ලැබේ."

ඒ අනුව, පාරිභෝගිකයින්ගේ සංස්කෘතික රස රුචිකත්වය වඩාත් හොඳින් හඳුනාගෙන, දැරිය හැකි පහසු මිලකට ආකර්ෂණීය ලෙස තම නිෂ්පාදන අලෙවි කිරීම මගින් මීට පෙර සාමාජයේ ඉහළ ස්ථරවල සිටින පුද්ගලයින් පමණක් පරිභෝජනය කළ බබල් ටී වැනි "සුඛෝපභෝගී ආහාර නිෂ්පාදන" සමාජයේ පහළ ස්ථර වෙත ද ළඟා කළ බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිලාන් රත්නායක පෙන්වා දුන්නේ ය.

"ලංකාව වගේ රටවල සීනි පරිභෝජනය වැඩි යි. මිනිස්සු සීනි රසයට කැමති යි. ඒක සංස්කෘතිකව ස්ථාපනය වෙච්ච දෙයක්. මේ අය හරියට ඒක හඳුනා ගත්තා," ඔහු පැහැදිලි කළේ ය.

බිං චුන් නිෂ්පාදන රු. 200ත් 650ත් අතර මිලකට අලෙවි වන අතර, ඒ බව ඔවුන්ගේ වෙබ් අඩවියේ ද සඳහන් වේ. බිංෂුවේ නිෂ්පාදන ද රු. 200ත් 900ත් අතර මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි ය.

මෙම අලෙවිසල් ආරම්භයේදී පෝලිම් නිර්මාණය කිරීම සහ කටින් කට සිදුකෙරෙන ප්‍රචාරණය මගින් සමාජයීය ආකර්ෂණයක් ලබා ගත් අතර, ඉන් ඔබ්බට යමින් Z පරම්පරාවේ තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට සමාජ මාධ්‍ය යොදා ගත් බව කථිකාචාර්යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, එය "සංස්කෘතික කම්පනයක්" ඇති කළ බව ය.

සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් මෙන් ම සාමාන්‍ය පරිශීලකයින් ද මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇති බව ය. ඇතැම් අය ඒවායේ ගුණ දොස් පිළිබඳ කෙටි වීඩියෝ පළ කර ඇති අතර, තවත් අය තමන් මිලට ගත් නිෂ්පාදනවල ඡායාරූප තම සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඇති අයුරු ද බීබීසීය නිරීක්ෂණය කළේ ය.

සෞඛ්‍යමය බලපෑම

මෙවැනි නිෂ්පාදන පරිභෝජනය කළ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබුණේ, ඒවායේ අධික සීනි ප්‍රමාණයක් අඩංගු වන බව ය. කෙසේ වෙතත්, එම සීනි ප්‍රමාණය නිෂ්පාදනවල පැහැදිලිව සඳහන් කර නොමැති බවට ද ඇතැමුන් චෝදනා කර තිබිණි.

ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා බීබීසී සිංහල මෙම අලෙවිසල් දෙකකට ගොස් නිරීක්ෂණයක් කළේ ය.

එහිදී නිරීක්ෂණය වූයේ, බිං චුන් සිසිල්බීමවල, අවසරලත් කෘත්‍රිම පැණි රසකාරක අඩංගු බවත්, වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ඒවා නිර්දේශ නොකරන බවත් සඳහන් ලේබල් අලවා ඇති බව ය.

කෙසේ වෙතත්, එහි භාවිත කර ඇති කෘත්‍රිම පැණි රසකාරක මොනවා ද? යන්න ලේබලයේ සඳහන් නොවීය.

එමෙන් ම, පාරිභෝගිකයන්ට තමන් කැමති පරිදි සීනි මට්ටම අඩු හෝ සාමාන්‍ය ලෙස තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ද නිරීක්ෂණය විය.

මෙම පාන සකස් කිරීමේදී කාර්ය මණ්ඩලය කුඩා තරාදියක් භාවිත කරන අතර, ඒ මත බඳුන තබා අමුද්‍රව්‍ය මැන පානය සකස් කරන අයුරු ද බීබීසීයට නිරීක්ෂණය විය.

බිංෂුවේ නිෂ්පාදන මිල දී ගැනීමේදී 0% සිට 100% දක්වා සීනි මට්ටම තෝරා ගැනීමට හැකි වුව ද, ඒවායේ කෘත්‍රිම පැණි රසකාරක අඩංගු ද යන්න නිෂ්පාදනයේ ලේබලයේ නිශ්චිතව සඳහන් කර නොතිබිණි.

නමුත් අප සීනි මට්ටම 100%ක් ලෙස ඉල්ලා සිටිය ද, ඔවුන් ලබා දුන් නිෂ්පාදනයේ එය 120%ක් ලෙස සඳහන් කර තිබිණි.

මීට අමතරව, එහි පානයේ ප්‍රමාණය "Normal" ලෙසත්, Ice, Black, Sugar සහ Boba ලෙස අඩංගු ද්‍රව්‍ය ද ලේබලයේ සඳහන් කර තිබිණි.

බීබීසී සිංහල කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ, මෙම නිෂ්පාදන සකස් කිරීමේදී බිංෂුවේ ෆෘක්ටෝස් භාවිත කරන බව ය.

ඒ සඳහා විශේෂ යන්ත්‍රයක් භාවිත කරන බව නිරීක්ෂණය වූ අතර, එය "Fructose Machine" ලෙස ලේබල් කර තිබිණි. පාරිභෝගිකයා තෝරා ගන්නා සීනි මට්ටම අනුව ෆෘක්ටෝස් ප්‍රමාණය එක් කිරීම සඳහා එහි වෙන වෙන ම බොත්තම් ද යොදා තිබිණි.

බීබීසීය සිංහල සමග අදහස් දක්වමින් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ උපකුලපති සහ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස අනතුරු ඇඟවූයේ, සීනි බහුල ආහාර ගැනීම නිසා ස්ථූලභාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ අනෙකුත් බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යන බව ය.

පුද්ගලයෙකු දිනකට සීනි තේ හැඳි 6කට වඩා භාවිත නොකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇති බවත් එම ප්‍රමාණය ඉක්මවා අධික ලෙස සීනි භාවිතයට ගැනීමෙන් බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන බවත් ඇය පෙන්වා දුන්නා ය.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, සීනි එවැනි ආහාර නිරන්තරයෙන් පරිභෝජනය කිරීමෙන් සීනි ආහාරවලට ඇති ලැදි බව ඉහළ යන අතර ම එය දන්ත සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපාන බව ය.

"මේක නිසා තමයි අපි කියන්නේ, මේ වගේ ඕනෑ ම සීනි බහුල ආහාරයක් දෙනකොට කොච්චර ප්‍රමාණයක් ඒකේ සීනි තියෙනවා ද කියන එක වර්ගීකරණය කරලා ලේබල් එකක තියෙන්න ඕනේ.

"එහෙම නැතුව, පාරිභෝගිකයෝ විදිහට අපි දන්නේ නෑ, අපි මේ ගන්න ආහාරයෙන් කොච්චර සීනි ප්‍රමාණයක් ඇඟට ගන්නවා ද කියලා," ඇය තවදුරටත් පැවසීය.

සීනි සහිත ආහාර කලාතුරකින් ආහාරයට ගැනීම ගැටලුවක් නොවුණ ද, ඒවා දිනපතා ආහාරයට ගැනීමෙන් දීර්ඝකාලීන රෝගාබාධ හටගන්නා බවට ඇය අනතුරු ඇඟවූවා ය.

ඇය සඳහන් කළේ, ඇතැම් කෘත්‍රිම රසකාරක සහ වර්ණක සෞඛ්‍යයට අහිතකර වන අතර, අනුමත නොකළ ඇතැම් රසකාරක සහ වර්ණක නිසා පිළිකා හටගැනීමේ අවදානමක් ද පවතින ය.

ඒ හේතුවෙන්, නිෂ්පාදනයට එකතු කරන කෘත්‍රිම රසකාරක වර්ගය සහ ප්‍රමාණයන් මෙන් ම වර්ණක පිළිබඳව ලේබලයේ නිවැරදිව සඳහන් කිරීම අනිවාර්ය විය යුතු බව ඇය අවධාරණය කළා ය.

තරුණ පරම්පරාව මෙවැනි වෙළෙඳ ප්‍රචාරණවලට පහසුවෙන් හසුවන අතර, ඔවුන් තමන්ට දිනකට ලැබෙන මුදල් මෙවැනි ආහාර සඳහා වැය කරන බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, දිනපතා මෙවැනි සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා මුදල් යෙදවීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඇති අවස්ථාව ඔවුන්ට අහිමි වන බව ය.

"ඉතින් හැම තිස්සේ ම තරුණ පරම්පරාව බලන්න ඕනේ, තමන් කොහොම ද සෞඛ්‍ය සම්පන්න ආහාරවලට පෙළඹෙන්නේ කියන එක. මොකද තරුණ පරම්පරාව තමයි දිගු කාලයක් ජීවත් වෙන්න ඕනේ, ලෙඩ රෝගවලින් වැළකී සිටින්න ඕනේ.

"අපි දැනට දකිනවා සමාජයේ තරුණ අය ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා කියලා. ඉතින් ඒක නිසා තරුණ පරම්පරාව තමන් ගන්නා ආහාර ගැන මීට වැඩිය සැලකිලිමත් වෙන එක, ඒවා ගැන විශ්ලේෂණය කරන එක, ඒවායේ ලේබල් කියවන එක වැදගත්," ඇය පැහැදිලි කළා ය.

බලධාරීන් පවසන්නේ කුමක් ද?

මෙවැනි පසුබිමක බීබීසී සිංහල මෙම නිෂ්පාදන නියාමනයට බලධාරීන් ගෙන ඇති පියවර පිළිබඳව ද විමසා බැලීය.

"පාරිභෝගික කටයුතු අධිකාරිය එක පාරක් සාම්පල් ටෙස්ට් කළා ඔය කියන වර්ගය සම්බන්ධව. එක සාම්පල් එකක් මත අපිට තීරණ ගන්න බැහැ. ඒ නිසා තව සාම්පල් එකක් ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලය අපි අපේක්ෂාවෙන් ඉන්නවා," ඊට ප්‍රතිචාර දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න සඳහන් කළා ය.

ඇය පැවසුවේ, ඊට අමතරව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳපොළේ ඇති සියලු ම අයිස්ක්‍රීම් වර්ගවල සාම්පල ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාරයට යොමු කර ඇති බව ය.

එම ප්‍රතිඵල මත පදනම්ව ඉදිරියේදී 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත අනුව නියාමනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළා ය.

මෙවැනි ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් තම අධිකාරියට මැදිහත් වීමක් කළ නොහැකි වුව ද ඒවායේ අලෙවි කරන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගත හැකි බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා ය.

"සෝෂල් මීඩියාවල විවේචනය කරන ඒවා අපි දැකලා තියෙනවා. ඒ වගේ ම මේවා ගැන පරීක්ෂා කරන්න කියන එක අපිට දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ඇවිල්ලා තියෙනවා. අමාත්‍යංශ මට්ටමේ රැස්වීම්වලදී අපිට යොමු කරලා ඉස්සෙල්ලා ම සාම්පල් ටෙස්ට් කරන්න කියලා.

"මේවාට ශ්‍රී ලංකා ප්‍රමිතීන් හැදිලා තියෙනවා නම්, පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති අනිවාර්ය කරලා අවශ්‍ය නම් නියාමනයට ලක් කරන්න කටයුතු කරන්න පුළුවන්," යැයි ඇය සඳහන් කළේ, මෙම නිෂ්පාදන පිළිබඳව පාරිභෝගික පැමිණිලි ලැබී ඇති දැයි බීබීසීය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නේ, පරීක්ෂණ ප්‍රතිඵල මත මෙම නිෂ්පාදන මහජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක විය හැකි බව තහවුරු වන්නේ නම්, පාරිභෝගික කටයුතු අධිකාරී පනත මෙම ව්‍යාපාර නීත්‍යනුකූලව නියාමයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි බව ය.

මේ පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නෙපුල් ධර්මතිලකගෙන් ද විමසීමක් කළෙමු.

එහිදී ඔහු සඳහන් කළේ, බිං චුං වැනි වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන නිෂ්පාදන සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය සහ කෘත්‍රිම රසකාරක ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී රේගුවේදී පරීක්ෂාවට ලක් වන බව ය.

මීට අමතරව, මහ නගර සභා සහ සෞඛ්‍ය බලධාරීන්ට මෙවැනි අලෙවි සල් පරීක්ෂා කිරීමටත්, ආහාරවල ආරක්ෂිතභාවය තහවුරු කිරීමටත් නීතිමය බලතල පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම අලෙවි සල්වලදී ආහාර සහ බීම වර්ග සකස් කර අලෙවි කරන බැවින්, ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සඳහන් කිරීම අවශ්‍ය නොවන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

කෘත්‍රිම රසකාරක භාවිතය සම්බන්ධයෙන් ද බීබීසීය ඔහුගෙන් විමසීය.

"අවසරලත් ඒවා තමයි පාවිච්චි කරන්න පුළුවන්. [නමුත්] හඳුනාගෙන තියෙනවා සමහර අවසර නොලත් ඒවත් තියෙනවා කියලා. සියයට සියයක් ම එහෙමයි කියලා කියන්න බැහැ. නමුත් රේගුවෙන් අපට පැමිණිල්ලක් එවලා තියෙනවා," ඔහු පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට උපදෙස් ලබා දී ඇති බව වෛද්‍ය නෙපුල් ධර්මතිලක සඳහන් කළේ ය.

තම ආයතනයේ වගකීම වන්නේ මෙවැනි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයන්ට සෞඛ්‍යමය හානියක් හෝ අවදානමක් ඇති වන්නේ ද යන්න සොයා බැලීම බව ඔහු පැවසීය.

මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී මෙවැනි ක්ෂණිකව සකස් කර අලෙවි කරන ආහාර සහ බීම වර්ග සම්බන්ධයෙන් වඩාත් විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ ය.

ආර්ථික බලපෑම

මෙවැනි ව්‍යාපාර ආකෘතිවල ප්‍රතිලාභ ද පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිලාන් රත්නායක පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මෙමගින් නව රැකියා අවස්ථා නිර්මාණය වන බවත් එය විරැකියාවට විකල්පයක් සපයනු ඇති බවත් ය.

"හැමෝට ම පාසල් අවසන් කළාට පස්සේ කැම්පස් යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේ තරුණ අයට හොඳ අවස්ථාවක් වෙනවා මේක," ඔහු පැවසීය.

එමෙන් ම මේවා තරුණ තරුණියන්ට අර්ධකාලීන (Part-time) හෝ ස්ථිර මට්ටමින් සම්බන්ධ වී මුදල් උපයා ගැනීමට මෙන් ම පළමු රැකියා අත්දැකීම ලබාගැනීමට මාධ්‍යයක් වන බව ඔහු සඳහන් කළේ ය.

පාසල් අධ්‍යාපනයෙන් පසු සීමිත රැකියා අවස්ථාවලට පමණක් යොමු නොවී, පාරිභෝගික සේවය, ආයතනික සංස්කෘතිය සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන් ඔබ්බට යමින්, මෙමගින් ද්විතියික වෙළෙඳපොළ සහ ව්‍යවසායකත්වය වර්ධනය වීම ද සිදුවන බව කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.

උදාහරණයක් ලෙස මීට අනුබද්ධ වෙනත් සේවා ජාල, එනම් බෙදාහැරීම් සහ ලොජිස්ටික් සේවා සමග සම්බන්ධ වීමෙන් ද්විතියික වෙළෙඳපොළවල් නිර්මාණය වන බව ඔහු පැහැදිලි කළේ ය.

තව ද, මෙවැනි අලෙවිසලක් සාපේක්ෂව අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම නිසා, ව්‍යාපාරික ක්ෂේත්‍රයට නවකයින් පැමිණීමට සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වීමට තල්ලුවක් ලැබෙන බව කථිකාචාර්යවරයාගේ අදහසයි.

තවදුරටත් පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, කුඩා වෙළෙඳසල් ජාල ව්‍යාප්ත වීම මගින් ජාතික ආර්ථිකය තුළ මුදල් සංසරණය වීම සහ ධනය විමධ්‍යගත වීම සඳහා මෙවැනි ව්‍යාපාර රුකුලක් වන බව ය.

එමෙන් ම අලෙවිය මත එකතු වන VAT ඇතුළු රාජ්‍ය බදු මගින් රාජ්‍ය ආදායමට සහ ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලැබෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාපාර දේශීය ආර්ථිකයට දායකත්වයක් දුන්න ද, විදේශයන්ට මුදල් ඇදී යාම ද මෙමගින් සිදුවිය හැකි බව කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, ව්‍යාපාරයක තිරසර බව දෙස බැලීමේදී එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳව ද සිතා බැලිය යුතු බව ය.

"ඒ අතින් ගත්තා ම ලොකු සීනි ප්‍රමාණයක් තියෙන නිෂ්පාදනයක් ඕනෑවට වඩා සංස්කෘතික දෙයක් බවට පත් වීම පසුකාලීනව මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරයක ඍජු නොවන බලපෑමක් විදිහට ඉදිරියේදී වෙන්න පුළුවන්," යැයි ඔහු සඳහන් කළේ මෙවැනි ව්‍යාපාරවල වාසි මෙන් ම අහිතකර බලපෑම් ද ඇති බව පැහැදිලි කරමිනි.

සමාගම්වල ප්‍රතිචාරය

පාරිභෝගිකයින්, සමාජ මාධ්‍ය පරිශීලකයින් සහ විශේෂඥයින් මතු කරන කරුණු පිළිබඳව අදහස් විමසමින් බීබීසී සිංහල, බිං චුන් (Bing Chun) සහ බිංෂුවේ (Bingxue) ආයතනවල ශ්‍රී ලංකා වෙබ් අඩවිවල සඳහන් විද්‍යුත් තැපැල් ලිපින වෙත වෙන වෙන ම පණිවිඩ යොමු කිරීමට පියවර ගත්තේ ය.

බීබීසී සිංහල යොමු කළ ප්‍රශ්න අතර, මෙම ව්‍යාපාර සිය නිෂ්පාදනවල භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය, ඒවායේ මූලාශ්‍ර, ආහාර සුරක්ෂිතතා සහ තත්ත්ව ප්‍රමිතීන් මෙන් ම ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන්ගෙන් ලබාගෙන ඇති අනුමැතියන්, ලියාපදිංචි කිරීම් හෝ සහතික පිළිබඳ කරුණු ඇතුළත් විය.

ඊට ප්‍රතිචාර දක්වමින් බිං චුන් ශ්‍රී ලංකා මෙසේ සඳහන් කළේ ය:

"ඔබ යොමු කළ ප්‍රශ්න අප සමාලෝචනය කර ඇත. කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී මෙම මාධ්‍ය වාර්තාකරණයට සහභාගී නොවීමට 'බිං චුන් ශ්‍රී ලංකා' තීරණය කර තිබේ.

දැනට අපගේ සම්පත් දෛනික මෙහෙයුම් කටයුතු සහ පාරිභෝගිකයින්ට ගුණාත්මක නිෂ්පාදන ලබා දීම කෙරෙහි යොමු කිරීමට අපි කැමැත්තෙමු."

කෙසේ වෙතත්, බිංෂුවේ වෙත බීබීසී සිංහල යොමු කළ විද්‍යුත් තැපැල් පණිවිඩයට මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැත.

මීට අමතරව, ISO 22000 හෝ HACCP වැනි ජාත්‍යන්තරව පිළිගත් ආහාර සුරක්ෂිතතා සහතික මෙම ව්‍යාපාර හෝ ඒවායේ ශ්‍රී ලාංකික අලෙවිකරුවන් සතුව තිබේ ද? යන්න බීබීසී සිංහල සොයා බැලූ නමුත්, ඒ බව ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි විය.