වීසා නීති දැඩි කිරීම ගැන ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් බීබීසීයට කතා කරයි: 'ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ'

ඔස්ට්‍රේලියානු ධජය සහිත ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, mirsad sarajlic/Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඔස්ට්‍රේලියානු රජයේ නව දැඩි වීසා සීමා කිරීම් හේතුවෙන් එරට ඉගෙනුම ලබන සහ යැපෙන්නන්ගේ වීසා (Dependent Visa) මඟින් එහි යාමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ රැසක් දැඩි කනස්සල්ලට පත්ව සිටිති. තමන් සැලසුම් කළ අනාගතය ගැන මේ වන විට දැඩි අවිනිශ්චිතතාවක් ඇතැයි ඔවුහු බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළහ.

නව නීති යටතේ විදේශීය සිසුන්ට පවුල්වල සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒමට අවස්ථාව නොලැබෙන අතර, 'වීසා හොපිං' ක්‍රමවේදය දැඩි ලෙස මර්දනය කෙරේ. 2028 වන විට ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීම එරට රජයේ ප්‍රධාන අරමුණ වී ඇත.

2025 නිල දත්ත අනුව, ශ්‍රී ලාංකික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 0.7% ක් නියෝජනය කරයි.

ඔස්ට්‍රේලියාවේ වෙසන සංක්‍රමණික ප්‍රජාවන් අතර ශ්‍රී ලංකාව තවදුරටත් මුල්ම රටවල් 10 අතර රැඳී සිටියි.

නිල වාර්තා අනුව 2025 වසරේ මැද භාගය වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ උපත ලැබූවන්ගේ ජනගහනය 184,800 කි. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් ඊට අයත් නොවේ.

ඔස්ට්‍රේලියාවේ විශාලතම විදේශීය සංක්‍රමණික ප්‍රජාව ලෙස ඉන්දියාව පළමු තැන පසුවන අතර එම සංඛ්‍යාව 971,000 කි. එංගලන්තය එහි දෙවැනි ස්ථානය ගෙන තිබේ. තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ චීනයයි.

ඔස්ට්‍රේලියානු නව වීසා නිතී වෙනස් වෙන්නේ කොහොම ද?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සිසුන්, 'වීසා හොපර්ස්' (නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටීමට වීසා මාරු කරන්නන්) සහ බැක්පැකර්වරුන් ඉලක්ක කර ගනිමින් බ්‍රහස්පතින්දා දිනයේදී වඩාත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම නව නීති යටතේ විදේශීය සිසුන්ට මින් ඉදිරියට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රට තුළට කැඳවාගෙන ඒමට නොහැකි වන අතර, තමන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය දීර්ඝ කර ගැනීමට කැමති සිසුන් වඩාත් උසස් අධ්‍යාපන සුදුසුකමක් (Higher Qualification) තෝරාගත යුතු වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෘෂිකාර්මික අංශය සඳහා අත්‍යවශ්‍ය ශ්‍රම මූලාශ්‍රයක් වන මෙන්ම බැක්පැකර් සංක්‍රමණිකයින් (backpackers) බහුලවම භාවිතා කරන 'වැඩ කරන නිවාඩු වීසා' (Working Holiday Visas) සඳහාද ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දෙමින් නීති වඩාත් දැඩි කිරීමට නියමිතය. කෙසේ වෙතත් මෙම වෙනස්කම් එක්සත් රාජධානියට බලපාන්නේ නැත.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් මෙම නව නීති ප්‍රකාශයට පත් කරන ලද අතර, ඔහු කියා සිටියේ සංක්‍රමණිකයන් පැමිණීම ඔස්ට්‍රේලියාවේ "ශක්තියක්" වුවද, ඒ සඳහා "ඉහළ මට්ටමේ පාලනයක්" තිබිය යුතු බවයි.

ජාත්‍යන්තර සිසුන් සහ පශ්චාත් උපාධි වීසා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බර්ක් කියා සිටියේ, "ස්වයංක්‍රීයවම තම පවුලේ සාමාජිකයන් රට තුළට කැඳවාගෙන ඒමට හැකි වන පරිදි සිසුන් එකතු වීමට මින් ඉදිරියට අප ඉඩ නොතබන" බවයි.

කෙසේ වෙතත්, දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින විදේශීය සිසුන්ට මෙන්ම පැසිෆික් කලාපීය සහ අග්නිදිග ආසියානු රටවලින් පැමිණෙන අයදුම්කරුවන්ට මින් නිදහස් වීමේ සහනයක් (Exemptions) හිමිවන බවද ඔහු පැවසීය.

ආචාර්ය උපාධි (PhD) හදාරන සිසුන්ගේ ජීවන තත්ත්වයන් සහ පසුබිම, උපාධි අපේක්ෂක (Undergraduate) සිසුන්ට වඩා වෙනස් බැවින් ඔවුන්ට තම පවුලේ සාමාජිකයන් කැඳවාගෙන ඒමට තවදුරටත් අවස්ථාව ලැබෙනු ඇති බව අමාත්‍ය බර්ක් පැවසීය.

සංක්‍රමණ වැඩසටහන කළමනාකරණය කිරීමේ කාර්යය: පැමිණෙන්නේ කවුද, රැඳී සිටින්නේ කවුද, පිටව යන්නේ කවුද" මැයෙන් පැවැත්වූ දේශනයකදී, 2028 වන විට ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව (net overseas migration) 225,000 දක්වා අඩු කිරීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් අමාත්‍ය බර්ක් විසින් මෙම වෙනස්කම් අනාවරණය කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා ජාත්‍යන්තර සිසුන් සහ බැක්පැකර්වරුන් ඉලක්ක කර ගනිමින් දැඩි පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසයි

'ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ'

"ඉස්සරහට ස්ටුඩන්ට්ලා හැටියට එන එක හරිම රිස්කි (risky). හරිම අනතුරු දායකයි. ඇත්තම අදහස කියනවා නම් ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ." යැයි මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරණ ලාංකික සිසුවියක බීබීසී සිංහල වෙත පැවසුවාය.

පවතින වීසා රෙගුලාසි වෙනස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර සිසුන්ට විදින්නට සිදුව ඇති අසීරුතා ගැන නම හෙළි නෙකාරන ලෙස ඉල්ලා සිටිමින් ඇය මෙලෙස පැහැදිලි කළාය.

මම මෙල්බර්න්වල ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. මම ආවේ මාස්ටර්ස්වලට. මම ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙනවා දැන්. මේ අවුරුදු එකහමාරක කාලය ගත්තොත් ආවේත් හරිම අමාරුවෙන්; යම්කිසි ලොකු බලාපොරොත්තු ටිකක් තියාගෙන. එන්නෙත් ගොඩක් වියදම් කරලා, ඒ වියදම් කරලා මෙහෙ ඇවිල්ලා ඒ බලාපොරාත්තු ටික පැත්තකින් තියලා මහා සල්ලි ගොඩක් හොයලා, මෙහෙ කැම්පස්වලට ගෙවන්නයි, රජයට ගෙවන්නයි, ටැක්ස් ගෙවන්නයි තමා වෙලා තියෙන්නේ, අපිට කියලා කිසිම දෙයක් ඉතුරු කර ගන්න වෙන්නේ නැහැ. ඩේලි එක්ස්පෙන්සස්, රෙන්ට් එක, යුනි ෆී හොයන්නයි, ඒවා තමා ඉතින් වැඩිපුරම මෙහෙ කරන්න තියෙන්නේ. ඒත් මදි පාඩුවට ගෙවල් වලිනුත් සල්ලි ගෙන්න ගන්න වෙනවා. ඉතිං ඇත්තට ඒක හරිම අන්ෆෙයාර්, අසාධාරණ විදිහට තමා මෙහෙ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ, ඉතිං ගොඩාක් අමාරුයි"

"මේ වගේ රටකට ආපුවම, හොඳ රටක් නිසා, ඩිවෙලොප් කන්ට්‍රි එකක් නිසා මිනිස්සු හිතන්නේ අපි හොඳ රටවල්වල ඉන්නවා කියලා. මෙහෙ ඉන්න ස්ටුඩන්ට්ලා තමා දන්නේ කොහොමද ගෙවන්නේ ජීවිතේ කියලා සහ ඒකේ අමාරුකම. යුනි ෆී හොයන්න ගොඩාක් ලොකු කට්ටක් ළමයිට කන්න වෙලා තියෙනවා, ඒ වගේම තමා දැනට තියෙන වාතාවරණය ඉස්සරහට හොඳවෙයි කියලා හිතන් හිටියට, දැන් අලුතින් පත්වෙන්න යන ආණ්ඩු ගත්තා ම, ඒක ඊට වඩා දරුණු වීමක් තමා වෙන්නේ,"

"ඒ ගොල්ලෝ විශේෂයෙන් කියලා තියෙනවා, ස්ටුඩන්ට්ලා හැටියට ඉන්න අයගේ පාර්ට්නස්ලව මෙහෙට එක්කං එන්න බැහැයි කියලා, බැච්ලර්ස් වේවා මාස්ටර්ස් වේවා තමුන්ගේ පාර්ට්නර්ට මෙහෙට එන්න බැරිනම් ඒක හරිම අසාධාරණයක්, මොකද සමහරක් මැරි කරපු අය ඉන්නවා, සමහරක් මැරි කරපු නැති අය ඉන්නවා, ඉතිං ඒගොල්ලන්ගේ අනාගතය ගැන එතනදි ප්‍රශ්නයක් තියෙනවා"

වීසා නීතිවලට අමතරව සමේ වර්ණය නිසා ද ඔස්ට්‍රේලියාවේ වෙසන ලාංකික සිසුන්ට නොයෙක් වර්ගවාදී ප්‍රශ්න මෙන්ම වෙනත් පීඩාවන්ට ද දැන් දැන් මුහුණ පෑමට සිදුව තිබේ.

බ්‍රිස්බේන් හී විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින අතරතුර අර්ධ කාලීනව රැකියාවක නිරත ලාංකික සිසුවෙකුද තමන්ට මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා ගැන බීබීසී සිංහල වෙත කියා සිටියේය.

ඔහු පැවසුවේ එක් දිනක් වැඩ නිමවා තම මිතුරකු සමඟ ආහාර ගනිමින් සිටියදි කිසිදු හේතුවකින් තොරව ඒ අසළින් ගිය ඔස්ට්‍රේලියානු කාන්තාවක් 'You Killers. Leave our country' යනුවෙන් ඔවුන් දෙදෙනාට බැන වැදුණු බවයි. එම සිදුවීම තමන්ට දැඩි පීඩාවක් ඇති කළ බව ද ඔහු කියා සිටියේය.

වැඩිදුර අධ්‍යාපනය හැදැරීම සඳහා ඔහු බ්‍රිස්බේන් වෙත ගොස් ඇත්තේ මෑතකදී විවාහ වූ සිය බිරිඳ ද 'Dependent Visa' මත එරටට පසුව ගෙන්වා ගැනීමේ බලාපරොත්තුවෙනි.

නමුත් දැන් පවතින තත්ත්වයත් සමග තමන් ද දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා සිටින බව ඔහුගේ බිරිඳ පවසයි.

"මම යන්න හැමදේම හදාගෙන අපි අපේ ලයිෆ් ප්ලෑන්ස් හදාගෙන ඉද්දි තමා මෙහෙම නීති වෙනස් කරන්න යනවා කියල කිව්වේ.දැන් බයක් තියෙන්නේ මොකක් ද වෙන්නේ කියලා" නම සඳහන් නොකරන පොරොන්දුව මත ඇයද අප වෙත කියා සිටියාය.

'Working Holiday Visa' සඳහා ලොතරැයි ක්‍රමයක්

ජාත්‍යන්තර සිසුන්ගේ වීසා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් වැඩිදුරටත් කියා සිටියේ, ශිෂ්‍යයෙකු එක් පාඨමාලාවක් අවසන් කර, පසුව බොහෝ විට වඩා අඩු සුදුසුකමක් සහිත සහ සමහර විට "එතරම් නීත්‍යානුකූල නොවන ආයතනයක්" හරහා වෙනත් පාඨමාලාවක් හැදෑරීමට අයදුම් කරමින් රට තුළ රැඳී සිටින 'වීසා හොපිං' (Visa hopping) ක්‍රියාවලිය රජය විසින් දැඩි ලෙස මර්දනය කරන බවයි.

උදාහරණයක් ලෙස, ශිෂ්‍යයෙකු තම මූලික (Bachelor's) උපාධිය අවසන් කර ඉන්පසු පශ්චාත් (Masters) උපාධියක් සම්පූර්ණ කිරීමට කැමති නම්, එලෙස අධ්‍යාපන මට්ටමෙන් "ඉහළට යාමට" (up the scale) බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බව අමාත්‍ය බර්ක් පැවසීය.

වයස අවුරුදු 18 ත් 30 ත් අතර පසුවන, ඔස්ට්‍රේලියාවේ මාස 12 ක කාලයක් රැකියාවක නිරත වීමට හැකි සහ එය දෙවැනි සහ තෙවැනි වසරක් දක්වා දීර්ඝ කර ගත හැකි පුද්ගලයින් සඳහා වන 'වැඩ කරන නිවාඩු වීසා' (Working Holiday Visas) සම්බන්ධයෙන්ද ඔහු ප්‍රධාන වෙනස්කම් රැසක් ප්‍රකාශයට පත් කළේය.

දැනට, මෙම වීසා බලපත්‍රලාභීන් තම දෙවැනි වසර සඳහා සුදුසුකම් ලැබීමට නම් පළමු වසර තුළදී මාස තුනක කාලයක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල (regional Australia) රැකියාවක නිරත විය යුතු අතර, තෙවැනි වසර සඳහා සුදුසුකම් ලැබීමට නම් මාස හයක කාලයක් එලෙස රැකියාවක නිරත විය යුතුය.

තාවකාලික සංක්‍රමණික වීසා කපා හැරීමට යෝජනා

නව වෙනස්කම් යටතේ, දෙවැනි වසර සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින්ට ලොතරැයි ක්‍රමයකට (ballot) මුහුණ දීමට සිදුවන අතර, ඒ සඳහා උපරිම සීමාව (cap) 45,000ක් දක්වා අඩු කර ඇත; එය පසුගිය වසරේ සුදුසුකම් ලැබූ 57,000ක පිරිසට වඩා කැපී පෙනෙන අඩුවීමකි.

තෙවැනි වසර සඳහා, මෙම ලොතරැයි ක්‍රමය (ballot) පුද්ගලයින් 5,000කට පමණක් සීමා කෙරෙන අතර, එය පසුගිය වසරේ සුදුසුකම් ලැබූ 31,000ක පිරිසට සාපේක්ෂව විශාල අඩුවීමකි. කෙසේ වෙතත්, එක්සත් රාජධානිය (UK) සහ ඔස්ට්‍රේලියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන් වැඩ කරන නිවාඩු වීසා ලාභී බ්‍රිතාන්‍ය ජාතිකයින්ට (working holidaymakers) මෙම වෙනස්කම් බලපාන්නේ නැත.

බ්‍රහස්පතින්දා දිනයේදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් නිකුත් කරන ලද නව දත්ත වලට අනුව, 2026 මාර්තු මාසය දක්වා ගෙවුණු මාස 12 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 1.4% කින් වර්ධනය වී මිලියන 27.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. එම සමස්ත සංඛ්‍යාවට උපත් සහ මරණ මෙන්ම 292,100 ක ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් ද ඇතුළත් විය.

ජීවන වියදම ඉහළ යාම, නිවාස මිලදී ගැනීමේ සහ කුලියට ගැනීමේ අපහසුතාව මෙන්ම පොදු සේවාවන් කෙරෙහි ඇති වන දැඩි පීඩනය මධ්‍යයේ, ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය පිළිබඳ විවාදය උණුසුම් වී ඇත. මේ නිසා සංක්‍රමණිකයන්ගේ පැමිණීම තවදුරටත් එරට ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ.

මෑත මාසවලදී ජනතා ප්‍රසාදය වේගයෙන් ඉහළ ගොස් ඇති, සංක්‍රමණිකයන්ට එරෙහි දැඩි ස්ථාවරයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන දක්ෂිණාංශික ජනතාවාදී දේශපාලන පක්ෂයක් වන 'වන් නේෂන්' (One Nation) පක්ෂය, වසර තුනක් ඇතුළත තාවකාලික සංක්‍රමණික වීසා 750,000කින් කපා හැරීමට යෝජනා කරමින් ඔවුන්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය මෙම සතිය මුලදී විස්තරාත්මකව ඉදිරිපත් කළේය.

පසුගිය මැයි මාසයේදී එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ සිය ප්‍රථම ආසනය ජයග්‍රහණය කළ මෙම පක්ෂය, ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන්ගේ පැමිණීම 130,000කට සීමා කිරීමටද අවශ්‍ය බව පවසයි. ඒ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ අමාත්‍ය බර්ක් කියා සිටියේ මෙවැනි යෝජනාවක් මඟින් "ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ ඇතැම් අංශ මුළුමනින්ම බිඳ වැටීමේ" අවදානමක් පවතින බවයි.

ජූලි මාසයේදී රජය විසින්, විදේශයන්හි සිට ඉදිරිපත් කරන අයදුම්පත්වලට වඩා දැනටමත් රට තුළ සිටින අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන පවුල් වීසා (family visas) අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවය දීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් ස්ථිර පදිංචිය සඳහා වන වීසා වෙනුවෙන් අයදුම් කළ නිපුණතා සපිරි සංක්‍රමණිකයන්ටද , විදේශයන්හි සිට අයදුම් කරන අයට වඩා ප්‍රමුඛතාවය ලබා දෙයි.

එමෙන්ම, එක්සත් රාජධානිය ඇතුළත් නොවන පරිදි, වෙනත් රටවල් 24ක් සඳහා වන 'වැඩ කරන නිවාඩු වීසා' අයදුම්පත් භාරගැනීමද එයින් තාවකාලිකව අත්හිටුවන ලදී.

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සහාය දක්වන 'සෙට්ල්මන්ට් සර්විසස් ඉන්ටර්නැෂනල්' ආයතනයේ වයලට් රුමෙලියෝටිස් පවසන්නේ, සංක්‍රමණික විවාදය රටට වඩාත්ම යහපත් වන්නේ කුමක්ද යන්න මත පදනම් නොවී, වඩ වඩාත් "කෙටි කාලීන දේශපාලන අරමුණු" මත මෙහෙයවෙමින් පවතින බවයි.

ජාත්‍යන්තර සිසුන්ගේ පවුල් වීසා සඳහා යෝජනා කර ඇති වෙනස්කම් මීට හොඳ උදාහරණයකි," යැයි පැවසූ ඇය, මේ හේතුවෙන් "අනාගත දක්ෂයින්" තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට ඔස්ට්‍රේලියාවට ඇති හැකියාව වඩාත් දුෂ්කර වනු ඇති බවද සඳහන් කළාය.