ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට ස්වේච්ඡාවෙන් මෘදුකාංග හදන කළමනාකරණ සේවා නිලධාරී දුෂාන්ත පනංගල
- Author, සම්පත් දිසානායක සහ හරිනි දිසානායක
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 12
පෞද්ගලික අංශයේ ප්රමුඛ පෙළේ සමාගමක සේවකයෙකුට ඔන්ලයින් (Online) ඔස්සේ නිවාඩුවක් ඉල්ලා අනුමත කරවා ගැනීම සරල කටයුත්තකි. එහෙත්, ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල නිවාඩු අයැදුම් කිරීමේ ක්‍රියාවලිය තවමත් පවතින්නේ අතිශය සංකීර්ණ මට්ටමක ය.
පළමුව ඔබ ඒ සඳහා ලිඛිත අයැදුම්පත් පතක් (125A ආකෘතිය ) ඉදිරිපත් කළ යුතු වේ. ඔබ රාජ්‍ය අංශයේ සේවකයෙකු නම් බොහෝවිට ඔබට නිවාඩුවක් අනුමත කර ගැනීමට නම්, ඔබගේ රාජකාරී ආවරණය සඳහා තවත් නිලධාරියෙකු සොයාගත යුතු වේ. අනතුරුව අධීක්ෂණ නිලධාරියෙකු හෝ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔහු කාර්යාලය තුළ සිටින වේලවක ලිඛිත අයැදුම් පත්‍රය අනුමත කරවා ගැනීමට කල්යල් බැලිය යුතු ය.
එවැනි අවස්ථාවක ඉහළ නිලධාරීයෙකුගෙන් නිවාඩු අනුමැතිය ලබා ගැනීම අසීරු විය හැකි ය.
රාජ්‍ය සේවකයින් දෛනිකව මුහුණ දෙන මෙම ප්‍රශ්නයට සාර්ථක ඩිජිටල් විසඳුමක් ලබා දීමට දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත කළමනාකරණ සේවා නිලධාරියෙකු සමත්ව තිබේ.
ඔහු නමින් දුෂාන්ත පනංගල ය. වෘත්තීය මට්ටමින් කළමනාකරණ සේවා නිලධාරීවරයෙකු වන ඔහුට, මෘදුකාංග සංවර්ධනය කෙරෙහි ඇති දැඩි උනන්දුව සහ කැපවීම නිසා ම ඔහුගේ මෙම උත්සහය ඵලදරා තිබේ.
සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුගේ පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා වූ සාම්ප්‍රදායික භූමිකාවෙන් ඔබ්බට ගිය ඔහුගේ මෙම ස්වේච්ඡා උත්සහය, දකුණු පළාතේ රාජ්‍ය සේවකයින්ට මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම ඩිජිටල්කරණය කිරීමට රජය දරන ප්රයත්නයට ශක්තිමත් සහ සාර්ථක ප්‍රවේශයක් සපයා ඇත.
ඒ සඳහා ඔහුට සිය කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහකාර නිලධාරිනියන් දෙදෙනෙකු වන මනෝජි ද වාස් ගුණවර්ධනගෙන් සහ ගයනා වික්‍රමනායකගෙන් අගනා සහයක් ලැබී ඇති අතර, සියලු ආයතන ප්‍රධානීන් ඔහු දිරිගන්වමින් සහ අවශ්‍ය පහසුකම් සපයමින් ස්වාධීනව වැඩ කිරිමේ වටපිටාවක් සකසා දී ඇති අයුරු බීබීසී සිංහල අප කණ්ඩායමට දැක ගත හැකි විය.
මෙම පද්ධතිය හඳුන්වා දීමට රජයට කිසිදු අමතර වියදමක් දැරීමට සිදුව නැතත් මෙය හඳුන්වා දීම මගින් රජයට විශාල මුදල් ඉතිරියක් සිදුව ඇති බවත් එය සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතුවක් වී ඇති බවත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
ඔහු පැවසුවේ, මෙමගින් (පොදු125) අයැදුම් පත්‍රය ඩිජිටල්කරණය කර ඇති බව යි.
ඉන්ටර්නෙට් පදනම් කර ගත් (Web-based) මෙම මෘදුකාංග පද්ධතිය වෙත ජංගම දුරකතන, ටැබ්ලට්, ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක ඔස්සේ ඕනෑ ම ස්ථානයක සිට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පවතී. මේ සඳහා නිලධාරීන් පද්ධතිය තුළ පූර්ව ලියාපදිංචියක් (Prior Registration) සිදු කර තිබීම අනිවාර්ය වේ.
මෙම පද්ධතිය හරහා ඔන්ලයින් (Online) මගින් නිවාඩු අයැදුම් කිරීමට, රාජකාරි ආවරණ නිලධාරියෙකු නම් කර ගැනීමට සහ එතැන් සිට ඉහළ නිලධාරියාගේ අධීක්ෂණය හා අනුමැතිය සඳහා යොමු කිරීමට ස්වයංක්‍රියව සේවකයින්ට පහසුකම් සැලසේ. මේ සියලු කටයුතු සම්පූර්ණයෙන් ම කඩදාසි භාවිතයෙන් තොරව (Paperless) ඩිජිටල් තාක්ෂණයෙන් පමණක් සිදුවීම මෙහි ඇති සුවිශේෂී ම ලක්ෂණය යි.
මේ හේතුවෙන් කිසිදු අනවශ්‍ය ප්‍රමාදයකින් හෝ රස්තියාදුවකින් තොරව, අතිශය වේගවත්ව සහ කාර්යක්ෂමව තම නිවාඩු අනුමත කරවා ගැනීමට දකුණු පළාතේ රාජ්‍ය සේවකයින් 2000කට පමණ දැන් අවස්ථාව හිමිව තිබේ.
දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල පවිත්‍රතා සේවකයින්ගේ සිට මාණ්ඩලික නිලධාරීන් දක්වා වූ බොහෝ පිරිසක් මෙම සේවය ලබා ගන්නා අයුරු අපට දැක ගත හැකි විය.
තමන්ට ඉතිරිව ඇති නිවාඩු ගණන (Leave Balance) ඕනෑ ම වේලාවක පහසුවෙන් බලා ගැනීමටත්, කිසියම් අවස්ථාවක අනුමත වූ නිවාඩු අයැදුම්පතක් අවශ්‍ය වුවහොත් එක බොත්තමක් ඔබන සැණින් (Single Click) ඉහළ නිලධාරීන්ගේ අත්සන සහිතව නිල නිවාඩු පෝරමය ඩවුන්ලෝඩ් (Download) කර ගැනීමටත් සේවකයින්ට මෙයින් අවකාශ සැලසේ.
දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් සාර්ථකව ආරම්භ කළ මෙම ඩිජිටල් පද්ධතිය, මේ වන විටත් දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වැනි ප්‍රධාන ආයතන 20ක සහ ඊට අනුබද්ධ කාර්යාල 41ක දැනට ක්‍රියාත්මක වේ.
පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ මීළඟ සැලසුම වී ඇත්තේ, මේ වසර අවසන් වීමට ප්‍රථම, මෙම පද්ධතිය තවත් ආයතන 50ක් දක්වා හඳුන්වා දෙමින් එහි ප්රතිලාභ පුළුල් කිරීම යි. එමෙන් ම, සමස්ත දකුණු පළාත් සභා බල ප්‍රදේශය ම ආවරණය වන පරිදි කඩිනමින් ම ආයතන 132ක් කරා මෙම මෘදුකාංග පද්ධතිය ව්‍යාප්ත කිරීම මෙහි අවසන් සහ මූලික ම ඉලක්කය වී තිබේ.
මෙම මෘදුකාංගයේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් (SLCERT) වෙතින් ආරක්ෂක තහවුරුව ලබා දී ඇත.
එමෙන් ම ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය මේ සඳහා සර්වර් (Server) පහසුකම නොමිලේ ම ලබා දී තිබේ.
මෙය නිර්මාණය කිරීමේදී තාක්ෂණික සාක්ෂරතාව නොමැති සේවකයින් මෙය කෙසේ වැළඳ ගනී ද යන්න තමාට අභියෝගයක් වූ බව දුෂාන්ත පනංගල සඳහන් කළේ ය.
'අපි ගොඩක් වෙලාවට ෆෝකස් කළේ User friendly බව'
"අපිට ලොකු චැලේන්ජ් එකක් තිබ්බා නිලධාරීන් කොහොම මේක පිළිගනී ද කියලා? ඒගොල්ලන්ගේ තාක්ෂණික සාක්ෂරතාවත් එක්ක. කිව්වොත් පුදුම වෙයි, ප්‍රාදේශීය සභා දෙකක කුණුට්රැක්ටරේ පිටිපස්සේ නැගලා කුණු එකතුකරන සේවකයින් පවා මේක බොහොම ලස්සනට වැළඳ ගත්තා.
ඒකට හේතුව තමා අපි ගොඩක් වෙලාවට ෆෝකස් කළේ User friendly බව. ඒ කියන්නේ බොහොම සරලව, ගොඩක් ලොකු… තැන්තැන්වල කරක්ගස්සන්නේ නැතිව, බොහොම සරලව එයාට නිවාඩුවක් ඇප්ලයි කරනවා නම් යන්න තියෙන ස්ටෙප් ටික දාල තමා මේ පද්ධතිය නිර්මණය කළේ," දුෂාන්ත පනංගල කියා සිටියේ ය.
බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වන යූ.ජී ලහිරු ප්‍රභාත් මේ සම්බන්ධයෙන් වන සිය අත්දැකීම බීබීසී සිංහල වෙත මෙලෙස පැහැදිලි කළේය.
"ෆොන් තාම අපිට හරියටම හුරු නැහැනේ, බයහිතුනා මේක කොහොම ද දන්නේ නැහැ; යූස් කරන්න ඇහැකිද දන්නේ නැහැ කියලා. පස්සේ කියලා දුන්නට පස්සේ හරිම ලේසියි එක. නිවාඩුව ගෙදර ඉදලා වුණත්, පැය 24ක් ඇතුළත ඕන වෙලාවක අනෙක් එක්කෙනා කැමති නම් නිවාඩු අපිට ගන්න ඇහැකි. වෙනදා ඉතින් අපිට එහෙම නිවාඩුවක් ගන්න බැහැ."
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ බැකෝ ඔපරේටර් කල්ප සචින්ත බීබීසී සිංහල වෙත පැවසුවේ, මීට පෙර පැවති ක්‍රමයට නිවාඩු ගැනීමේදී, ඒ සඳහා දිනයම වැය කිරීමට සිදුවූ බවයි.
"සමහර දවස්වලට නිවාඩුවක් අනුමත කරවා ගන්න අපිට දවසම යනවා. එක්කෝ අපේ වැඩ ආවරණය කිරීම සඳහා වෙනත් රියදුරු මහතෙකු ඉන්න ඕනේ; නැත්නම් නිවාඩු අනුමත කරන්න ලේකම් මහත්තයා හරි ප්‍රධාන ලිපිකරු මහත්තයා කාර්යාලයේ රැඳී ඉන්න ඕනේ."
"නමුත් වර්තමානයේ පවතින මාර්ගගත (Online) පද්ධතිය නිසා දැන් අපට ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ නිවාඩු ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එහිදී අපට සිදු කිරීමට ඇත්තේ අදාළ තීරුවල 'ටික්' (Tick) කරන්න විතරයි. මේ නිසා නිවසේ ඉදලා වුණාත් ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව, සුළු වේලාවකින් නිවාඩුවක් අයදුම් කිරීමට අපට පුළුවන්."
ආයතනය වසා තිබෙන දිනයක වුවද, ඊළඟ දිනය සඳහා අවශ්‍ය නිවාඩුව කලින්ම වෙන් කරවා ගැනීමට මෙමගින් සේවකයන්ට විශාල පහසුවක් සැලසී ඇතැයි ඔහු කියා සිටියේ ය.
ප්රතිලාභ ලැබූ ආයතන
විගණන ක්ෂේත්රය තුළ පුළුල් විෂය පථයක් සේම දැඩි අවධානයක් යොමු කළ යුතු අංශයක් ලෙස ආයතනයක කාර්ය මණ්ඩල පැමිණීම සහ නිවාඩු කළමනාකරණය (Leave Management) හැඳින්විය හැකිය.
මෙහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යටතේ නිවාඩු විෂය නිලධාරීන් මෙන්ම සාමාන්‍ය කාර්ය මණ්ඩලය ද විවිධාකාර ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බව විගණන අත්දැකීම් තුළින් මනාව පැහැදිලි වන බව දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්යක්ෂ සී.එස් එගොඩගේ බීබීසී සිංහල වෙත කියා සිටියා ය.
කාර්ය මණ්ඩලයේ හැසිරීම් දෙස බැලීමේදී, ඇතැම් සේවකයින් නිසි පරිදි ලිඛිතව නිවාඩු අයදුම්පත් ඉදිරිපත් නොකර, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා නොකර සිටින අවස්ථා බහුලව දක්නට ලැබේ.
තවත් සමහරු දීර්ඝ කාලයක් තිස්සේ සේවයට වාර්තා නොකර සිටීම, වැඩ තහනමකට ලක්වීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙයි. රාජ්‍ය නිලධාරියෙකුට වර්ෂයක් සඳහා හිමිවන නිශ්චිත නිවාඩු ප්‍රමාණයක් පවතින නමුත්, ඇතැම් නිලධාරීන් එම සීමාව ඉක්මවා නිවාඩු ලබා ගන්නා අවස්ථා විගණන විමසුම් (Audit Queries) මගින් පෙන්වා දීමට සිදු වන බවද ඇය සඳහන් කළාය.
එවැනි අවස්ථාවලදී අදාළ නිලධාරීන්ගෙන් වැටුප් රහිත නිවාඩු (No-pay leave) අයකර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන විගණන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටත් විගණකවරුන් ලෙස සිදුවන බවත්, හඳුන්වා දී ඇති මාර්ගගත (Online) නිවාඩු කළමනාකරණ පද්ධති හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයන් බොහෝ දුරට මගහැරී ගොස් ඇති බවද ඇය පැහැදිලි කර සිටියා ය.
දෛනිකව සහ ක්ෂණිකව යාවත්කාලීන වන (Real-time Updated) මෙම ඔන්ලයින් පද්ධති හරහා සේවකයාට මෙන්ම ආයතනයටද ප්රතිලාභ අත් වී තිබේ.
දකුණු පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමා රක්ෂක කොමසාරිස් රසිකා යූ.අයි. දිසානායක බීබීසී සිංහල වෙත කියා සිටියේ, මෙම online නිවාඩු කළමනාකරණ පද්ධතිය පිළිබඳ දැනගත් වහාම තමන් එය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.
කොමසාරිස්වරිය කියා සිටියේ මෙම නිලධාරීන් වැඩි දෙනෙක් ප්‍රධාන කාර්යාල වලින් පිටත සේවය කිරීම සහ මැනුවල් ක්‍රමයට නිවාඩු සටහන් කරන බැවින් ඔවුන්ගේ නිවාඩු තොරතුරු ක්ෂණිකව දැන ගැනීමේ හැකියාවක් කලින් නොතිබූ බවයි. "උසස් වීමකදී , විශ්‍රාම යාමේදී සේවකයෙක්ගේ නිවාඩු අපි බලලා සම්පූර්ණ කරන්න ඕනේ. ලොකු දුෂ්කරතාවක් තිබ්බා එම තොරතුරු ලබා ගන්න. අදාළ කාර්යාල වලින් දෙන ඒවත් පරස්පරයි ඇතැම් වෙලාවට" ඇය කියා සිටියා ය.
"අපිට හරි අපහසු තත්ත්වයක් තිබ්බා මැනේජ් කර ගන්න. ඉතින් මෙහෙම පද්ධතියක් හඳුන්වා දුන්නා කියලා කිව්ව ගමන් මම මුළින්ම ඉල්ලීමක් කළා මේක අපේ ආයතනයටත් ලබා දෙන්න කියලා. දැන් ඇත්තටම හරිම පහසුයි. මට මෙතන ඉදන් බලන්න පුළුවන් කොහොම ද නිවාඩු විස්තර කියලා"
'මගේ පරිගණක දැනුමත් එක්ක මට හැම වේලේ ම පැවරුණේ දත්ත එක්ක වැඩ කරන්න'
මෙම සුවිශේෂී මෘදුකාංග පද්ධතියේ නිර්මාණකරු වන දුෂාන්ත පනංගල රාජ්‍ය සේවයට එක්ව ඇත්තේ, 2007 වසරේදී ය. ඒ, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරකට ය.
"මම 2007 වසරේ පළමුවෙන් ම කළමනාකරණ සහකාර නිලධාරියෙක් විදිහට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තමා සේවයට වාර්තා කළේ. කළමනාකරණ නිලධාරියා කියන්නේ අර පරණ තිබ්බ ලිපිකරු කියන සේවාවන් ඒකාබද්ධ කරලා හදපු සේවාවක්. මේ සේවාවන් එක්ක තිබ්බේ, සාමාන්‍යයෙන් ලිපිගොනුත් එක්ක වැඩ කරන වගේ රාජකාරි. නමුත් මගේ පරිගණක දැනුමත් එක්ක තිබ්බ කුසලතාව නිසා, මට හැම වේලේ ම පැවරුණේ දත්ත එක්ක වැඩ කරන්න," දුෂාන්ත පනංගල සඳහන් කළේ ය.
ලිපිකරු තනතුරක රාජකාරි ආරම්භ කළ ද, ඔහු සතු වූ සුවිශේෂී පරිගණක දැනුම හේතුවෙන් ඉතා ඉක්මනින් ම ඔහු දත්ත විශ්ලේෂණ කටයුතු (Data Analysis) සඳහා අනුයුක්ත කිරීමට බලධාරීන් පියවර ගත්තේ ය. එහිදී සිය පරිගණක කුසලතා මැනවින් ප්‍රයෝජනයට ගත් ඔහු, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය ඇතුළු දෙපාර්තමේන්තුවේ බොහෝ සංකීර්ණ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ ක්‍රමවත් කිරීමට ඍජුව ම දායකත්වය සැපයීය.
ඉන් අනතුරුව, 2015 වසරේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. එහිදී මුලින් ම ජපන් භාෂාව ප්‍රගුණ කළ ඔහු, පසුව පරිගණක පාඨමාලාවකට සම්බන්ධ විය. කෙසේ වෙතත්, එම පාඨමාලාව අතරමග නවතා දමා, ජපානයේ ප්රමුඛ විශ්වවිද්‍යාලයක පර්යේෂණ පාඨමාලාවක් (Research Course) හැදෑරීමට ගොස් තිබේ.
වසර දෙක හමාරක ජපානයේ ගත කළ ජීවිතයෙන් පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ යළි රාජ්‍ය සේවයට එක් වේ.
'අපිට මේකෙන් ලැබෙන්නේ, ආත්ම තෘප්තියක් විතරයි'
"මං රටවල් කිහිපයක සංචාරය කරලා තියෙනවා. සිංගප්පූරුව, මැලේසියාව වගේ දියුණු රටවල්වල. ඒ වගේ ම ජපානය වගේ දියුණු ම රටක ජීවත් වෙන්න වාසනාව ලැබුණා කෙටි කාලයක්. මං ඒවයේ අත්විඳපු දේවල් තියෙනවා. මම කැමති ඒ දේ අපේ ලංකාවේ මිනිස්සු අත්විඳනවා නම්. ඒ දේ කරන්න තමා මම කටයුතු කරගෙන යන්නේ."
43 වන වියේ පසු වන දුෂාන්ත පනංගල දෙදරු පියෙකි. ඔහුට පහසුවෙන් ම පෞද්ගලික අංශයේ ඉලක්කම් 6ක වැටුපකට යා හැකි වුවත්, ඔහුගේ අරමුණ මූල්‍ය ප්‍රතිලාභයකට එහා ගිය එකකි.
ඔහුගේ එම කැපවීමට 2025 වසරේදී දකුණු පළාත් සභාවෙන් ඔහුට ප්‍රශංසා සහතිකයක් ලබා දී තිබේ.
"රාජ්‍ය සේවකයයෝ විදිහට මම හිතන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා හිතන්න ඕනේ. අපිට මහජන අරමුදලෙන් පඩි ගෙවන්නේ ඒගොල්ලන්ගේ කාර්යයන් ඉටු කරන්න. මම හිතනවා අපි වගේ කට්ටිය මෙහෙම රාජ්‍ය සේවයට මේ වගේ දායකත්වයක් නොදුන්නොත් කවදාවත් මේ රට ගොඩ ගන්න බැහැ. ඒක නිසා මට ලැබෙන දේ නෙමෙයි මගෙන් ලෝකයට කරන්න ඕන දේ ගැන තමයි මං හිතන්නේ. ඒ ආකල්පයෙන් තමයි මං වැඩ කරන්නේ."
"දැන් මට සහය සම්පත් නිලධාරීනියන් දෙදෙනෙක් ඉන්නවා. විශ්වාස කරන්න ඒ ගොල්ලෝ සමහර දවස්වලට රෑ 2ක 3 වෙනකං සමහර දවස්වලට ටෙස්ටින් කරනවා. එහෙම ටෙස්ටින් කරලා එගොල්ලො දානවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ටික හරි කියලා. ඒ වගේ ලෝකු සහයෝගයක් ඒ ගොල්ලන්ගෙන් හම්බ වෙනවා."
"අපිට මේකෙන් ලැබෙන්නේ ආත්ම තෘප්තියක් විතරයි, ගොඩක් වෙලාවට. අපිට හරි සතුටුයි මේ අපි හදපු සිස්ටම් එක, මේ අපේ සිස්ටම් එක, මේ මම හදපු සිස්ටම් එක කියලා මට පෞද්ගලිකව සතුටු වෙන්න. මේක හැම තැනම දුවලා පැල වෙනවා ලස්සනට දුවනවා දකින කොට, ඒක තව තැනකට පූර්වාදර්ශක් වෙනකොට ඒ ලැබෙන සතුට තමයි මම ලබන ප්‍රතිලාභය." දුෂාන්ත පනංගල වැඩිදුරටත් පැවසීය.
'එයා අපිට ලොකු ඇසට් එකක්'
"එයා අපිට ලොකු ඇසට් එකක්, ඇත්තට ම අපේ කාර්යාලයට විතරක් නෙමෙයි, පළාතට ම එයා මේ සේවය සපයන්නේ," පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ බීබීසී සිංහල වෙත පැවසීය.
"පනංගල මහත්තයාගේ තියෙන වැදගත් ම දේ තමයි එයා බොහොම කැමති යි මේවගේ දෙවල්වලට යොමු වෙන්න. බොහෝ නිලධාරීන්ට තියෙන්නේ තමන්ගේ ජොබ් එක කරගෙන ඉන්න බලාපොරොත්තුව. නමුත් මෙයා ඊට වඩා ලොකු දෙයක් දෙනවා. ඒකත් එක්ක අපේ කාර්යාලයේ අනෙකුත් නිලධාරීනුත් සම්බන්ධ වෙලා, ICT නිලධාරීන් සම්බන්ධ වෙලා තමා මේ වැඩේ කරන්නේ, අපිට ලොකු ශක්තියක්," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
දැනට දකුණු පළාත් සභාව මෙවැනි පද්ධති රාශියක් ලබාගෙන ඇත්තේ, පෞද්ගලික ආයතන වෙත මුදල් ගෙවීමෙනි. එහෙත් දැන් දුෂාන්ත පනංගල ප්රමුඛ දකුණු පළාත් සභාවේ තොරතුරු තාක්ෂණ අංශය දැන් මෙවැනි පද්ධති කිහිපයක් ම සංවර්ධනය කර පවත්වා ගෙන යයි.
දැන් මෙම ඔන්ලයින් නිවාඩු කළමනාකරණ පද්ධතිය ලබා ගැනීම සඳහා තවත් රාජ්‍ය ආයතන කිහිපයකින් ම ඉල්ලීම් ඉදිරිපත් ව තිබේ.
ඒ අනුව ඒ සඳහා පහසුකම් සැලසීමට සූදානම් බව පළාත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
'Performance base ගෙවීම් ක්‍රමයක් රාජ්‍ය සේවයට එන්න ඕනේ'
දුෂාන්ත පනංගල, සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ සියලු කටයුතු ඩිජිටල්කරණ කළ යුතු යි යන ආකල්පයක සිටියි.
ඇතැම් කාලවල විවිධ බෝග වර්ග වගා කර අස්වැන්න විකුණාගත නොහැකි ගොවීන් වෙනුවෙන් නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට ද අදහස් කරන බව ඔහු අප සමග කියා සිටියේ ය.
ඔහු සඳහන් කළේ, ගොවීන් විඳින දුෂ්කරතා දැකීමෙන් තමන්ට ඒ සඳහා අදහසක් ඇති වූ බව ය.
ඉල්ලුම හා සැපයුම අනුව යම් කන්නයක වගා කළ යුතු බෝග ප්‍රමාණය නිශ්චය කර ගැනීමට මෙමගින් පහසුවක් වනු ඇතැයි ඔහු පැවසීය.
"ලැබෙන පොඩි වැටුප අරගෙන මම ඒ වගේ කීප ගුණයක සේවයක් රට වෙනුවෙන් කරන්න තමා උත්සහය තියෙන්නේ. මට ලැබෙන දේට වඩා දෙයක් රට වෙනුවෙන් දෙන්න ඕනේ කියන ආකල්පමය රාමුව ඇතුළේ ඉන්න නිසා තමා මම අද දක්වා ම මේක කරගෙන යන්නේ. හැබැයි මම හිතනවා මේ ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕනේ. Performance base ගෙවීම් ක්‍රමයක් රාජ්‍ය සේවයට එන්න ඕනේ. තරග විභාග ප්‍රතිඵල මත තනතුරුවල ඉදිරියට යන්න අවස්ථාව දුන්නා වගේ ම, Skill එකක් තියෙන අයට ඉස්සරට යන්න පුළුවන් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයේ හැදෙනවා නම්, Skill එක තියෙන අය රාජ්‍ය සේවය වෙනුවෙන් ලොකු දායකත්වයක් දීලා රාජ්‍ය සේවයේ ඉහළ තැනකට එන්න පෙළඹවෙන්න පුළුවන්," දුෂාන්ත පනංගල වැඩිදුරටත් කියා සිටියේ ය.
'Cyber security' සම්බන්ධයෙන් වැඩි අධ්‍යාපනයක් ලැබීමට ඔහු විශාල උනන්දුවකින් පසුවුවත්, නිවසේ කටයුතුත් සමග අධ්‍යයන කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීම ඔහුට දුෂ්කර වී තිබේ.
"මම මේ IT Industry එකේ තාම කන්දක් පාමුල ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මට තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දවසින් දවස මේ ෆීල්ඩ් එක අලුත් වෙනවා. ඒ වගේ ම මේවට තියෙන threat එක ගොඩක් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්, Cyber security පැත්තෙන් අපිට ලොකු අවබෝධයක්, දැනුමක් නැතිව ඉස්සරහට Software develop කරන්න බැරි වෙනවා. ඒක නිසා අපි ඒ දැනුම ගොඩක් ඉක්මනින් ලබා ගන්න ඕනේ," ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
දැනට ඔහු නිර්මාණය කර ඇති මෘදුකාංග
1. විගණන විමසුම් කළමනාකරණ පද්ධතිය (පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව)
පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් පළාත් රාජ්‍ය ආයතන වෙත යොමු කරනු ලබන සියලු ම විගණන විමසුම් හා එහි ප්‍රගතිය තත්කාලීනව යාවත්කාලීන කිරීම සිදුකරන මෘදුකාංගයකි. දකුණු පළාතේ අදාළ සියලු ම රාජ්‍ය ආයතන වලට මේ පද්ධතිය සමග මාර්ගගතව එක් වීමට පහසුකම් ලබා දී ඇත. එම දෙපාර්තමේන්තුව විසින් විගණන විමසුම් පිළිබඳව සියලුම වාර්තා ලබාගනු ලබන්නේ මෙම පද්ධතිය මගිනි.
2. නිවාඩු කළමනාකරණ පද්ධතිය
මාර්ගගතව නිවාඩු කළමනාකරණය සදහා නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගය 2025-07-01 දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.
3. මාර්ගගත වාර්ෂික ස්ථානමාරු (2024-2025)
2022 වර්ෂයේ අර්ධ මාර්ගගත ආකාරයෙන් ආරම්භ කරන ලද වාර්ෂික ස්ථාන මාරු 2024 හා 2025 මෘදුකාංගය මගින් සම්පුර්ණයෙන් ම මාර්ගගතව අයැදුම්පත් කැඳවීම, පරීක්ෂා කිරීම, නිර්දේශ කිරීම, අභියාචනා යොමු කිරීම, 2B ආකෘතිය ආදී කටයුතු සිදුකරන ලදී. කඩදාසි භාවිතයෙන් ඉවත්ව මාර්ගගතව මෙම ක්‍රියාවලිය සිදුවන නිසා වාර්ෂිකව මුද්‍රණ ගාස්තු, තැපැල් ගාස්තු සඳහා වැය වන මුදල් ඉතිරි කර ගැනීමට හැකිව තිබේ.
4. පුහුණු කළමනාකරණ පද්ධතිය (MDTI - වක්වැල්ල)
පුහුණු ඉල්ලීමේ අයැදුම්පත යොමු කරන අවස්ථාවේ සිට, නිලධාරීන් පුහුණුව සඳහා තෝරා ගැනීම, වැඩසහන් නිර්මාණය කිරීම, පුහුණුව සඳහා කැඳවීම, පැමිණීම තහවුරු කිරීම, පුහුණුව අවසන් කිරීම දක්වා සියලු ම කටයුතු කළමනාකරණය කිරීම සදහා නිර්මාණය කළ මාර්ගගත මෘදුකාංගයකි. පුහුණු කැඳවීමේ ලිපිය හා පැමිණීමේ සහතිකය ස්වයංක්‍රීයව නිර්මාණය වේ. මීට අමතරව පුහුණුව ලැබූ නිලධාරීන්ගේ දත්ත පද්ධතියක් ස්වයංක්‍රීයව නිර්මාණය වේ.
5. මහජන පෙත්සම් කළමනාකරණ පද්ධතිය (සභා ලේකම් කාර්යාලය )
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ මහජන පෙත්සම් කළමනාකරණය සඳහා මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
6. කාර්යසාධන අගැයීම් පද්ධතිය
නිලධාරීන්ගේ කාර්ය සාධනය අගැයීම සඳහා මෙම පද්ධතිය නිර්මාණය කර තිබේ. මෙය 2022 වර්ෂයේ නිර්මාණය කරන ලද පද්ධතියකි.
7. දීප ව්‍යාප්ත නිලධාරීන්ගේ දත්ත පද්ධතිය
ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය සඳහා මෙම පද්ධතිය නිර්මාණය කර ඇති අතර එය කාර්යාලීය වෙබ් අඩවිය සමග සම්බන්ධව ක්‍රියාත්මක වේ.
8. තොරතුරු තාක්ෂණ සම්පත් කළමනාකරණ පද්ධතිය (ITRMS)
ප්‍රධාන ලේකම් කාර්යාලයේ පරිගණක හා ආශ්රිත උපකරණ නඩත්තු කිරීම සදහා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා එහි කාර්ය සාධනය නියාමනය කිරීම සඳහා නිර්මාණය කරන ලද පද්ධතියකි.
9. ශිෂ්‍යත්ව කළමනාකරණ පද්ධතිය
සේවා ව්‍යවස්ථාවට අනුකුලව අධ්‍යයන ශිෂ්‍යත්ව අයැදුම් කිරීමේ සිට අවසාන අනුමැතිය දක්වා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම මාර්ගගතව කළමනාකරණය සඳහා වන පද්ධතියකි. පිරිස් හා පුහුණු අංශය සඳහා නිර්මාණය කෙරෙන මෙම පද්ධතිය අවසන් අදියරේ නිර්මාණය වෙමින් පවතී.
10. පරිවාස දෙපාර්තමේන්තුව සඳහා වූ දත්ත කළමනාකරණ පද්ධතිය
අදියර 01 - මෙම මාර්ගගත පද්ධතිය මගින් දකුණු පළාත් පරිවාස දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන හා අධීක්ෂණය කරනු ලබන ළමා සුරැකුම් මධ්‍යස්ථාන හා අනෙකුත් කාර්යාල මාර්ගගතව එක් කර ඇත. සියලු ම දරුවන්ගේ තොරතුරු, ලිපිගොනු පද්ධතියට එක් කර ඇත. සංඛ්‍යා ලේඛන ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.