පළාත් 6කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු: මේ දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන්නේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අද දිනයේ (අප්‍රේල් 24) දිවයිනේ පළාත් 6කට පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රිකය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන්නේ ඇයි?

පසුගිය දින කිහිපය පුරා ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇති විය.

අද (අප්‍රේල් 24) පෙරවරු 8.30න් අවසන් වූ පසුගිය පැය 24 තුළ දිවයිනේ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 95.5ක් කැටන්දොළ (ගාල්ල දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවීමේ කාලගුණ තත්ත්වය ඉදිරි සතිය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මේ දිනවල පවතින පළමු අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ ලක්ෂණ අනුව යි.

පළමු අන්තර් මෝසම් කාලසීමාව මාර්තු සිට අප්‍රේල් දක්වා පවතියි.

මෙය නිරිතදිග මෝසමට පෙර ඇති වන පරිවර්තන කාලගුණික සමය ලෙස සැලකෙයි.

මෙම කාලයේදී දිවයින පුරා සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උදෑසන කාලය නිල් පැහැති අහසක් සහිතව පායන ස්වභාවයක් දැකිය හැකි යි.

පළමු අන්තර් මෝසම් කාලසීමාව තුළ මධ්‍යම කඳුකරයට සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි ය. දිනය ආරම්භයේ උණුසුම් කාලගුණයක් සහ සවස් කාලයේ වැසි වලාකුළු නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වය යි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, වැසි ලැබුණ ද මෙම වර්ෂාව ජලාශ පිරීයාමට තරම් වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව ය.

"පැයක් එක හමාරක් විතර තියෙන වැස්සක්. සමහර විට මිලිමීටර් 50–75 මට්ටමේ වර්ෂාපතනයන් හම්බ වෙනවා. නමුත් ලොකුවට ජලාශ පුරවන්න තරම් ප්‍රමාණවත් නැහැ. නමුත් පවතින වියළි තත්ත්වය තරමක් අඩුවෙයි," ඔහු පැහැදිලි කළේ ය.

නිරිත දිග මෝසමට මොක ද වෙන්නේ?

නිරිත දිග මෝසම් කාලගුණය මැයි සිට සැප්තැම්බර් දක්වා පවතී. සාමාන්‍යයෙන් මැයි තුන් වන සතිය වන විට නිරිත දිග මෝසම ආරම්භ වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසුවේ, දැනට නිරිත දිග මෝසම් ලක්ෂණ නොමැති වුවත් නියමිත කාලයේදී මෝසම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

පසුගිය වසරවල දත්ත සමග සලකා බැලීමේදී නිරිත දිග මෝසම ආරම්භයේදී මෙරට නිරිත දිග ප්‍රදේශවලට ඉතා තද වැසි ඇති වන අතර ඒ සමගම ගංවතුර හා නායයෑම් ඇති විය හැකි ය.

එල්-නිනෝ තත්ත්වයෙන් බලපෑමක් වෙයි ද?

මේ වසර තුළ එල්-නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට වාර්තා පළ වීම නිසා ඉන් නිරිත දිග මෝසමට බලපෑමක් වෙයි ද?

පැසිෆික් සාගරයේ ජලය සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් වූ විට එල්-නිනෝ ඇති වන අතර ලා-නිනා යනු එහි විරුද්ධ තත්ත්වය යි.

එල්-නිනෝ මගින් සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන අතර ලොව ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම වැඩි වීම සහ තවත් ප්‍රදේශවලට නියඟය මෙන් ම ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇති කරයි.

"තව ම එල්-නිනෝ තත්ත්වයක් නැහැ. දැනට මැයි මාසයෙන් පස්සේ තමා එල්-නිනෝ තත්ත්වයක් බලාපරොත්තුවෙන්න හැකියාව තියෙන්නේ. මේකෙන් අපිට බලපෑමක් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නිරිත දිග මෝසමට." මෙරිල් මෙන්ඩිස් පැහැදිලි කළේ ය.

"මැයි මාසයේ ගැටලුවක් වෙන එකක් නැහැ. බොහෝ දුරට සාමාන්‍ය වැස්සක් බලාපොරොත්තු වෙනවා අපි. මෝසමේ මැද ජූලි - අගෝස්තු වන විට තමා මොක ද තත්ත්වය කියලා බලන්න වෙන්නේ."

දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව මේ සම්බන්ධයෙන් පුරෝකථනය කරගෙන යන අතර මෙම මස අග වන විට ඒ සම්බන්ධයෙන් පැහැදිලි අනාවැකියක් ඉදිරිපත් කළ හැකි බව ඔහු සඳහන් කළේ ය.