අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකරමින් කුසල් මෙන්ඩිස් පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තැබූ වාර්තා

ඡායාරූප මූලාශ්‍රය, Peshawar Zalmi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මේවන විට වැඩි අවධානයට ලක්ව සිටියි. ඒ මේවන විට පැවත්වෙන පකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දක්වා ඇති දක්ෂතා හේතුවෙනි.
අද (අප්‍රේල් 22) වන විට පකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා ලෙස ඉදිරියෙන් සිටීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.
එමෙන්ම කුසල් මෙන්ඩිස් PSL තරගාවලියේදී සුවිශේෂී වාර්තා කිහිපයකට දායකවී තිබේ.
කුසල්ට හිමිවූ වටිනාකම සහ දැක්වූ දක්ෂතා
ඉකුත් පෙබරවාරි මාසයේ පැවති PSL ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් පකිස්ථාන රුපියල් කෝටි 4.2කට අලෙවි විය. එහිදී ඔහු මිලදී ගැනීමට පෙෂාවර් සැල්මි කණ්ඩායම සමත් විය.
ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් මිලදී ගැනීමට ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ පෙෂාවර් සැල්මි කණ්ඩායම අතර උණුසුම් තරගකාරිත්වයක් පැවතිණි.
31 හැවිරිදි කුසල් මෙන්ඩිස් මෙවර පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ දී එක් ශතකයක් සහ අර්ධ ශතක 03ක් රැස් කර ඇත. ඔහු ඉනිම 07 කදී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 413ක් වන අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වේ. ඔහුගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 169.95ක් ලෙස සටහන් වේ.
මෙම තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හයේ පහරවල් 18ක් සහ හතරේ පහරවල් 39ක් එල්ල කර ඇත. එමෙන්ම කඩුලු රකින්නෙකු ලෙස කුසල් මෙන්ඩිස් උඩ පන්දු 06ක් සහ ස්ටම්ප් කිරීම් දෙකකට දායක වී ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
PSL තරගාවලි ඉතිහාසයේ කුසල් තැබූ වාර්තා
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසු කිරීමට ද කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.
2025 සහ 2026 තරගාවලි දෙකේදී කුසල් මෙන්ඩිස් පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කර ඇති අතර ඔහු මේ වන විට තරග 12කට ක්‍රීඩා කර තිබේ. එම තරග 12 තුලදී කුසල් මෙන්ඩිස් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 556කි.
කුසල් මෙන්ඩිස්ට පෙර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී ලූක් රොන්චි, උස්මාන් ඛාන් සහ රාසී වැන් ඩර් ඩුසන් (Rassie van der Dussen) යන පිතිකරුවන් තරග 13කදී ලකුණු 500 සීමාව පසු කිරීමට සමත් විය.
මෙවර තරගාවලියේදී කුසල් මෙන්ඩිස් කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 52 කදී ලකුණු 109ක් රැස් කිරීමට සමත්වූ අතර එය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ශතකයක් රැස් කළ පළමු අවස්ථාව මෙය වේ.
කුසල් අසරණ කළ ප්රශ්නය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර ඉකුත් අප්‍රේල් 11 වැනිදා කුසල් මෙන්ඩිස් ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 48 කින් ලකුණු 74ක් රැස් කළ අතර ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කුසල් මෙන්ඩිස්ගෙන් විමසූ ප්‍රශ්නයක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
"ඔබ පසුගිය වසරේ දී ආරක්ෂක ගැටළු නිසා පකිස්ථාන ලීග් තරගාවලිය නතර කළාට පස්සේ IPL තරගාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කරන්න ගියා. නමුත් මේ අවුරුද්දේ දී ඔබව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තෝරා ගත්තේ නැහැ. නමුත් නැවත වරක් ඔබට පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී අවස්ථාවක් ලබාදීලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ" එහිදී මාධ්‍යවේදියා විමසුවේය.
එහිදී කුසල් මෙන්ඩිස් එයට පිළිතුරු නොදුන් අතර, මාධ්‍ය කළමනාකරු මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටියේ තරගයට අදාළ ප්‍රශ්න පමණක් විමසන ලෙසය.
මාධ්‍යවේදියා මෙම ප්රශ්නය විමසීමට හේතුව වුයේ පසුගිය වසරේ ඉන්දියාවේ පෙහෙල්ගාම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පකිස්ථාන අතර ඇතිවූ යුදමය තත්ත්වය හේතුවෙන් 2025 පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය අතරමග නතර කිරීමට සිදුවූ අතර පසුව කුසල් මෙන්ඩිස් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීමයි.


































