රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ යළි රැඳවුම් භාරයට: වරුණ ජයසුන්දර ගැනත් අධිකරණයේදී අනාවරණයක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සැකකාර සුරේෂ් සලේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.. මේ පරීක්ෂණය තමයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ සිදුකළ විමර්ශනවල හැරවුම් ලක්ෂය. 21 වෙනි දා පාස්කු ප්‍රහාරයේ හත්වන සැමරුම සැමරුවා. හැබැයි පාස්කු ප්‍රහාරයේ අට වන සැමරුම සමරන්න අපි අවස්ථාවක් තියන්නේ නෑ. ඊට වගකිවයුතු සියලු දෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා. 2015 වසරේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්වෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය පරදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වෙනවා. ඉන්පසුව එම වසරේ ඔක්තෝබර් මස 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරාජසිංගම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් රිමාන්ඩ් භාරයට පත් වෙනවා. ඉන්පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකට හිරිහැර කිරීම් සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ වෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අත්අඩංගුවට පත්වන්නේ අද සැකකරු වශයෙන් ඉදිරිපත් කර තිබෙන සුරේෂ් සලේ නමැත්තාගේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්."

"මේ සැකකරු ප්‍රහාරක බළකාය පවත්වාගෙන ගොස් තිබෙනවා. දේශපාලකයින් ආරක්ෂා කිරීම සඳහා ඒක පවත්වාගෙන ගොස් තිබෙන්නේ. ඉන්පසුව 2018 වසරේ ඔක්තෝබර් මස දින පනස් දෙකේ ආණ්ඩුවක් බලයට එනවා. 2018 වසරේ දෙසැම්බර් මස 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා මේ දින පනස් දෙකේ ආණ්ඩුව නීති විරෝධී බවට. ඉන්පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුදු පිළිමවලට පහර දීමේ සිද්ධීන් වෙනවා. ඒ සිද්ධීන්වලට ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ යි කියලා යුද හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. මේ අතරතුර තමයි වවුනතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය වන්නේ. මේ ඝාතනයට "අජන්තන්" නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. එම ඝාතනවලට සහරන් හෂීම්ගේ කල්ලිය සම්බන්ධ බව වසන් කිරීමටයි එසේ කරන්නේ. සහරාන් හෂීම්ගේ කල්ලිය වෙත විමර්ශන ගමන් කිරීම වැළැක්වීම සඳහායි එසේ කරන්නේ. ඉන්පසුව එම ඝාතන LTTE සංවිධානය කළ බවට අඟවන්න උත්සහ කරනවා. ඉන්පසුව පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. පාස්කු ප්‍රහාරයේ සිදුවී දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ නමැති පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට. සහරාන් සහ ඥානසාර යන පාර්ශව දෙක ම නඩත්තු කරල තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය විසින්," යනුවෙන් සඳහන් කර සිටියේ ය.

'තහවුරු වූ කරුණු විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න'

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්" යනුවෙන් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?" යනුවෙන් විමසුවේ ය.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, "අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතු යි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොක ද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන්. එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා," යනුවෙන් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තහවුරු කළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, "පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයේ පිරීමක් සිදුවෙනවා. එම සිද්ධියෙන් 16 දෙනෙකු මිය යනවා. ඒත් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ 17 දෙනෙක් මැරුණා කියලා. පසුව පිපිරිම සිදුවු ස්ථානයේ මේසයක් මත තිබී සාරා ජෙස්මින් නමැත්තියගේ ජාතික හැදුනුම්පත හමුවෙනවා. සාරා ජස්මින් නමැත්තිය මියගොස් නැති බවට DNA වාර්තාව දෙකක් ඉදිරිපත් වෙනවා. එසේ තිබියදී කෂේරුකාවක කැබැල්ලක් ඉදිරිපත් කරලා තුන්වන DNA වාර්තාව ලබාගන්නවා. සාරා ජස්මින් මියගිය බවට," යනුවෙන් සඳහන් කර සිටියේ ය.

අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබා ගැනීමේ ප්‍රගතිය

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින් "මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝගය නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය කෙසේ දැයි" ප්‍රශ්න කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල්වරයා සඳහන් කළේ මෙම පුද්ගලයා මේ වන විට ප්‍රංශයේ වාසය කරන බව ය.

ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කැඳවා සූම් ඔස්සේ ප්‍රකාශ ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවත් ප්‍රශ්නයක් මතු කරමින් "අසාත් මවුලානා නැමැත්තා යුක්තිය උදෙසා මෙම ප්‍රකාශය සිදු කළා නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැකිළෙන්නේ ඇයි දැයි" ප්‍රශ්න කර සිටියේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ජීවිත ආරක්ෂාව තකා ඔහු ප්‍රකාශ ලබාදීමට පැකිළීමක් දක්වන බව ය.

ඉන් අනතුරුව අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනි මේ ආකාරයේ නඩුවලට යුද හමුදා නිලධාරීන් සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළා ම ඊට අදාළ නඩු ගාස්තු ගෙවන්නේ යුද හමුදා අරමුදල්වලින්. ඒ වගේ ම පරීක්ෂණවලට සහය ලබා දෙන්නෙත් නෑ. ඒනිසා මා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂණවලට සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයාට හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාට නියෝගයක් නිකුත් කරන ලෙසට" යනුවෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා "යුද හමුදාව කියන්නේ රජයේ ආයතනයක්. ඔවුන් සිට ගත යුත්තේ නීතිපතිවරයා සමග යි. ඊට පරිබාහිරව ගිහිල්ලා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් කරන්න බැහැ. එවැනි දෙයක් කරනවා නම් ඒක නීතිවිරෝධී ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවක් නෑ. මොක ද මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලය තිබෙනවා. මෙවැනි නියෝගයක් නිකුත් කිරීම හරහා නීතිපතිවරයාගේ බලය හෑල්ලුවට ලක්වීමක් සිදුවෙනවා. නමුත් අධිකරණ නියෝගවලට පරිබාහිරව යම් කණ්ඩායමක් කටයුතු කරනවනම් ඔවුන්ට එරෙහිව අධිකරණට අපහාස කිරීම යටතේ කටයුතු කළ හැකි යි," යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී පැමිණිල්ලෙන් චෝදනාවක් එල්ල කලා මගේ සේවාදායකයා ප්‍රහාරක බලකායක් මෙහෙයවා ඇති බවට. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අදාල සිදුවීම් සිදුවන කාලයේ ඔහු සිටියේ විදේශ ගතව. ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත්වෙන්නේ 2011 වසරේ. අසාද් මවුලාන ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍යයි. ඔහු විදේශයක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන්නේ. ඔහු ලංකාවේ අධිකරණය දූෂිතයි කියලත් ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා මා ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණය කොන්ත්‍රාත් පදනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් බැහැර පොලිසියේ වෙන ඕනෑම විමර්ශන අංශයක් වෙත යොමු කරන ලෙසට," ඊට අදාළව කරුණු හයකින් යුත් ලිඛිත ඉල්ලීමක් තමන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් නීතිඥ වරයා සඳහන් කළේ ය.

එමෙන් ම සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් කරන ඉල්ලීම යළි සිතා බලා ඊළඟ දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙම විමර්ශනය වෙනත් විමර්ශන අංශයක් වෙත මාරු කරන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් මීට පෙර නියෝගයක් ලබාදී තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ ලිඛිත කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් නියෝගයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඉන් අනතුරුව පැමිණිල්ල යළි මැයි මස 20 වන දා කැඳවීමට නියම කළ අධිකරණය එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

ඊට අමතරව සැකකාර සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමට ද අවසර දුන්නේ ය.

උදය ගම්මන්පිලගේ කෘතිය ගැන අධිකරණයේ අවධානය

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකාර සුරේ සලේ වෙනුවෙන් පෙනී සිටින බව කියන නීතිඥ උදය ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොතක් සමාජගත කරනු ලැබ තිබෙන බව සඳහන් කළේ ය.

යම් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටිමින් ඒ හා සම්බන්ධ කරුණු උපයෝගී කරගෙන පොතක් ප්‍රකාශයට පත් කිරීම නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, "තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කවුරුන්දැයි තීන්දු කළ හැක්කේ සැකකරුට පමණ යි. නමුත් නීතිඥ වේශය ගෙන ඕනෑ ම පුද්ගලයකුට ගොස් සැකකරු හමුවෙන්න බෑ. මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සැකකරු නිරීක්ෂණය කළ අවස්ථාවේදී ඔහු කියා සිටියා, "අසිත්" නමැති නීතිඥවරයෙකු තමන් වෙනුවෙන් පෙනී සිටින බවට. සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකුට අයිතියක් තිබෙනවා. නමුත් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටින අතරේ සැකකරු විසින් ලබා දෙන තොරතුරු සහ තමන්ගේ අදහස් යොදා ග්‍රන්ථයක් පළ කරනවා නම් එය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්," බව ය.

මේ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන සඳහන් කළේ, නීතිඥ උදය ගම්මන්පිල එක් අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය සේවාදායකයා හමුවූ බව ය.

උදය ගම්මන්පිල තවදුරටත් සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසීය.