උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

මේ වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (ජූලි 23) නියෝග කළේ ය.

අදාළ පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

විවෘත අධිකරණයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සංකීර්ණ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම දුෂ්කර නියෝගය ප්‍රකාශයට පත් කළ බව ය.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 378,000කට ආසන්න පිරිසක් සහභාගි වන බව පෙත්සම සලකා බැලීමේදී අනාවරණය විය.

මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම විභාග පැවැත්වීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙම නඩුකරයට මැදිහත්වීමට අධිකරණය අදහස් නොකරන බවත්, ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේ ය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවේ, මෙවර උසස් පෙළ විභාගයේ අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සහ විභාගය පැවැත්වෙන දිනය අතර දින තුනක කාලයක් පමණක් පවතින බව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී කරුණු අනාවරණය වූ බව ය.

ඉන් සිසුන්ට කිසියම් අපහසුතාවක් සිදුවන්නේ නම් ඊට සුදුසු සහනයක් සලසා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරියට දැනුම් දෙනු ලැබී ය.

කෙසේ වෙතත්, විභාග ක්‍රියාදාමය යථාතත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණය සතුටට පත්වන බව කියා සිටි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තමන් පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නිශ්චිතව දැන ගැනීමට ශිෂ්‍යයින්ට හැකියාව තිබිය යුතු බවත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

මෙම වසරේ උසස් පෙළ විභාගයට පළමු වරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.