15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ ඊයේ (මැයි) 08 වැනිදා රාත්‍රියේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබු බවයි.

"ඊයේ රාත්‍රි 11.45ට කොළඹ නවලෝක රෝහලේ දී නිට්ටඹුව පොලිසිය විසින් ස්ත්‍රී දුෂණය සහ බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇරස්ට් කළා. අද දිනයේදී අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මැයි 08 වැනිදා (සිකුරාදා) මෙම දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ දැරිය මුදලට විකිණීම යන චෝදනා මතයි.

පල්ලේගම හේමරතන හිමි සැකකරුවෙකු ලෙස නම් කිරීම

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට මැයි 08 (සිකුරාදා) නියෝග කර තිබිණි

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කෙරිණ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව ය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවූ බව ද නීතීඥවරිය පැවසුවා ය. ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළා ය.

මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි අධ්‍යක්ෂවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතීඥවරිය ඉල්ලීමක් කළා ය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය. ඊට අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන්නේය.

ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න සහ සහකාර අධ්‍යක්ෂ නීතීඥ හංසි හලංගොඩ යන අය පෙනී සිටියහ.

මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සිය මුල් බී වාර්තාව මගින් කරුණු දැක්වූයේ ද එම නඩුව මෝසමක් මගින් යළි කැදවා කරුණු දැක්වූයේ ද ජාතික ළමාරක්ෂක අධිකාරිය අද මෝසමක් මගින් යළි කැඳවා කරුණු දැක්වූයේ ද විවෘත අධිකරණයේ නොව මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ය.