2010 උපන් දරුවන්ට දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාවක්: ක්‍රියාවට නංවන්නේ කවදා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
වර්ෂ 2010න් පසු මෙරට උපන් සියලු ම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් යෝජනා කර තිබේ.
එම අධිකාරිය විසින් සකස් කරන ලද 'Tobacco Free Generation' සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දී ඇත.
ඒ, අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ය.
දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්රයට අයත් විද්වත් වෘත්තික සංවිධාන මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ගත යුතු ඉතා වැදගත් පියවර 02ක් පෙන්වා දී තිබේ.
ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා සංශෝධන රැගෙන ඒම ය.
දෙවැන්න, 'දුම්කොළ රහිත අනාගත පරපුරක්' යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලු ම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම ය.
'ඒ අයට දුම්කොළ නිෂ්පාදන මිලට ගන්න බැරි වෙනවා'
දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බිහි කිරීමේ අරමුණින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද යෝජනාව සම්බන්ධව බීබීසී සිංහල සේවය එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායකගෙන් කරුණු විමසීමක් කළේ ය.
"ලංකාවේ නීතියේ හැටියට අවුරුදු 21කට අඩු එක් කෙනෙකුට දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මිල දී ගන්න බැහැ. දැනට තියෙන නීතියේ හැටියට අවුරුදු 21න් පස්සේ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අපි ඉදිරිපත් කරලා තියෙන යෝජනාව තමයි 2010න් පස්සේ ඉපදෙන කට්ටියට, ඒගොල්ලන්ට දැනට කොහොමත් මිල දී ගන්න බෑනේ. මේ වැඩපිළිවෙළ යටතේ ඒ අයට අවුරුදු 21 වුණාට පස්සෙත් ඒගොල්ලන්ට දුම්කොළ නිෂ්පාදන මිලට ගන්න බැරි වෙනවා."
වසරක් පාසා අවුරුදු 21 සම්පූර්ණ වූවන්ට අදාළ වන පරිදි මෙම නීතිය සකස් කිරීමට යෝජනා කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක කියා සිටියේ ය.
"මේක අපි හඳුන්වන්නේ 'Tobacco Free Generation' එක කියලා. 2010න් පස්සේ ජෙනරේෂන් එකට ටුබැකෝ ෆ්‍රී කියන කන්සෙප්ට් එක තමයි තියෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'දුම්කොළ භාවිතය නිසා වසරකට මිලියන 80ක් මිය යනවා'
වසරකට ලෝකයේ මිලියන 80ක පමණ ජනගහනයක් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් මිය යන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපතිවරයා පැවසීය.
"සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් හැටියට ලෝකයේ ගත්තොත්, සිගරට් බීලා නෙමෙයි නමුත් සිගරට් බොන අය අහළ පහළ ඉඳලා ඒකෙන් වෙන ඉෆෙක්ට් එකෙන් තව මිලියන 10ක් විතර මැරෙනවා."
"ටුබැකෝ කියන්නේ ලෝකයේ තියෙන ඇබ්බැහි වෙනසුලු භායනක ම මත්ද්‍රව්‍යයක්. නමුත් ඒක ශත වර්ෂ ගාණක් තිස්සේ ලෝකේ පුරා දිගට ම තිබිච්ච හින්ද යි, ඒකෙන් වෙන ඉෆෙක්ට් එක එක පාරට දැනෙන්නේ නැති හින්ද යි, අපිට හෙරොයින් වගේ දේවල්වලින් වෙන ඉෆෙක්ට් එක වගේ එකපාර දැනෙන්නේ නැහැ. නමුත් ඔක්කෝටම වඩා භායනක ම දේ තමයි දිගු කාලීනව දුම්කොළ පාවිච්චි කරන එක," දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පෙන්වා දුන්නේ ය.
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් වසරකට ලංකාවෙන් මරණ 22,000ක් පමණ වාර්තා වන බවත්, එය දිනකට ආසන්න වශයෙන් මරණ 60ක් පමණ වන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
දුම්කොළ තහනම ක්‍රියාත්මක වන තවත් රටවල් රැසක ආභාසය
ලෝකයේ රටවල් සිගරට් හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවලින් ඉදිරි පරම්පරා මුදා ගැනීමට විවිධ ක්‍රම භාවිත කරන බව පැවසූ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා, ඔවුන් විසින් යෝජනා කර ඇති සංකල්පය රටවල් කිහිපයක ක්‍රියාත්මක වන බව ද කියා සිටියේ ය.
"ඔය කන්සෙප්ට් එක රටවල් ගණනාවක දැනට පටන් අරගෙන තියෙනවා. මාලදිවයිනේ 2008න් පස්සේ ඉපදුණ කට්ටියට තහනම් කළා ගිය අවුරුද්දේ. දැන් සති දෙකකට කලින් එක්සත් රාජධානියේ 2009න් පස්සේ ඉපදුණ කට්ටියට තහනම් කළා. ඒ වගේ තව රටවල් ගණනාවක, ඇමෙරිකාවේ සමහර ප්‍රාන්තවල ඒ වගේ තහනම් කරලා තියෙනවා. ඒ කන්සෙප්ට් එක තමයි අපිත් ඉදිරිපත් කරලා තියෙන්නේ."
මෙම සංකල්පයට මෙරට පවතින සියලු ම වෛද්‍ය සංගම්වල ද සහය හිමිව ඇති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක කියා සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය ක්‍රියාවට නැංවීමට කැමැත්ත පළ කළ බවත්, ඉදිරියට ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
2010න් පසු උපත ලැබූවන් තෝරා ගත්තේ ඇයි?
නීති සම්පාදනය කර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යන කාලය සහ අනෙකුත් කරුණු සලකා බලා මෙය 2010 වසරෙන් පසු උපන් පුද්ගලයන්ට බලපාන ලෙස ක්‍රියාවට නැංවීමට යෝජනා කළ බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළේ ය.
"මාලදිවයිනේ ගිය අවුරුද්දේ බලාත්මක කළේ, 2008 ඉඳලා උපන් අයට බලපාන විදියට. එක්සත් රාජධානියේ මේ අවුරුද්දේ පටන් ගත්තේ 2009 අවුරුද්දේ අයට. අපේ එක මේ අවුරුද්දේ අන්තිම ලබන අවුරුද්ද වෙනකොට සමහර විට පටන් ගන්න පුළුවන් වෙයි. නීතිමය අවශ්‍ය කරන දේවල් ඉවර කරලා ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ පටන් ගන්න පුළුවන් වෙයි."
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පැවසුවේ, පසුගිය වසර 10 සමග සංසන්දය කිරීමේදී තරුණ ප්‍රජාව දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිත කිරීමේ අඩුවක් පෙන්නුම් කරන බව ය.


































