ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උද්ධමනය 9%ට ළඟා විය හැකි බවට අනාවැකි: මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමුවේ ඇයි?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පසුගිය නොවැම්බර් 19 වන දා රැස්වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතය 0.25%කින් ඉහළ දැමීමට තීරණය කළේ ය. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය සියයට 9 දක්වා ඉහළ යනු ඇත.
වෙනස්වන දේශීය හා ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
මේ අතර, දෙසැම්බර් මාසය වන විට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉකුත් නොවැම්බර් 20 වැනිදා පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
උද්ධමනය ඉහළ යාමට හේතු වූ කරුණු
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යෑමට බලපා ඇති බව මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී, උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ද අධිපතිවරයා සඳහන් කළේය.
උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව පෙන්වා දුන්නේය.
"අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේදී ඒ වෙලාවේ තිබුණු පුරෝකථනය තමයි උද්ධමනය සියයට 7ක් වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව. නමුත් දැන් දකින පුරෝකථනය අනුව, බලාපොරොත්තු වූ ආකාරයට වඩා විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුණා. ඒ අවස්ථාවේ මේ යුද තත්ත්වය කෙටි කාලීනව පවතීවි, ඊට පසුව මේ තෙල් මිල යම්කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක මේ මෑතක් වෙනකම්ම ඉහළ මට්ටමක පැවතුණා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුණාට වඩා ඉහළ මට්ටමකට ගියා. ගිය මාසයේ උද්ධමනය සියයට 8.3ක් වුණා. ලබන මාසය විතර වන විට සියයට 9ක් හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනවලින් පෙන්නුම් කරනවා," යැයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
පොලී අනුපාත ඉහළ දැමුවේ ඇයි?
උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, එම අවදානම අවම කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය නොවැම්බර් 20 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග පවතින ගැටුම් අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම මෙරට උද්ධමන පීඩනය තවදුරටත් ඉහළ නංවා ඇති බවත්, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් දේශීය මිල ස්ථායීතාව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති සහ ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.ඒ. විජයවර්ධන බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති එකම අවිය වන්නේ පොලී අනුපාත ඉහළ දැමීම බවයි.
"මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ මාසය අග වෙනකොට උද්ධමනය 9% දක්වා වැඩි වෙනවා කියලා. උද්ධමනය වැඩි වෙනකොට මහ බැංකුව සතු එකම උපකරණය තමයි පොලී අනුපාතය. පොලී අනුපාත වැඩි කිරීමෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සහ ණය ලබා ගැනීම පාලනය කරලා ආර්ථිකයේ 'සමස්ත ඉල්ලුම' අඩු කිරීමට කටයුතු කරනවා. සමස්ත ඉල්ලුම තමයි සාමාන්‍ය මිල මට්ටමට බලපාන්නේ. මහ බැංකුව මෙලෙස පොලී අනුපාතය 0.25%කින් වැඩි කර ඇත්තේ සංකේතාත්මකව අවදානම් ප්‍රකාශ කිරීමක් විදිහටයි.
නමුත් ඇත්තටම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දෙස බැලුවාම රුසියාව-යුක්රේන යුද්ධය සහ ඇමෙරිකාවේ පවතින ආර්ථික ගැටලු වැනි බාහිර හේතු නිසා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් සමස්ත සැපයුම අඩු වී තිබෙනවා. මේ වගේ අවස්ථාවක දීර්ඝකාලීන සහනයක් දීමට නම් කළ යුත්තේ ඉල්ලුම මර්දනය කිරීම නෙවෙයි, සමස්ත සැපයුම වැඩි කිරීමයි. ඒක මහ බැංකුවට විතරක් තනියම කරන්න බැහැ; රජය සහ පෞද්ගලික අංශය එක්ව කළ යුත්තක්.
0.25%ක පොලී ප්‍රතිශත වැඩිවීමකින් සාමාන්‍ය ණය ගන්නා අයෙකුගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 11%ට තිබූ ණය අනුපාතය 11.25% වුණාට ණය ගැනීම නතර වන්නේ නැහැ.
මහ බැංකුව මේ පියවර අරන් තියෙන්නේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැයි කියලා එල්ල වන දෝෂාරෝපණවලින් ගැලවෙන්න වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරිකය ලබා ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහායි," යැයි ඔහු කියා සිටියේය.
'ණය දෙන එක අධෛර්යමත් කරනවා'
නිත්‍ය ණය පහසුකම් අනුපාතය ඉහළ දැමීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට සංඥා කරන්නේ පෞද්ගලික අංශයට ණය ලබා නොදෙන ලෙස බව හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති සහ ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.ඒ. විජයවර්ධන පවසයි.
"ප්‍රතිපත්ති පොලී අනුපාතය 9.00% වන අතර නිත්‍ය ණය පහසුකම 9.50% දක්වා ඉහළ යනවා. නිත්‍ය තැන්පතු පොලී අනුපාතය 8.50% දක්වා වැඩි කිරීමෙන් මහ බැංකුව වාණිජ බැංකුවලට සංඥා කරන්නේ පෞද්ගලික අංශයට ණය නිකුත් නොකර අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලයි.
වාණිජ බැංකු සාමාන්‍යයෙන් තැන්පත්කරුවන්ට 4%-5% වැනි අඩු පොලියක් ගෙවා, ඒ මුදල් මහ බැංකුවේ තැන්පත් කරලා නිකන් ඉඳගෙන 8.50%ක අවදානම් රහිත ආදායමක් ලබනවා," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
'ආර්ථිකය අඩපණ වෙනවා'
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩපණ වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
පොලී අනුපාත ඉහළ දැමීම හරහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වන අතර, එමඟින් අපේක්ෂිත ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තවදුරටත් පහත වැටිය හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස සඳහන් වුවද, ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
"මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමා දැන් උද්ධමනය 9%ට යනවා, ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පල්ලෙහාට බහිනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්නේ නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7ක් තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙක්ට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ."